දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම් ආර්. සම්බන්දන් මහතා යෝජිත ස්වාධීන කොමිෂන් සභා හතර ගැන ඉරිදා පුවත්පතකට කෙටි අදහස් පළකිරීමක් කර තිබුණි. එම කොමිෂන් සභා හතර පිහිටුවීමෙන් පමණක් ප්රජාතන්ත්රවාදය සුරැකිය නොහැකි බවත්, ඊට අතිරේකව සුළු ජාතීන්ට තිබෙන ගැටලු විසඳගත් හැකි ආකාරයට ආණ්ඩුක්රම ව්යවස්ථාව ද වෙනස් විය යුතු බවත් ඔහු ප්රකාශ කර තිබුණි.
සම්බන්දන් මහතා ඒ ගැන පළකර ඇති අදහස්වලින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නය හා ජනවාර්ගික ප්රශ්නය එකම ප්රශ්නයක පැති දෙකක් ලෙස නොව, එකිනෙකට වෙනස් ප්රශ්න දෙකක් ලෙස සම්බන්දන් මහතා සලකන බවය. පොදු දෙමළ මතය ද එයම විය හැකිය.
එහෙත් දකුණෙන් මතුවෙමින් තිබෙන ප්රජාතන්ත්රවාදී ඉල්ලීම් හා උතුරෙන් මතුවී තිබෙන සුළු ජාතික අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම් එකිනෙකට වෙනස් ගැටලු දෙකක් නොව, එකකට එකක් බැඳුණු එකම ගැටලුවක පැති දෙකක් පමණය. එම ගැටලුව දකුණේ සිංහල ජනතාව කෙරෙහි එක් ආකාරයකිනුත්, උතුරේ දෙමළ ජනතාව කෙරෙහි වඩා පීඩාකාරි වෙනත් ආකාරයකිනුත් බලපා තිබේ. මේ ගැටලුවට සාර්ථක විසඳුමක් ඇති කරගත හැකිවනු ඇත්තේ ද මේ ගැටලු දෙක එකිනෙකට වෙනස් ප්රශ්න දෙකක් ලෙස සලකන ප්රවේශයකින් නොව, එකම ගැටලුවක පැති දෙකක් ලෙස සලකන ප්රවේශයකිනි. මේ ජනවර්ග දෙක එකට ඒකරාශි කිරිමේ හැකියාවක් ඇත්තේ ද එවැනි ප්රවේශයකට පමණය.
ශ්රී ලංකාව වැඩවසම් රාජාණ්ඩු ක්රමයක සිට ධනවාදි ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයකට මාරුවන්නේ ඓතිහාසික සංවර්ධනයේ ස්වභාවික ඵලයක් හා සමාජ දේශපාලන දැනුවත්භාවයේ ඵලයක් වශයෙන් නොවේ. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමය ධනවාදය ශ්රී ලංකාවට හඳුන්වාදුන් ඉංග්රීසීන්ගෙන් ලැබුණු කාරුණක ත්යාගයක් විය. ගොඩනැගෙමින් තිබුණු නව ධනේශ්වර සමාජ පසුබිම තුළ සමාජය නව දේශපාලන ක්රමයට අනුගත වුවත් ඒ අනුගතවීම සිදුවූයේ වැඩවසම් ආකල්ප අතහැර ප්රජාතන්ත්රවාදී ආකල්පවලට මාරුවීමකින් තොරවය.
