සමස්ත දේශපාලන ක්රමය ඇද වැටී තිබෙන නින්දාසහගත තත්ත්වයේ තරම අනුව දැන් රට සිටින්නේ රාජ්යය සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වන ප්රතිසංස්කරණයට ලක්කිරීමකින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනකය. වෙනදා සාමාන්යයෙන් ප්රතිසංස්කරණ ඉල්ලීම් ඉදිරියට එන්නේ දේශපාලන පක්ෂවලින් පමණක් වුවත්, අද එය දේශපාලන පක්ෂවලින් පිටස්තර සිවිල් සංවිධාන දක්වා ඔබ්බට ගිය ව්යාපාරයක් බවට පත්ව තිබෙන අතර, එය රාජ්ය ප්රතිසංස්කරණයට ලක් කිරීම අරභයා සමාජය තුළ මතුවෙමින් තිබෙන වුවමනාවේ තරම පෙන්නුම් කරයි.
තමන් යෝජනා කොට ඇති ස්වාධීන කොමිෂන් සභා හතර නීතිගත කරවා ගැනීම එජාපයේ ප්රධාන ඉලක්කය වී තිබේ. එහෙත් එය ස්වාධීන කොමිෂන් සභා හතර නීතිගත කරවා ගැනීමෙන් පමණක් අවශ්ය වී තිබෙන ප්රමාණයටම ආණ්ඩුකරණයේ යහපත් වෙනසක් ඇති කරගැනීමට හැකිවේද යන්න සැක සහිතය.
ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇත්තේ ප්රතිසංස්කරණ ඇති කරන්නට යන්නේ විධායක ජනාධිපති ක්රමය පවත්වාගෙන යමින් නම් ප්රතිසංස්කරණවලින් ලැබෙන ප්රතිඵල ද අල්ප විය හැකි බවය. එහෙත් විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම අත්යවශ්ය කොන්දේසියක් බවට පත් කරගනිමින් ඇති කරන්නට යන ප්රතිසංස්කරණවලට බාධා කිරිමේ අභිලාෂයක් ද ජවිපෙ තුළ පවත්නා බවක් පෙනෙන්නට නැත. එම පක්ෂය කියන්නේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන වැඩපිළිවෙළක් සමග ප්රතිසංස්කරණ ක්රියාවට නගන්නේ නම් එය වඩා ඵලදායී වනු ඇති බව පමණය.
එහෙත් විධායක ජනාධිපති ක්රමය ගැන සුළු ජාතීන් දරන ආකල්පය ඊට වෙනස්ය. ඔවුන් හිතන්නේ ඒ මගින් රටේ විධායක නායකයා තෝරා ගැනීමේ ක්රියාවලියට සම්බන්ධවීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ක්රමයක් බැවින් එය තමන්ට ද ප්රයෝජනවත් ක්රමයක් වන බවය. මේ වෙනස් වුවමනාවන් අතර පවතින පරස්පරය ජයගත හැකිවනු ඇත්තේ විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණයට ලක් කරන ක්රියාමාර්ගයක් මගින් පමණය.
ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය කියන්නේ විධායක ජනාධිපති ක්රමය අහෝසි නොකරන්නේ නම්, එය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වග කියන තැනකට ගෙන ආ හැකිවන ලෙස විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණයට ලක් කළ යුතු බවය. එහෙත් එවැනි ප්රතිසංස්කරණයකට ඇතුළත් විය යුතු මූලික කොන්දේසි තුනක් සන්ධානය අවධාරණය කරයි.
1. සාධාරණ හේතු ඇතිව හෝ නැතිව වසරක කාලයක් ඉකුත් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන බලය අහෝසි කිරීම. දැන් තිබෙන ක්රමය යටතේ ජනාධිපති එක් පක්ෂයකින් බලයට පත්වී පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයකට ගිය අවස්ථාවකදි වසරක කාලයක් ඉකුත්වීමෙන් පසුව අවශ්ය නම්, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීය හැකිය. මෙය ප්රජාතන්ත්ර විරෝධී නොහොබිනා තත්ත්වයකි. මෙම තත්ත්වය වැළැකීම සඳහා පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිමක් කිරීම යුක්තිසහගත වන අවස්ථා පැහැදිලිව හා නිශ්චිතව ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් කිරීම වැදගත්ය.
