වලව් මාලිගා විවාදය

March 25, 2001
Publication:
Ranil Wickremesinghe attacked the Rs. 2,500 million presidential palace and its imported oak, marble and chandeliers; Mangala Samaraweera replied that the Bandaranaikes, born in walawwas, need no palaces. Ivan distinguishes royal palaces from the walawwas of radala nobility, notes that the Bandaranaike and Jayewardene fortunes rested on land granted for helping the British in 1815, 1818 and 1848, citing James Rutnam and Kumari Jayawardena, and says Horagolla is humbler inside than Temple Trees.

ඉදිකිරීමට නියමිත ජනාධිපති මාළිගාව අරභයා එජාපයත්, ශ්‍රීලනිපයත් අතර ඇරඹී තිබෙන විවාදය බණ්ඩාරනායක පවුල හා විජේවර්ධන පවුල් කණ්ඩායම අතර පැවති හා පවතින ඓතිහාසික ආරාවුල නැවත ප්‍රසිද්ධ කරළියට ගැනෙන විවාදයක් බවට හැරෙමින් පවතී.

මෙම විවාදය අරඹන ලද්දේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. රට ආර්ථික වශයෙන් අගහිගකම් වලින් මිරිකී සිටින අවස්ථාවක රුපියල් දශ ලක්ෂ 2500ක් තරම් විශාල මුදලක් වැය කොට ජනාධිපති මාළිගාවක් ඉදිකිරීම අපරාධයක් බව ප්‍රකාශ කිරිමෙන් නොනැවතී එම මාළිගාව ඉදිකිරීම සඳහා එංගලන්තයෙන් ඕක් ලීද, ඉතාලියෙන් කිරිගරුඬ ද, බල්ගේරියාවෙන් හුණුගල් ද, ප්‍රංශයෙන් ලොකු ලාම්පු ද ආනයනය කිරීමට නියමිත බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති මාළිගාව පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙන් පළවෙමින් තිබුණු මෙම විවේචනයන්ට එරෙහිව සුපුරුදු ලෙසම මෙවරත් ජනාධිපතිනියගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට ආවේ මංගල සමරවීර මහතාය. එජාපය මතු කළ විවේචනයන් තුළ යම් පමණක අතිශයෝක්තියක් තිබුණා විය හැකිය. මංගල සමරවීර වැන්නකු එහිදී කළ යුතුව තිබුණේ එම කරුණු දැක්වීම තුළ අතිශයෝක්තියක් තිබුණේ නම්, ඒ බව කරුණු සහිතව පෙන්නුම් කර දිමය. එහෙත් ඒ මහතාම ඊට අතිරේකව බණ්ඩාරනායකවරුන් කෙරෙහි තමන් තුළ ඇති දාස ආකල්පය පෙන්නුම් කිරීමට ද එය අවස්ථාවක් කොටගත් බව පැහැදිලිය.

ඒ මහතා ප්‍රකාශ කර තිබෙන ආකාරයට බණ්ඩාරනායකවරුන්ගේ ඉතිහාසය අනුව ඔවුන්ට මාළිගා අවශ්‍ය වන්නේ නැත. බණ්ඩාරනායකවරුන් අයත්වන්නේ රිදි හැන්දක් කටේ රුවාගෙන උපත ලද අයගේ ගණයටය. දශක ගණනාවක්ම බණ්ඩාරනායකවරුන් පමණක් නොව, රත්වත්තේලා ද ජීවත් වී ඇත්තේ මාළිගාවලය. හොරගොල්ල වලව්ව, මහවලතැන්න වලව්ව පමණක් නොව, රොස්මිඩ් වලව්ව පවා ඉදිකරන්නට නියමිත සුවපහසු මාළිගා ගණයෙහිලා සැලකිය හැකිය. බණ්ඩාරනායකවරුන් ඉපදි ඇත්තේ ද හැදි වැඩී ඇත්තේ ද මාළිගාවලය.

මංගල සමරවීර ඇමතිවරයා “වලව්” “මාළිගා” ලෙස හඳුන්වා ඇත්තේ ඇයිද යන්න නොපැහැදිලිය. සමහරවිට බණ්ඩාරනායකවරුන්ට හා රත්වත්තේවරුන්ට රාජකීය පෙනුමක් ආරුඨ කරදිම පිණිස විය හැකිය. අතීතයේදි මාළිගා ලෙස හැඳින්වූයේ රජවරුන්ගේ නිවාස පමණය. වලව් ලෙස හැඳින්වූයේ රදලයින්ගේ නිවාස ය. රජු හා රාජ පරම්පරාවට පසුව සිටි ප්‍රභූ පන්තිය රදලයින් වුවත්, ඒ දෙපිරිස සමාන තත්ත්වයක නොසිටියේය. රජ බව ලැබිය හැකිවූයේ රාජ පරම්පරාවකින් පැවත එන කෙනෙකුට පමණය. ඉතිහාසඥයන්ට අනුව රදල මුල් ප්‍රභවය ඇතිවී තිබෙන්නේ රජුට දාව යකඩ දෝලියන්ට ලැබුණු දරුවන්ගෙනි. රදලයෙකුට ඇමතිවරයෙකු වීමේ හැකියාවක් තිබුණත්, රජකු වීමේ හැකියාවක් නොතිබුණි.

