සනත් ගුණතිලක සහ රුපියල

February 18, 2001
Publication:
A profile of the actor Sanath Gunathilake after losing his post as the President's media adviser, a fall Ivan likens to the rupee's. He describes the vehicles, guards, free stays at the Galadari hotel and deference he once enjoyed, his habit of attaching himself to whoever held power from Gamini Dissanayake to Kumaratunga, and the income he drew from bar licences run by Neil Abeywardena, liquor distribution, advertising, teledramas and the Channel 9 deal with Lakshman Hulugalle.

සනත් ගුණතිලක කලක් ජනමාධ්‍යවල විශේෂ අවධානයට ලක්වූ විශේෂිත පුද්ගලයකු බවට පත්ව සිටියේය. ඒ ඔහු ප්‍රසිද්ධ නළුවකු වූ නිසා නොව, ජනාධිපති මාධ්‍ය උපදේශක වශයෙන් ඔහු ඉසිලු විශේෂ තනතුර නිසාය. එකල ඔහුට ලැබුණු ගරු සැලකිලිවල ප්‍රමාණය ඉතා විශාල විය. රාජ්‍ය මට්ටමෙන් පවත්වන හැම වැදගත් උත්සවයකම ඔහුට ද කැපී පෙනෙන අසුනක් හිමි විය. ඔහු කැබිනට් ඇමතිවරයකු නොවූවත්, ඔහු කැබිනට් ඇමතිවරයකුටත් වඩා බලවත් විය. ඔහුට රීදි පැහැති නිසාන් සනි වර්ගයේ නිල වාහනයක් ලැබී තිබුණු අතර, ඊට අතිරේකව ඔහු රජයේ වාහන තුනක් පමණ පරීහරණය කළේය. ඔහුට ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂකයන් හයදෙනකු ලැබී තිබුණි. ඔහු නැති තැන ඔහුට හිනාවෙන පිරිසක් සිටියත්, ඒ හැමදෙනකුම ඔහු ඉදිරියේ ගරු සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මහින්ද රාජපක්ෂ, අනුරුද්ධ රත්වත්ත, එස්.බී. වැනි ඇමතිවරුන් කිහිපදෙනකු හැර ඇමතිවරුන් වැඩි පිරිසක් ද මූනිච්චාවට හෝ ඔහුට ගරු සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඕනෑම රාජ්‍ය නිලධාරීයෙකුට දුරකතනයෙන් කතා කොට නියෝග දිමේ හැකියාවක් ඔහු හිමිකරගෙන සිටියේය.

එහෙත් ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර අහිමිවීමත් සමග දැන් ඔහු වැටී සිටින තත්ත්වය, රුපියල වැටී තිබෙන තත්ත්වයටත් වඩා පහත්ය. එදා ඔහුට ගරු සැලකිලි දෑක්වීමට පොර කෑ අය අද ඔහුට හාස්‍යයෙන් සිනාසෙති. එදා ඔහු කිරිපැණි මෙන් ඇසුරු කළ ඇමතිවරුන් අද ඔහු මග හරීමින් සිටින්නේ උදෑසනක නොදෑකිය යුතු තරම් මූසල මිනිසකු මගහරින ආකාරයටය. ඔහුට යම් පමණකට සවන් දෙන තත්ත්වයක සිටිනුයේ ඇමති එස්.බී. දිසානායක මහතා පමණය.