2. ජනාධිපති විසින් අගමැතිවරයෙකු නම් කිරීම පිළිබඳව ව්යවස්ථාවේ වන අපැහැදිලි විධි විධාන සංශෝධනය කිරීම. දැන් තිබෙන ක්රමය යටතේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති කණ්ඩායමේ නායකයා වෙනුවට ජනාධිපතිට අවශ්ය නම් තම පක්ෂය විරුද්ධ පක්ෂය ලෙස ක්රියා කරන අවස්ථාවකදි ඔවුන්ගේ සහාය ලැබෙන හා වැඩි බලය ලැබූ පක්ෂයේ තවත් පිරිසකගේ ද සහාය ලැබෙන වෙනත් පුද්ගලයෙකු ද අගමැති ලෙස නම් කොට අවුලක් ඇති කිරිමේ හැකියාවක් පවතී. නිදර්ශනයක් වශයෙන් 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනාධිපති විජේතුංගට අවශ්ය නම් චන්ද්රිකා කුමාරතුංග වෙනුවට ඇගේ මව අගමැති ලෙස නම් කොට අවුල්සහගත තත්ත්වයක් ඇති කිරිමේ හැකියාවක් තිබුණි. ඒ තත්ත්වය වළකා ගැනීමට චන්ද්රිකා කුමාරතුංග මහත්මියට විශ්රාම සුවයෙන් සිටි ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සේ ම ජනාධිපති ඩී.බී. විජේතුංග ද හමුවී එකගතාවක් සිදුවිය.
3. අගමැතිගේ නිර්දේශවලින් තොරව කැබිනට් මණ්ඩලය නම් කිරීමට ජනාධිපතිට ලැබී තිබෙන බලයත්, තමන් කැමති තරම් ප්රමාණයක් ඇමති ධුර තමන් වෙත හිමිකර ගැනීමට ජනාධිපතිට ලැබී තිබෙන බලයත් අහෝසි කිරීම. පාර්ලිමේන්තුවේ නායකයා වන්නේ අගමැතිය. අගමැති ජනාධිපතිගේ පක්ෂයෙන් සේ ම, වෙනත් පක්ෂයකින් ද පත්විය හැකිය. ඒ නිසා කැබිනට් මණ්ඩලය නිර්දේශ කිරිමේ බලය ලැබිය යුත්තේ අගමැතිටය. ජනාධිපති එක් පක්ෂයකින් බලයට පත්වී පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයකට ලැබී තිබෙන අවස්ථාවක තමන් කැමති කේන්ද්රීය ඇමති තනතුරු කිහිපයක් ජනාධිපති විසින් තමන් වෙත හිමිකර ගන්නේ නම්, එය අවුලක් ඇති කිරීමට හේතු වන බව අමුතුවෙන් කිවයුතු නැත.
මෙම කරුණු තුනට අතිරේක වශයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් පක්ෂ සාමාජිකත්වයෙන් පලවා හැරිම නිසා ඒ සමග ඔහුට මන්ත්රී ධුරය අහිමිවීමට ඇති කර තිබෙන විධි විධාන අහෝසි කළ යුතු බවට සන්ධානය ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ද පාර්ලිමේන්තුවට නැවත ගෞරවනීය තත්ත්වයක් ලබාදිම පිණිස ඉදිරිපත් කර තිබෙන ඉතා වැදගත් ඉල්ලීමක් ලෙස සැලකිය හැකිය. දැන් තිබෙන ක්රමය ලෝකයේ කවර රටකවත් ක්රියාත්මක නොවන සිත් පිත් නැති ක්රමයකි. ඒ නිසා මන්ත්රීවරුන්ට වැදගත් ජාතික ප්රශ්නයකදි හිතට එකගව ක්රියා කිරීමට තිබෙන නිදහස අහිමි කරයි.
සන්ධානය හදිසි බලතලවලට අදාළව ද වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි. බලයට පත්වන ආණ්ඩුවකට හදිසි බලතල පැනවීමේ අයිතිය තිබිය යුතු වුවත්, ඒ අයිතිය පාවිච්චි කළ යුත්තේ අවශ්ය අවස්ථාවලදි පමණය. එහෙත් අවාසනාවකට අද හදිසි නීතිය සාමාන්ය නීතියක් බවට පත්වී තිබෙන අතර, ඒ මගින් විරුද්ධ පක්ෂවල ප්රජාතන්ත්රවාදී ක්රියාකාරිත්වය සීමා කිරිමේ හැකියාව ආණ්ඩුවලට ලැබී ඇත්තේය. සන්ධානය යෝජනා කර තිබෙන ආකාරයට හදිසි බලතල පාවිච්චි කිරිමේ අයිතිය ලැබිය යුත්තේ අන්තර් ජාතික මානව අයිතීන් පිළිබඳ නීති මගින් විස්තර කොට ඇති විශේෂ තත්ත්වයක් ඇති අවස්ථාවල පමණක් බවට ව්යවස්ථාවට ඇතුළත් විය යුතුය. හදිසි බලතල පනවන හැම අවස්ථාවකදිම රෙගුලාසියේ මුලට එය අවශ්යවන්නේ මන්ද යන්න හා එය ඉවත් කිරීම සඳහා මුදුන් පත් විය යුතු කොන්දේසි මොනවාද යන්න විස්තර කෙරෙන පූර්විකාවක් ද ඇතුළත් කළයුතු බවට ව්යවස්ථා විධි විධාන ඇති කළයුතු බව ඉල්ලා සිටින සන්ධානය එසේ පනවනු ලබන ඕනෑම රෙගුලාසියක් අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ඇති අයිතිය ද ව්යවස්ථාවට ඇතුළත් කළ යුතු බව ප්රකාශ කර සිටී.
