බියගැන්වීමේ දේශපාලනය

March 11, 2001
Publication:
A severed head and hand from a corpse were delivered to the homes of UNP MP Ravi Karunanayake's wife and mother, an evident warning to an active opposition politician. The piece notes that the police have not traced the body, likely taken from a morgue, recalls how political interference stalled the Rohana Kumara, Kumar Ponnambalam and Nimalarajan murder inquiries, and says intimidation is as brutal as killing and incompatible with democracy.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගමන් ගනිමින් තිබෙන දිශාව ඉතාමත් බිහිසුණු ය.

පසුගිය සිකුරාදා රාත්‍රී කිසියම් සාහසික පිරිසක් මෘත ශරිරයකින් කපා ගත් හිසක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ බිරීඳගේ නිවසට ද, එම මෘත ශරිරයෙන් ම කපාගත් අතක් ඒ මහතාගේ මවගේ නිවසට ද භාර දි තිබුණි. මේ සාහසික ක්‍රියාව සඳහා යොදාගත් මෘත ශරිරය කාගේ ද, එය ලබාගත්තේ කෙසේද යන්න තවමත් සොයාගෙන නැත. මෙය ක්‍රියාකාරි විරුද්ධ පක්ෂ දේශපාලනඥයෙකු වෙත කරන ලද අනතුරු ඇගවීමක් බව පැහැදිලි ය.

මෘත ශරිරයක් පැහැර ගැනීම හා එම පැහැරගත් මෘත ශරිරයේ අවයව ඉවත් කොට, විරුද්ධ පාක්ෂිකයන් බිය ගැන්වීම සඳහා ඒ අවයව යොදා ගැනීම මිනිසකු ඝාතනය කිරීම, කරවීම සේ සාහසික හා බරපතල ය. මෙම සිද්ධියට සම්බන්ධ මෘත ශරිරය කාගේද යන්න තවමත් පොලිසියට සොයා ගැනීමට හැකිවී නැත. අවයව අධික ශීතලකින් යුතු බව ප්‍රකාශවීමෙන් ම පෙනී යන්නේ එය වළලා තිබු මෘත ශරිරයක් නොව මෘත ශරිරාගාරයක තිබූ මෘත ශරිරයක් විය හැකි බව ය. එහෙත් එය මෘත ශරිරාගාරයකින් ලබාගත් මෘත ශරිරයක් නම්, එය සොයා ගැනීම ද අමාරු විය නොහැකි ය. පොලිසියට එය සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ සොයාගැනීමට තිබෙන අමාරුකම නිසා ද, නැත්නම් ඇත්ත අවශ්‍යතාවක් නැති නිසා ද යන්න ප්‍රශ්නයකි.

දේශපාලන පසුබිමක් ඇති අපරාධවලදි ඒ සඳහා කෙරෙන පොලිස් පරික්ෂණ කෙරෙහි ද දේශපාලනය බලපායි. රෝහණ කුමාර ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් හඳුනාගැනීමට අවශ්‍ය සාධක තිබියදිත්, පොලිසිය නිහඬව සිටියේ ද එම පරික්ෂණ කටයුතුවලට එල්ල වූ දේශපාලන ඇගිලි ගැසීම් නිසා ය. කුමාර් පොන්නම්බලම් ඝාතනය සම්බන්ධයෙන් සිදුවූයේ ද ඒ ටිකම ය. ඉන්පසු නිමලරාජන් ඝාතනයට සිදුවූයේ ද එයම ය.

දැන් 89-90 කැරැල්ල සමයේ මෙන් තොග වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදු නොවන බව සත්‍යයකි. එහෙත් බිහිසුණු කැරැල්ලක් පසුබිමේ නැතිවත් සමහර තෝරාගත් මිනිසුන් අභිරහස් ලෙස ඝාතනයට ලක් කෙරෙන තත්ත්වයක් හා දේශපාලන විරුද්ධවාදින් සාහසික ලෙස බියගන්වන තත්ත්වයක් රටේ පවතී. ඝාතනය තරම් ම බිය ගැන්වීම ද සාහසික ය. මිනිසුන් තොග වශයෙන් ඝාතනයට ලක් කෙරුණ සමාජයක බියගැන්වීම ඉතා පහසු ය. එහෙත් සාහසික ලෙස මිනිසුන් බියගන්වන දේශපාලන සංස්කෘතියක් සහිත රටක් කවර මට්ටමකින් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස සැලකිය නොහැකි ය. මහජනයා බියගන්වන තරමට බියෙන් අත්මිදිමේ අවශ්‍යතාව ද මහජනයා ඉක්මණන් හෝ ප්‍රමාද වී හෝ තේරුම් ගනු ද නො අනුමාන ය.