වෙනදා සිනමා නළු නිළියන්ට ජනාධිපති සම්මාන පිරිනැමෙන උළෙලේ වැඩියෙන්ම බැබලෙන තාරකාව වී සිටියේ සනත් ය. එහෙත් පසුගිය ජනාධිපති සම්මාන උළෙලට ඔහුට නිල ආරාධනාවක්වත් නොලැබුණේය. ඔහු ඒ නිසා ඇතිවිය හැකි ලජ්ජාව වසාගැනීම පිණිස සම්මාන උළෙලට සහභාගි වූයේ තමා විසින්ම ඇමතිවරයකුගෙන් ඉල්ලා ගත් ඇරයුමක් ඔස්සේය. පාර්ලිමේන්තු මැතිවරණය මුවවිට තිබෙන අවස්ථාවක ජාතික රූපවාහිනිය තමන් අරඹා තිබුණු “චැනල් අයි” නාලිකාව රටට හඳුන්වාදෙන අතර, ජනමාධ්‍ය ඇමතිවරයාට මැතිවරණයේදි තල්ලුවක් ලබාදිමේ අරමුණ ඇතිව මාසයක් පුරා පවත්වන ලද “රුහුණු ප්‍රදිප” උළෙල විවෘත කෙරෙන පහන් දෑල්වීමේ උත්සවයට පහන දල්වන්නට නියමිතව සිටි අය අතර සනත් ගුණතිලක ද සිටියේය. ස්වාධීන රූපවාහිනි සේවයේ බලධාරින් සනත් ඊට සම්බන්ධ කොටගෙන තිබුණේ සනත් ඉසිලු නිල තනතුරේ වෙනසක් ඇතිවී තිබෙන බව ඒ වනවිටත් ඔවුන් නොදැන සිටි නිසාය. ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර සනත්ට සිටි කිරීපැණ වැනි මිතුරකු වුවත්, නිල තනතුර අහිමි වී සිටි තත්ත්වයක් යටතේ සනත් පහන දල්වන අවස්ථාවට සම්බන්ධ කරගන්නවාට මංගල කැමති නොවී ඒ බව රූපවාහිනියේ බලධාරින්ට දෑනුම් දුන්නේය. අවසානයේ පහන දල්වනවාට අතිරේකව උත්සව සභාව අමතා කතාවක් ද කරන්නට පැමිණ සනත්ට පහන දැල්වීමකින් හෝ කතාවක් පැවැත්වීමකින් තොරවම සාමාන්‍ය පුද්ගලයකු සේ හිස් අතින් ආපසු යාමට සිදුවිය. මෑත දිනකදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරීයක් එහි ලේකම්වරයකු සමග විවාහ වූ අතර, ජනාධිපතිනියගේ ද සහභාගීත්වය ඇතිව ඉතාම උත්කර්ෂවත් ආකාරයට පවත්වන ලද එම මංගල උත්සවයට ආරාධනාවක් නොලැබුණු එකම වැදගතා වූයේත් සනත් ගුණතිලකය.

දැන් සනත්ට එදා මෙන් හිතේ හැටියට පාවිච්චි කිරීමට යාන වාහන විශාල සංඛ්‍යාවක් නැත. නිසාන් සනි වර්ගයේ රිදි පැහැති නිල මෝටර් රථය ද ආපසු බාරදෙන්නට සිදුවීමෙන් පසුව දැන් ඔහු පාවිච්චි කරන්නේ සිය අරක්කු ව්‍යාපාරයේ ව්‍යාපාරික හවුල්කරු ඔහුට කුලියට ගෙවන ක්‍රමයක් යටතේ ලබාදි ඇති වාහනයයි. එය ද නිසාන් සනි වර්ගයේ වාහනයකි. එහෙත් වර්ණය පමණක් නිල රථයේ වර්ණයට වඩා වෙනස්ය. ඔහු ජීවත් වූයේ ද ආරක්ෂක භට පිරිසක් පිරිවරා ගෙනය. ආරක්ෂක භටයන්ගෙන් තොරව ජීවත් විය හැකි තරම් මානසික පරිසරයක් නැති නිසාදෝ ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන් නැතිකමේ අඩුව දැන් ඔහුට සපුරා ගන්නට සිදුවී ඇත්තේ කෝටිපති කාන්තාවකගේ අනුග්‍රහයෙන් ලබාගත් පුද්ගලික ආරක්ෂක භටයන් දෙදෙනකුගෙනි. තනතුර උසුලන කාලයේ ඔහු වැඩි වශයෙන් ම ජීවත් වූයේ යූඑන්පී ආණ්ඩු පාලන කාලයේදි නිවාස ඇමති සිරීසේන කුරේ මහතාගෙන් ලබාගත් ඇල්විටිගල තට්ටු නිවාස සංකීර්ණයේ ඇති නිවාසයේවත්, පොදු පෙරමුණට එකතුවීමෙන් පසුව මැනින් තට්ටු නිවාස සංකීර්ණයෙන් ලබාගත් සුඛෝපභෝගී ඒකකයට ඇතුළත් නිවසේවත්, හිගුරාණ සීනි කම්හල මිලදි ගත් වීරබාහු ලබාදි තිබූ මෙරීගෝල්ඩ් එපාට්මන්ට්ස් නමින් වන තට්ටු නිවාස සංකීර්ණයේ ඇති D4 නිවාසයේවත් නොව ගලදාරී මෙරීඩියන් හෝටලයේය. කොටි සංවිධානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් නිසා ගලදාරී හෝටලයට අතිවිශාල අලාභයක් සිදුවූ අතර, රජයේ අනුග්‍රහයෙන් ලබා දෙන ලද රුපියල් මිලියන 400ක ණය පහසුකමට තමාගේ ද කිට්ටු සම්බන්ධයක් ඇති බව හෝටල් බලධාරින්ට මවා පෙන්වීමට සනත් ගුණතිලක සමත්ව තිබුණේය. සනත් ගුණතිලකගේ එම අර්ථකථනය පිළිගත් නිසා හෝ ඔහු දරන ලද නිල තනතුරට තිබුණු බලවත්කම නිසා හෝ හෝටලය ඔහුට අවශ්‍ය අවස්ථාවලදි කිසිදු ගෙවීමකින් තොරව නැවතුම් පහසුකම් ලබාදි තිබුණේය. සනත් නැවතුම් ගැනීමට පමණක් නොව, සිය හිතමිතුරන්ට සේ ම සිය ව්‍යාපරික හිතමිතුරන්ට ද නිර්ලෝභීව හෝටලයේ වියදමින් සංග්‍රහ කිරීමට තමන්ට ලැබී තිබුණු මේ පහසුකම උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තේය. එහෙත් නිල තනතුර අහිිමිවීමත් සමග හෝටලයෙන් ලබාදෙන ඒ පහසුකම ද අහෝසි විය.

