යෝජිත නීති ප්‍රතිසංස්කරණ මහජනතාවට රහසක් කොට තබාගන්නේ ඇයි?

March 4, 2001
Publication:
The government is reforming the whole legal system with a Rs. 1,400 million World Bank loan, but without telling the public or Parliament which laws are involved. The piece argues that the reforms serve business interests while ignoring workers, farmers, fundamental rights and good governance, and asks why the four independent commissions, repeal of criminal defamation and a right to information are left out.

ආණ්ඩුව සමස්ත නීති පද්ධතියම ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට කටයුතු කරමින් සිටී. ඒ වෙනුවෙන් ලෝක බැංකුව රුපියල් මිලියන 1400ක ණය මුදලක් ද ආණ්ඩුවට ලබා දි ඇත.

කල් යල් පැන ගිය නීති ඇතොත් ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු බවට සැකයක් තිබිය නොහැකි ය. එහෙත් එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මහජනතාවට නොපෙනෙන ලෙස හොර රහසේ කරන්නක් නොවිය යුතු ය. ප්‍රතිසංස්කරණය කරන්නට යන නීති මොනවාදැයි කල්තියා දැනගැනීමේ හා ඒ පිළිබඳ අදහස් පළ කිරිමේ අයිතියක් මහජනයාට සේ ම පාර්ලිමේන්තුව වැනි ආයතනවලට ද තිබිය යුතු ය.

එහෙත් මේ නීති ප්‍රතිසංස්කරණය ව්‍යාපාරික වුවමනාවක් වෙනුවෙන් කරන්නක් මිස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වුවමනාවන් වෙනුවෙන් කරන්නක් නොවන බව පැහැදිලි ය. නීති ප්‍රතිසංස්කරණයේ දි ක ප්‍රජාවගේ වුවමනාවන් සැලකිල්ලට ගත්තාට වරදක් නැත. ඒ සමග කම්කරු පන්තියේ හා ගොවි ජනතාව වැනි වෙනත් ජනතාවගේ වුවමනාවන් ද සැලකිල්ලට ගත යුතු අතර විශේෂයෙන් ම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් සැලකිල්ලට ගත යුතු ය.

එහෙත් යෝජිත නීති ප්‍රතිසංස්කරණයේ දි යහපත් ආණ්ඩුකරණයක් වැනි වුවමනාවන් කවර මට්ටමකින්වත් සැලකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවේ අරමුණ සමස්ත නීති පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීම නම් යෝජිත ස්වාධීන කොමිෂන් සභා හතර, අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස සීමා කිරීමට හේතු වී ඇති සාපරාධී අපහාස නීතිය හා තොරතුරු ලබාගැනීමට මහජනයාට තිබෙන අයිතිය තහවුරු කිරීමට හේතුවන ලෙස නව නීති ඇති කිරීම වැනි කාරණා සැලකිල්ලට නොගන්නේ ඇයිද යන්න ප්‍රහේලිකාවකි.

නීති ප්‍රතිසංස්කරණයකට යනවා නම් එය පුළුල් අර්ථයකින් සිදුවිය යුතු ය. එය ව්‍යාපාරික ප්‍රජාවගේ වුවමනාවන් පමණක් සැලකිල්ලට ගෙන කරනු ලබන ප්‍රතිසංස්කරණයක් නම් එයින් රටට ලැබෙන ප්‍රතිඵල යහපතක් විය නොහැකි ය.