ජනමාධ්ය නිදහස ද ප්රජාතන්ත්රවාදී නිදහසේම එක් වැදගත් හා අත්යවශ්ය කොන්දේසියකි. ජනමාධ්ය නිදහස පුළුල් කිරීමට හේතුවන යෝජනාවලියක් කර්තෘ සංසදය විසින් ඉදිරිපත් කර තිබෙන අතර, ආණ්ඩුවේ ජනමාධ්ය ස්වාධීන තත්ත්වයකට ගැනීම සඳහා ස්වාධීන ජනමාධ්ය කොමිසමක අවශ්යතාව අළලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන යෝජනාව ද ඉතා වැදගත් යෝජනාවක් ලෙස සැලකිය හැකිය. කර්තෘ සංසදය ඉල්ලා තිබෙන ආකාරයට පිළිගත් අන්තර් ජාතික ප්රමිතීන්ට අනුකූලව මාධ්යයන්ට හා මහජනතාවට තොරතුරු සැපයීම හා ආණ්ඩුව ගැන පරික්ෂාවෙන් සිටීම යන දෙයාකාර කාර්ය භාරයන් නිදහසේ ඉටුකිරීමට බාධාවක් වී තිබෙන ලිඛිත අපහාසය හිරේ යැවීම මගින් දඬුවම් කළ හැකි සාපරාධී වරදක් ලෙස සලකන දණ්ඩ නීති සංග්රහයේ එන 479 වැනි වගන්තිය අවලංගු කළ යුතුය. පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ පසු ජනමාධ්ය නිදහස පුළුල් කිරීමට හේතුවන නීති ප්රතිසංස්කරණ ඇති කිරීම වෙනුවෙන් පත් කරන ලද ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටුව ද සාපරාධී අපහාස නීතිය අවලංගු කිරිමේ හෝ සංශෝධනය කිරිමේ අවශ්යතාව අවධාරණය කොට තිබුණේය.
කර්තෘ සංසදය ඉදිරිපත් කර තිබෙන යෝජනා අතර, තොරතුරු ලබාගැනීමේ නිදහසට ඇති අයිතිය වෙනුවෙන් කෙටුම්පත් කර ඇති “තොරතුරු ලබාගැනීමේ නිල නිදහස් පනත” ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් රටට විශාල බලපෑමක් කළහැකි නීති කෙටුම්පතක් ලෙස සැලකිය හැකිය. තොරතුරු ලබාගැනීමේ නිදහසට ඇති අයිතිය නීතිගත කිරිමෙන් පමණක් වුවත් රාජ්ය මට්ටමෙන් සිදුවන දූෂණ විශාල ප්රමාණයකට වැළකිය හැකිය. තොරතුරු ලබාගැනීමේ නිදහසට ඇති අයිතිය ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් නැතත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියට එකගවීම මගින් ශ්රී ලංකා ආණ්ඩුව ඒ අයිතියට ගරු කිරීමට ප්රතිඥා දි ඇති බව අමතක නොකළ යුතුය. ජනාධිපති ප්රේමදාස මහතා 1990 දි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතීන් පිළිබඳ පරිච්ඳෙදයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබූ සංශෝධනයන්ට ද තොරතුරු ලබාගැනීමේ නිදහසට ඇති අයිතිය ඇතුළත්ව තිබුණි. පොදු පෙරමුණේ යෝජිත නව ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ද මේ අයිතිය ඇතුළත්ය.