සනත් රට රටවල පැවැත්වෙන චිත්‍රපට උත්සවවලට නොවරදවා සහභාගි වූයේය. සිරීතක් වශයෙන් සනත්ව ගුවන් තොටුපලේ දි පිළිගත්තේ එරට ශ්‍රී ලංකා තානාපතිවරයාය. බොහෝවිට එරට සිටින තෙක් ඔහු එම රටේ ගමන් කළේ ද ශ්‍රී ලංකා තානාපතිගේ නිල වාහනයෙනි.

සනත් ජනාධිපතිනියගේ ජනමාධ්‍ය උපදේශක යන නිල තනතුර ලැබීමත් සමග ක්‍රමයෙන් පැරණ මිතුරන් අත්හරීමින් නව නිල තනතුරට ගැලපෙන අලුත් මිතුරු පිරිසක් ඇති කරගත්තේය. නිල තනතුර අහිමිවීමත් සමග දැන් සනත් ඉන්නේ අල්ලපු අත්තත් නැති, පයගහපු අත්තත් නැති තත්ත්වයකය. නිල තනතුරත් සමග ඇති කරගත් අලුත් මිතුරු කැල නිල තනතුර අහිමිවීමත් සමග ඔහු සමග තිබුණු සියලු මිතුරුකම් ද අත්හැරියේය. දැන් ඔහුට තනතුර ලැබෙන විට අත්හරීන ලද මිතුරන් වෙත ද යා නොහැකිය.

සනත් ගුණතිලක ඉතාමත් සුවිශේෂ සමාජ කුලකයක් නියෝජනය කළේය. ඔහුගේ සුවිශේෂ ගති ලක්ෂණ හැදෑරිම වැදගත් වන්නේද, ඒ අර්ථයෙන් පමණය. මේ කුලකයට අයත් මිනිසුන් ඉතාමත් කපටි ලෙස බලවත් අයට සමීපවීමට අවශ්‍ය නිපුණ හැකියාවකින් යුතුය. ඔවුහු සිරීතක් වශයෙන් ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා කිසිවක් නොකරති. එහෙත් බලයට පත්වන කවර ආණ්ඩුවකට හෝ ඉක්මණන් සමීප වීමේ අපූරු හැකියාවක් ඔවුන් සතුය. ඒ සමග ඔවුන් ඉක්මණන් එම ආණ්ඩුවේ අයිති කාරයන් බවට ද පත්වෙමින් ලැබෙන බලය උපයෝගී කරගනිමින් උපරිම ලෙස ධනය උපයා ගනිති. තීක්ෂණ දේශපාලන ඉවක් ඔවුන් සතුය. බලයට එන ආණ්ඩු අවසාන මොහොතේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන විට ඒවා අත්හැර යමින් ඊළගට බලයට එන ආණ්ඩුවලට එකතුවීමටත් ඔවුන් දක්ෂය.