බණ්ඩාරනායකවරුන් පහතරට සමාජයේ වංශවත් පෙළපතක් නියෝජනය කළත්, ඔවුන් රදල ගණයට අයත් නොවීය. එහෙත් ඔවුන්ගේ ධනවත්කම නිසා ඔවුහු තමන් විසූ නිවෙස් වලව් ලෙස හඳුන්වා ගත්හ. ඒ අනුව පසුකලක උපයෝගී සේවාවන් ඔස්සේ ධනවත් බවට පත් රදල නොවන ධනවත්තු ද වලව්වලට සමාන විශාල නිවෙස් ඉදි කරගනිමින් ඒවා වලව් ලෙස හඳුන්වාගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඒ අර්ථයෙන් බෝතලේ වලව්ව අව්‍යාජ වලව්වක් නොවන්නා සේ ම හොරගොල්ල වලව්ව ද අව්‍යාජ වලව්වක් නොවන්නේය. එහෙත් මහවලතැන්න වලව්ව අව්‍යාජ වලව්වකි.

බණ්ඩාරනායක පරම්පරාව ලන්දේසි යුගයේ සිට පහතරට සමාජයේ ඉතා බලවත් හා ධනවත් තත්ත්වයක් හිමි කරගෙන සිටියත් ඊට එපිට යන යුගය එසේ නොවන බවද කිවයුතුය. බණ්ඩාරනායක පරම්පරාවේ හා ජයවර්ධන පරම්පරාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය ජේම්ස් රත්නම් විසින් එම පරම්පරා දෙක අලලා ලියා ඇති රචනා දෙකත් ඉතා මෑතකදි කුමාරි ජයවර්ධන විසින් ලියා ඇති Nobodies to somebodies යන කෘතියත් කියවිය යුතුය. මේ සියලු දෙනාගේම ධනවත්කම කෙරෙහි එම පවුල්වලට යටත් විජිත ආණ්ඩුව සමග පැවති සමීප සම්බන්ධකම්, ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි පවත්වාගෙන ගිය දැඩි පක්ෂපාතී පිළිවෙත හෝ යටත් විජිත යුගයේ විවර වූ ආර්ථික ඉඩ ප්‍රස්ථා යන සාධක බලපෑවේය. 1818 හා 1848 ඇතිවූ ඉංග්‍රීසි විරෝධී කැරලි මැඩපැවැත්වීම සඳහා ඉංග්‍රීසීන්ට දෙන ලද සහාය වෙනුවෙන් ජයවර්ධනවරුන්ට සේම බණ්ඩාරනායකවරුන්ට ද ඉඩකඩම් ලැබුණු බව ද අමතක නොකළ යුතුය. උඩරට රාජ්‍ය අල්ලා ගැනීමේදි දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක දෙන ලද සහාය සලකා ඉංග්‍රීසි ආණ්ඩුව ඒ මහතාට සන්නසකින් පවරා දෙන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 180කි. ඉන්පසු 1818 කැරැල්ල මර්දනය කිරීමට ලබා දෙන ලද සහාය වෙනුවෙන් ද බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඒ මහතාට රන් පදක්කමක් පිරිනැමීය. ජයවර්ධන පරම්පරාව හලාවත විශාල ඉඩම් හිමිකාරයන් බවට පත්වූ හේතු උඩරට රාජ්‍ය අල්ලා ගැනීම වෙනුවෙන් දෙන ලද සහාය සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රදානය කළ ඉඩම් නිසාය. මංගල සමරවීර මහතා රත්වත්තේවරුන්, මහවලතැන්නේවරුන් ගැන ද කතා කරන නිසා 1818 කැරැල්ලෙන් පසු විශාල ඉඩම් හිමිකමක් තබාගැනීමේ හැකියාව ලැබුණේ ඉංග්‍රීසීන්ට පක්ෂපාතව ක්‍රියා කළ රදලයන්ට පමණක් වන බව ද මතක් කර දිය යුතුය. එම කැරැල්ලේ දි ඉංග්‍රීසීන්ට එරෙහිවීම නිසා දේපළ අහිමි කරගත් රදලයන්ගෙන් පැවත එන්නන් අදත් මොණරාගල ප්‍රදේශයේ දුප්පත් හේන් ගොවීන් ලෙස ක්‍රියා කරනු දැකිය හැකිය. ඒ නිසා මේ පරම්පරාවන්ට ලැබී තිබෙන ධනය ගැන අනවශ්‍ය තරම් ලෙස පාරම් බාන්නට යෑම ඇගට ගුණ නැත.

මේ විවාදයේ දි මංගල සමරවීර මහතා බණ්ඩාරනායකවරුන්ට ඇති හොරගොල්ල වලව්ව හා රොස්මිඩ් වලව්ව මාළිගාවලට සමාන කිරිමෙන් නොනැවතී, සුව පහසුකම් අතින් ගත්තත්, එම වලව් දෙක ඉදිකරන්නට නියමිත මාළිගාවේ ඇති සුවපහසුකම්වලටත් වඩා ආඪ්‍ය තත්ත්වයක තිබෙන බව ද ප්‍රකාශ කරයි. එහෙත් එය කිසිම පදනමක් නැති බොරුවකි. මේ වලව් දෙක තේජාන්විත වන්නේ බාහිර පෙනුමෙන් පමණය. ඒවාහි අභ්‍යන්තරයේ ඇති සුව පහසුකම ඇමති නිල නිවසක ඇති සුවපහසු කමටවත් ළංවිය නොහැකිය. සුව පහසුකම් අතින් අරලියගහ මන්දිරය ඉදිරියේ හොරගොල්ල වලව්ව පාළු අම්බලමක තත්ත්වයකට වැටෙන්නේය. එම වලව්වලට ඓතිහාසික අගයක් තිබුණත්, කවර ආකාරයකින්වත් ඒවා නවීන අර්ථයෙන් සුවපහසුකම් වලින් ආඪ්‍ය මාළිගා ගණයට දැමිය නොහැකිය.