ආණ්ඩුවේ ජනමාධ්ය ආයතන ස්වාධීන තත්ත්වයට ගෙන ඒම ද ඉතා වැදගත්ය. ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර ඇත්තේ ලේක්හවුසිය ද ඇතුළත් වන ලෙස ආණ්ඩුවේ සියලු විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතන ස්වාධීන කොමිසමක් යටතට ගෙනා යුතු බවය. එහෙත් පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසුව ලේක්හවුසියේ අයිතිය පුළුල් කිරීමට තිබෙන ඉඩකඩ සොයා බැලීමට පත් කළ ලුෂන් රාජකරුණානායක කමිටුව නිර්දේශ කළේ ලේක්හවුසියේ අයිතිය පුළුල් කිරීම මගින් ආණ්ඩුවේ පාලනය ඉවත් කළ යුතු බවය. ඒ යෝජනාව ක්රියාවට නගන්නේ නම්, මාධ්ය කොමිසමක් අවශ්ය වනු ඇත්තේ ආණ්ඩුවේ විද්යුත් මාධ්ය ආයතන සඳහා පමණය. ආණ්ඩුවේ විද්යුත් මාධ්ය ආයතනවල ස්වාධීනතාව තහවුරු කිරීමට හේතුවන “විකාශන අධිකාර පනතක්” විකල්ප ප්රතිපත්ති කේන්ද්රය හා නිදහස් මාධ්ය ව්යාපාරය විසින් කෙටුම්පත් කර ඇති අතර, එම කෙටුම්පත නීතිගත කිරීම මගින් අපේක්ෂිත අරමුණ සපුරා ගත හැකිය.
ජනමාධ්යවේදින් සඳහා දැනට ක්රියාත්මක වන පුවත්පත් මණ්ඩල නීතිය යටතේ ප්රකාශයට පත් කර තිබෙන ආචාර ධර්ම පද්ධතිය වෙනුවට කර්තෘ සංසදය, නිදහස් මාධ්ය ව්යාපාරය හා පුවත්පත් ප්රකාශකයන්ගේ සංගමය ඒකාබද්ධව ජනමාධ්යවේදින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ප්රකාශයට පත් කර තිබේ. ඊට අතිරේකව ආණ්ඩුවේ පාලනය යටතේ පවතින පුවත්පත් මණ්ඩලය වෙනුවට ස්වාධීන පුවත්පත් මණ්ඩලයක් ඇති කිරීමට අවශ්ය නීති ද එම ඒකාබද්ධ සංවිධානය විසින් කෙටුම්පත් කර ප්රකාශයට පත් කර තිබේ. දැන් පවතින පුවත්පත් මණ්ඩල ක්රමය ප්රජාතන්ත්රවාදී රටවල පවත්නා පිළිගත් පුවත්පත් මණ්ඩල ක්රමයට සහමුලින්ම පටහැනිය. ඊට ප්රවෘත්ති පළ කිරිමේ නිදහස ද, නිදහසේ තොරතුරු සැපයීම හා ලබාගැන්ම වළකන අර්ධ අධිකරණ බලතල ද අයත්ය.
ආණ්ඩුව විසින් නම් කරනු ලබන දේශපාලන හෙන්චයියන් පිරිසකට අධිකරණ බලතල ලබාදිම භයානක වන බව අමුතුවෙන් කිවයුතු නැත. විජේදාස රාජපක්ෂ මහතා පුවත්පත් මණ්ඩලයේ සභාපති වශයෙන් ක්රියා කරනවිට, එකල ජනමාධ්ය ඇමතිව සිටි මංගල සමරවීර මහතාගේ නීති උපදේශකයා ලෙස ද ක්රියා කළේය. චැනල් නයින් නඩුව වෙනුවෙන් මංගල සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටියේ විජේදාස රාජපක්ෂ මහතාය. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ක්රියාකළ එක් පුද්ගලයෙක් දේපළ කොල්ලකෑමේ වරදට යුද්ධ අධිකරණය විසින් වරදකරුවකු කරන ලද පුද්ගලයෙකි. ඔහු එකවිට පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද, රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස හා පොදු පෙරමුණේ මාධ්ය ඒකකයේ ප්රකාශක ලෙස ද ක්රියා කළේය.
ඉදිරිපත් වී තිබෙන යෝජනා රජය නවීන ප්රජාතන්ත්රවාදී වුවමනාවන්ට ගැලපෙන ප්රතිසංස්කරණයකට ලක් කිරීමට හේතුවනු ඇතත්, ඒ සඳහා අවශ්ය කරන පොදු එකගතාවක් ඇති කරන්නේ කෙසේද යන්න අද රට හමුවේ තිබෙන ප්රධාන අභියෝගයක් ලෙස සැලකිය හැකිය.