සනත් සිනමා ලෝකය අතහැර දේශපාලන ලෝකයට එකතුවන්නේ සිනමා ලෝකය කඩා බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවකය. සිනමා ලෝකයේදි ඔහුගේ ජීවිතය රගපෑමක් වූවා සේම, දේශපාලන ලෝකයේදි ද ඔහුගේ ජීවිතය අපූරු රගපෑමක් විය.

ගාමිණී දිසානායක ඉතා බලවත් තත්ත්වයක සිටි යුගයේදි ඔහු ගාමිණී දිසානායක මහතාගේ සමීප සගයකු විය. ගාමිණී දිසානායක මහතාගේ බලපරාක්‍රමය බිඳ වැටී ප්‍රේමදාස මහතා බලවත් වූ විට ඔහු ගාමිණී දිසානායක අතහැර ප්‍රේමදාස ජනාධිපතිවරයාට ලංවිය. ජනාධිපති ප්‍රේමදාස ඝාතනයෙන් පසුව ජනාධිපති විජේතුංග මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලංවිය. එජාප යුගය අවසන්වීමත් සමග ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලංවෙමින් පොදු පෙරමුණු ආණ්ඩුවේ බලවතකු බවට පත්විය.

ඔහු සිනමා නළුවකු ලෙස පවත්වාගෙන ගිය ජීවිතය ද බොහෝදුරට ඊට සමාන විය. ඔහු ගැහැණුන්ට ආදරය නොකළේය. එහෙත් බලවත් ගැහැණුන්ට ආදරය කරන බව පෙන්වමින් ඒ මගින් සිය ඉදිරි ගමන ශක්තිමත් කරගත්තේය. සිනමා නිළියන් ජනප්‍රියත්වයේ ඉහළම පෙත්තටම පැමිණ බලවත් තත්ත්වයක් ලබාගත් හැම අවස්ථාවකම කවර ආකාරයකින් හෝ ඔහු ඇගේ පෙම්වතා බවට පත්වෙමින් ඒ මගින් සිනමා ලෝකය තුළ සිය බලය තහවුරු කරගත්තේය. ඔහුගේ ඒ හැම ප්‍රේම සම්බන්ධයක් තුළම අතිවිශාල ආත්මාර්ථ කාමීත්වයක් ද ගැබ්ව තිබුණේය. එක් ප්‍රසිද්ධ නිලියක් ඔහු විසින් දුෂ්ට ලෙස රවටනු ලැබූ ආකාරය සිනමා ලෝකය තුළ ප්‍රකටය. ඇය තුළ අවිශ්වාසයක් ජනිත නොවනු පිණිස විවාහවීමට දින යොදා ගනිමින් උත්සවය පැවැත්වීම සඳහා හෝටලයක් ද ඇණවුම් කළේය. ඔහු නිසා ඇය ගැබ් ගෙන සිටි අතර, අවසාන මොහොතේදි ඇය අතහැරිම පිණිස කළේ බඩේ සිටින දරුවා තමාගේ නොවන බවට චෝදනා කරමින් ඇයට පහරදිමය. මේ සිද්ධියෙන් ඇය කොතරම් කම්පනයට පත්වූවාද කියතොත්, ප්‍රකෘති තත්ත්වයට ඒමට ඇයට දිර්ඝ කාලයක් ප්‍රතිකාර ගැනීමට පවා සිදුවිය. ඔහුට හැම කාන්තාවක්ම ඉහළට යාමට ඇති අත්තකට වැඩි දෙයක් නොවීය.

