ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසු තිබෙන ව්යවස්ථාව යටතේ තවදුරටත් ඇයට එම ධුරය සඳහා තරග කළ නොහැකිය. හැකියාවක් ඇතොත්, දෙවනි ධුර කාලය ද අවසන් වන තෙක් එම ධුරයේ රැඳී සිට ව්යවස්ථා වෙනසක් මගින් පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කොට එම ආණ්ඩුවේ රාජ්ය නායකයා වීම ජනාධිපතිනියගේ අභිලාෂය වනවා විය හැකිය. එහෙත් ශ්රීලනිපයේ වැඩි පිරිසක් ආණ්ඩු ක්රමයේ වෙනසක් ඇති කිරීමට හැකිවනු ඇතැයි කල්පනා නොකරති. ඒ නිසාම ඊළග නායකත්වය සඳහා එම පක්ෂය තුළ දැන් සිටම සීතල යුද්ධයක් ඇරඹී තිබෙන බව පෙනේ.
තමන් දරන නිල තත්ත්වය අනුව ඇතිවන හිඩැස පිරවීමේ අයිතිය තමන්ට ලැබිය යුතු යැයි අගමැති රත්නසිරී වික්රමනායක මහතා සිතන බවක් පෙනෙන්නට ඇතත්, වඩා ආක්රමණශීලී ආකාරයකින් ඇමති එස්.බී. දිසානායක මහතා ඒ අයිතිය ඇත්තේ තමන්ට යැයි කල්පනා කරමින් දැන් සිටම ඒ වෙනුවෙන් සටන් කරන තත්ත්වයකට යොමුවී සිටින බව පෙනේ.
ඇමති එස්.බී. දිසානායක වැන්නෙකු එසේ කල්පනා කරන තැනකට යොමුවීම ද ස්වාභාවිකය. මංගල සමරවීර හැරුණු විට ජනාධිපතිනියට සිටින විශ්වාසවන්තම සගයා ඔහුය. ඔහු සියලු ඇමතිවරුන් අතර සිටින බලවත්ම ඇමතිවරයෙකි. 1999 ජනාධිපතිවරණයේ ජයග්රහණය කෙරෙහි ඔහුගෙන් ලැබුණු අතිවිශේෂ දායකත්වය ඔහුට තිබුණු තත්ත්වය ශක්තිමත් කළේය. ඔහුට ශ්රීලනිප ලේකම් වැනි ඉතා බලවත් තනතුරක් හිමිකර ගැනීමට හැකිවූයේ ද ඒ නිසාය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඉතා බලවත් ඇමති ධුරයක් ඔහු අපේක්ෂා කළත් එය ඉටු නොවූ තැන ඔහු තමන්ට ලැබුණු ඇමතිකමට කෑලි ඇමතිකම් ගණනාවක් එකතු කරගැනීම මගින් සිය තත්ත්වය ශක්තිමත් කර ගත්තේය. ඔහු නියෝජ්ය මුදල් ඇමති ධුරයෙන් අඩක් ඉල්ලා සිටිවිට, ජනාධිපතිනිය ඔහුගේ එම ඉල්ලීම ඉටු කරනු ඇතැයි කිසිවකුත් අපේක්ෂා නොකළත්, මහාචාර්ය ජී.එල්. පිරිස් ඇමතිවරයා ඒ මගින් ඇද වැටෙන දුෂ්කර තත්ත්වය නොසලකා ජනාධිපතිනිය අවසානයේ දි එම ඉල්ලීම ද ඉටුකිරිමෙන් දිසානායක ඇමතිවරයාට ජනාධිපතිනිය කෙරෙහි බලපෑමේ හැකියාවේ තරම මනා ලෙස පෙන්නුම් කළේය.
දැන් ඇමති එස්.බී. දිසානායක ශ්රීලනිප පාලනය කරමින් සිටින්නේ ද හගුරන්කෙත ආසනය පාලනය කළ ආකාරයටමය. තමන්ට අවනත නැති හැම ඇමතිවරයකුටමත් ඔහු පහර දේ. වැඩ බැරී අකාර්යක්ෂම ඇමතිවරුන් අනුකම්පා විරහිත පළවා හරීන බව ප්රසිද්ධියේ කියන තරමට ඔහු බලයෙන් උද්දාම වී සිටින බව පෙනේ.
එහෙත් ඇමති දිසානායකගේ ක්රියාකලාපය ඇමති මණ්ඩලයේ වැඩි පිරිසකගේ සේ ම, පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයන් වැඩි පිරිසකගේ සංතෝෂයට හේතුවී නැත. ඔහුගේ අත්තනෝමතික ක්රියාකලාපය ඔහුට එරෙහිව පමණක් නොව, ජනාධිපතිනියට එරෙහිව ද මතුවිය හැකි අභ්යන්තර කැරැල්ලකට අවශ්ය මනා පරිසරයක් ඇතිකරමින් පවතී. එස්.බී. අවසානයේ සිය අරමුණ සපුරා ගනීද නැත්නම් තමන්ගේ තරම නොදැන පිම්බුණු ගෙම්බාට වූ දේ සිදුවේද යන්න තීන්දු කරනු ඇත්තේ කාලය විසිනි.