පොදු පෙරමුණු ආණ්ඩුවට එකතුවීමෙන් පසුව ඔහු ධනය ඉපයීමේ ක්‍රියාවලිය උපරීම මට්ටමකට ගෙනාවේය. ඇමතිවරුන්ට බාර් ලයිසන් ලැබෙන විට ඔහුට ද බාර් ලයිසන් හතරක් ලැබුණ. නුගේගොඩින් රෝයල් වයින් ස්ටෝර්ස්, බත්තරමුල්ලේ නිල්මිණ වයින් ස්ටෝර්ස්, කොටුවේ ඇති පේ‍රස් ක්ලබ්, නාරාහේන්පිට ඇති නිව් නාරාහේන්පිට වයින් ස්ටෝර්ස් යන බීම ශාලා ඔහුට ලැබුණු බලපත්‍රවලින් අරඹන ලද ඒවා වේ. ඔහු තමන්ට ලැබුණු සියලු බලපත්‍ර නීල් අබේවර්ධන නමැති පුද්ගලයාට දි ඒවා තමා වෙනුවෙන් පවත්වාගෙන යාමේ වගකීම ඔහුට පවරා දුන්නේය. ඊට අතිරේකව මත්පැන් බෙදාහැරිමේ ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය කරන Fඛ 3 වර්ගයේ බලපත්‍රයක් ද ඔහු නීල් අබේවර්ධනට ලබාදුන්නේය. සිලෝන් බෘවරී සමාගමේ සියලු නිෂ්පාදිතයන් බස්නාහිර පළාත තුළ බෙදාහැරිමේ වගකීම නීල් අබේවර්ධනට ලබාදිම සඳහා ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකු ලවා බෘවරී සමාගමේ අයිතිකරුවන්ට කතා කළේය. බෙදාහැරිමේ නියෝජිත ධුරය සඳහා රුපියල් 60 ලක්ෂයක ඇපකරයක් ඉල්ලා සිටි විට නැවත එම ඉහළම පුද්ගලයා ලවා පුද්ගලික බැංකුවක අයිතිකරුට කතා කොට අවශ්‍ය ඇපකරය එම බැංකුව මගින් ලබා දුන්නේය. ඉන්පසු සිලෝන් බෘවරී සමාගමේ සියලු නිෂ්පාදන බස්නාහිර පළාත තුළ බෙදාහරින්නන් වී සිටින්නේ ඔවුන්ය. ඉන්පසු රොක්ලන්ඩ් සමාගමේ සියලු නිෂ්පාදනයන් එම පළාත තුළ බෙදාහැරිමේ නියෝජිත ධුරය ද ඔවුන් අතට පත්විය. දැන් සනත් ගුණතිලක රටේ සිටින ප්‍රධාන පෙළේ අරක්කු ව්‍යාපරිකයෙකි. නීල් අබේවර්ධනගෙන් ඔහුට එම ව්‍යාපාරය වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයකට ආසන්න දිමනාවක් ලැබෙන්නේය. සනත්ට තනතුර අහිමිවීමෙන් නිල රථය අහිමි වූ විට සනත් පාවිච්චි කළ සනි රථයට සමාන රථයක් සනත්ට මිලදි ගෙන දුන්නේ ද නීල් අබේවර්ධනය.

මුදල් අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ක්‍රියාකරන දීෆාස්ට් ඇඩ්ස්” දැන්වීම් සමාගම ද සනත්ට ධනය උපයා දෙන ප්‍රධාන මාර්ගයකි. මෙම සමාගමට මුදල් අමාත්‍යංශයට අයත් ආයතනවල දැන්වීම් ලබාදිම සහතික කරන ලද්දේ සනත් විසිනි. එම සමාගමෙන් පමණක් සනත්ට රුපියල් ලක්ෂ දෙකක පමණ මාසික ආදායමක් ලැබෙන්නේය. රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ ප්‍රදර්ශනය කෙරෙන සමහර ටෙලි නාට්‍යවලින් ද සනත්ට ආදායම් ලැබෙන්නේය. දීයුගවිලක්කුව” ඊට නිදර්ශනයකි. ඒ සමස්ත වැඩපිළිවෙළ පිටුපස සිටි ප්‍රධානම පුද්ගලයා සනත්ය. ප්‍රදර්ශනය සඳහා වාර්තාගත මිලක් අය කෙරුණු ටෙලිනාට්‍යය එය විය. දිනකට ප්‍රදර්ශනය කෙරෙන එක් දර්ශනයක් සඳහා අය කෙරුණ මිල රුපියල් ලක්ෂ 3 1/2කි. රූපවාහිනියට ටෙලි නාට්‍යය සඳහා අනුග්‍රාහකයන් දෙදෙනෙකු සොයා දුන්නේ ද සනත්ය. එක් දර්ශනයක් සඳහා සනත්ට ලැබෙන්නට ඇති කප්පම රුපියල් ලක්ෂ 2ක් පමණ විය හැකිය. දීඩිස්කවරී” චැනලය ද සනත්ට හොඳ කප්පමක් ලබාදුන් මාර්ගයක් විය. ඒ ගිවිසුමෙන් සනත්ට ලැබුණු කප්පමේ ප්‍රමාණය දන්නේ රූපවාහිනියේ බලධාරින් පමණය.