පොදු පෙරමුණු ආණ්ඩුවට ඉදිරි මාස කිහිපය තීරණාත්මකය. විරුද්ධ පක්ෂවල ක්රියාකාරිත්වය ශක්තිමත් වෙමින් ඒවායින් ආණ්ඩුවට එල්ල වන පීඩනය ද වර්ධනය වෙමින් පවතී. එජාපය වහාම ආණ්ඩුව පෙරළා දමන ක්රියාමාර්ගයක් වෙනුවට ආණ්ඩුව වෙනස් කරන උපාය මාර්ගයක් මත පිහිටා ක්රියාකරන බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපති චන්ද්රිකා, එස්.බී., මංගල වැනි තෝරාගත් සුළු පිරිසක් තනි කොට, ගොඩනගන සර්වපාක්ෂික තාවකාලික ආණ්ඩුවක් මගින් අවශ්ය ප්රතිසංස්කරණ නීතිගත කරවා ගැනීම එජාපයේ උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ. එහෙත් එවැනි අරමුණක් දිනාගත හැකිවනු ඇත්තේ පොදු පෙරමුණේ අභ්යන්තරයෙන් එවැනි වැඩපිළිවෙළකට සහාය දෙන පිරිසක් ඇති කරගැනීමට එජාප සමත් වේ නම් පමණය. පොදු පෙරමුණු ආණ්ඩුවේ අනාගතය පිළිබඳව පොදු පෙරමුණේ අය අතරම සැකයක් පවතී. අනෙක් අතට කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය පිළිබඳව පොදු පෙරමුණ අභ්යන්තරයේම වර්ධනය වන කලකිරීමක් පවතී.
ජනතා විමුක්ති පෙරමුණ විශේෂ වශයෙන් වැඩ කරන ජනතාව අතර සිය බලය තහවුරු කරගන්නා ක්රියාමාර්ගයක යෙදි සිටියත්, එම පක්ෂයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ නොපැහැදිලිය. එහෙත් එම පක්ෂය අනියම් ලෙස පොදු පෙරමුණ සමග පවත්වාගෙන ආ සන්ධානය බිඳ වැටී තිබෙන අතර, පොදු පෙරමුණ මුළු වැර යොදා ජනතා විමුක්ති පෙරමුණට පහර දෙන ප්රතිපත්තියක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ද පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ක්රියාකාරි ලෙස සටන් කරන තත්ත්වයකට යොමුවෙමින් සිටිනු දෑකිය හැකිය.
පොදු පෙරමුණට බස්නාහිර පළාත් සභාවෙත්, දකුණු පළාත් සභාවෙත් ලැබී තිබෙන බලය කෙරෙහි ජවි පෙරමුණෙන් ලැබී තිබෙන සහාය තීරණාත්මක ලෙස බලපායි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර තිබෙන අරගලය පොදු පෙරමුණට මෙම පළාත් සභා දෙකෙන් ලැබී තිබෙන බලය අහිමිවීමකින් කෙළවර විය හැකිය. මධ්යම පළාත් සභාවේ පවතින තත්ත්වය ද අවිනිශ්චිතය. එහි ඇත්තේ ද කොයි මොහොතේ හෝ වෙනස්විය හැකි අවිනිශ්චිත තත්ත්වයකි.
ආණ්ඩුවේ දුර්වල බව වර්ධනය වන තරමට පොදු පෙරමුණු ආණ්ඩුව තුළ අභ්යන්තර ආරාවුල් වර්ධනය වීම සේම, පොදු පෙරමුණට සහාය දෙන පොදු පෙරමුණේ නොවන පක්ෂ තමන්ගේ අනාගතය ගැන වෙනස් ආකාරයකින් ගණන් බලන තත්ත්වයකට යොමුවීම නොවැළැක්විය හැකිය. කම්කරු කොංග්රසය තුළ ද වර්ධනය වන අතෘප්තියක් පවත්නා අතර, මුස්ලිම් කොංග්රසය තුළ පවත්නා බෙදිම ද පොදු පෙරමුණේ ශක්තිය දුර්වල කිරීමට හේතුවී තිබේ. පොදු පෙරමුණට අනුයුක්ත පක්ෂයක් ලෙස සැලකිය හැකි කොමියුනිස්ට් පක්ෂය තුළ ඇතිවී තිබෙන වෙනස්කම්වල පවතින දේශපාලන අවිනිශ්චිතභාවය වර්ධනය කිරීමට හේතුවී තිබේ.
ඉදිරියේ වර්ධනය වන්නට නියමිත විරෝධතා ව්යාපාර බලය යොදා මර්දනය කිරිමේ වුවමනාවක් පොදු පෙරමුණු ආණ්ඩුවට ඇතත්, ඒ සඳහා අවශ්ය කරන ස්ථාවරභාවය පොදු පෙරමුණට නැත. පහරදෙන තත්ත්වයකට යාමෙන් සිදුවියහැකි එකම දේ බිඳ වැටීමේ ක්රියාවලිය ඉක්මන් වීම පමණ.