මීට අතිරේකව සනත් ව්‍යාපරික ලෝකය සමග ද ගනුදෙනු කළේය. කිසියම් ව්‍යාපරිකයකුට තමන් ආරම්භ කරන ව්‍යාපෘතියක් සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වන අවස්ථාවලදි සනත් මගින් ඒ අනුමැතිය ලබාගන්නා විශේෂ ක්‍රමයක් ක්‍රියාත්මක විය. එවැනි ගනුදෙනුවලදි ව්‍යාපෘතියේ වටිනාකම අනුව සනත් ද මිලක් ලබාගත්තේය. චැනල් 9 ව්‍යාපෘතිය ඒ සඳහා දෑක්විය හැකි ප්‍රකටම නිදර්ශනයයි. ආයෝජකයා සොයා ගත්තේ ලක්ෂ්මන් හුළුගල්ලේය. අනුමැතිය ලැබෙතොත් ඒ සඳහා තමන්ට ලැබීමට නියමිත ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනය සනත් සමග බෙදාගැනීමට හුළුගල්ලේ බලාපොරොත්තු විය. එහෙත් හුළුගල්ල සමස්ත ව්‍යාපෘතියෙන් පිටමං කොට 15%ක කොටස් නොමිලේ තමන් වෙත තබාගැනීමට සනත්ට අවශ්‍ය වූ අතර, ඒ නිසා හටගත් ආරාවුල නිසා එම ගනුදෙනුවේ සුලමුල ද රටට හෙළිවිය.

මේ සියලු මාර්ගවලින් සනත් උපයා තිබෙන ධනස්කන්ධය කොතරම්ද යන්න පැහැදිලි නැත. එහෙත් සනත්ට එංගලන්තයේ නිවසක් ඇති බවටත්, එංගලන්තයේ තිබෙන ධනය සොයා බලාගැනීමේ වගකීම පවරා ඇත්තේ එංගලන්තයේ සිටින ඩයනා නමින් වන කාන්තාවකට බවත් සනත්ගේ කිට්ටු මිතුරන් අතර කතාවක් පවතී.

සනත් හැමදාමත් වැදගත් කොට සැලකුවේ මිතුරන් නොව ධනයයි. මිතුරන් අහිමි වී ඇතත්, තමන් උපයා ගත් ධනය වැඩිවී ඇතුවා මිස අහිමි වී නැති බැවින් සනත්ට නම් කණගාටුවීමට තරම් දෙයක් සිදුවී නැත. ඔහුගේ දක්ෂතාව උරගා බැලෙන ඊළග අවස්ථාව වනු ඇත්තේ ඔහු ඊළගට බලයට එන පාලකයාට ද ලංවීමට සමත්වනු ඇත්ද යන කාරණයේදිය. සමහරවිට ඔහුට එය ද කිරී කජු මෙන් විය හැකිය. එජාපාක්ෂෂිකයෙකු වූ තමා පොදු පෙරමුණට එකතු වූයේ එය අභ්‍යන්තරයට වැද එය විනාශ කිරිමේ අරමුණින්ලුයැයි ද ඔහු අනාගත ආණ්ඩුවකට එකතුවෙමින් සිටී යැයිද කීවත් එය පුදුමයට හේතුවන්නේ නැත. ඒ තරම් ඔහු බලයේදි කපටිය. ගාමිණී ෆොන්සේකාට ඔඩොක්කු කුක්කකු ලෙස පෙනුනු මේ චරිතය සාමාන්‍ය මහජනතාවට ඉතාමත් දුෂ්ට හා කපටි පුද්ගලයකු ලෙස පෙනෙනු ඇතත්, මකියවේලී ජීවත් වී නම්, ඔහු සීසර් බෝජා ප්‍රශංසාවෙන් සැලකූ ආකාරයටම සනත් ගුණතිලක ද ප්‍රශංසාවෙන් සලකනු නොඅනුමානය. සනත්ට සිය ඇත්ත ජීවිත චරිතය චරිත කතාවක් ලෙස ලියා පළකළ හැකි නම්, ඊට වාර්තාගත අලෙවියක් ලැබෙනු ඇතිවා පමණක් නොව, මකියවේලිගේ කුමාරයා පොතට ලැබෙන වැදගත්කම අහෝසි වී ඒ තැන සනත්ගේ චරිත කතාවට ලැබෙනු ඇති බවට ද සැකයක් නැත.