තෑගි වශයෙන් ලැබුණු නව දේශපාලන ක්රමයේ පැවැත්ම සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීම අත්යවශ්ය වුවත් එය මේ දක්වා සම්පූර්ණ කිරීමට රටක් වශයෙන් අපි අසමත් වී සිටිමු. නිදහස ලැබෙන අවස්ථාව වනවිට වාර්ගික වශයෙන් සමාජය බෙදි සිටි ස්වභාවය අදට වඩා සංකීර්ණ විය. සිංහල වර්ගයා පහතරට සිංහල හා උඩරට සිංහල වශයෙන්ද, දෙමළ වර්ගයා ලාංකික දෙමළ හා ඉන්දියානු දෙමළ වශයෙන් ද, මුස්ලිම් වර්ගයා නැගෙනහිර මුස්ලිම්, නැගෙනහිර නොවන මුස්ලිම් වශයෙන් ද බෙදි සිටියහ. මේ හැම කණ්ඩායමක් ම වෙනස් අනන්යතාවක් වෙනුවෙන් පෙනී සිටි අතර, පිටස්තර කිසිවෙක් තමන්ට සමීප හෝ සහෝදර පිරිසක් ලෙස සලකන තත්ත්වයක් නොතිබුණි. උඩරට සිංහල ජනයා එකල තමන්ට තර්ජනයක් ලෙස සැලකුවේ දෙමළ ජනයා නොව, පහතරට සිංහලයන්ය. තමන්ගේ වෙනස් අනන්යතාව රැකගැනීම සඳහා පෙඩරල් ක්රමයක් වෙනුවෙන් පෙනී සිටි ප්රථම වාර්ගික කණ්ඩායම ද ඔවුන් විය.
සිංහල, දෙමළ, මුස්ලිම් වර්ගයාගේ වෙනස් වාර්ගික අනන්යතාවන් රැකදෙන රාමුවක් තුළ එක්සත් ශ්රී ලාංකීය ජාතියක් ඇතිකර ගැනීමට නොහැකිවීම කෙරෙහි සිංහල ජාතික නායකයන්ගේ ප්රජාතන්ත්රවාදී නොවන පටු ආකල්ප සේ ම, දෙමළ හා මුස්ලිම් ජාතික නායකයන්ගේ ප්රජාතන්ත්රවාදී නොවන පටු ආකල්ප ද බලපෑවේ ය. එහෙත් එම නායකයන් කෙරෙන් ප්රකාශ වූ එම පටු බව කෙරෙහි නිදහස දිනාගැනීම සඳහා සියලු වාර්ගික කණ්ඩායම් එකට ඒකරාශී කොට ක්රියාත්මක වන බලවත් නිදහස් ව්යාපාරයක් නොතිබීමේ ප්රශ්නය ද බලපෑවේය. බලවත් නිදහස් ව්යාපාරයක් තුරුල්ලේ පෝෂණය වූ නායක පිරිසක් නොවීම නිසාම, නිදහසින් ලැබෙන ඵල වර්ගය අනුව පංගු කරගැනීමට මේ සියලු නායකයෝ ඉංග්රීසින්ට කේලාම් කියන තරගයක නිරතව සිටියෝය.
ඊට වෙනස්ව මේ වකවානුවේ පුළුල් දැක්මක් ඇතිව ක්රියා කරන තත්ත්වයක සිටි එකම දේශපාලන ව්යාපාරය ලෙස සැලකිය හැක්කේ යාපනේ තරුණ සංගමය පමණය. දකුණේ සිංහලයන් අතර, එවැනි ව්යාපාරයක් නොතිබුණත්, එවැනි දැක්මක් ඇති නායකයන් දෙපළක් රටේ සිටියේය. ඒ ශ්රී නිශ්ශංක හා විල්මට් පෙරේරාය. වාමාංශික නායකයන්ගේ භාවිතය ද, සම්ප්රදායික සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන්ගේ භාවිතයට වඩා වෙනස් වුවත් ඔවුන් ජාතික නිදහස අනවශ්ය තරමට පන්ති අරගලයක් බවට පත්කර ගැනීමට දරන උත්සාහයන් තුළ තමන්ට ලැබිය හැකි ජයග්රහණයන් සීමා කොට ගෙන තිබුණි.
යාපනයේ තරුණ සංගමයට පුළුල් ප්රජාතන්ත්රවාදී ඉදිරි දැක්මක් තිබුණි. රටේ සියලු වර්ගවලට අයත් ජනයා එකට ඒකරාශී කොට, දියත් කරන අවිහිංසාවාදි බහුජන ක්රියාමාර්ගයක් මගින් නිදහස දිනාගත යුතුය යන්න ඔවුන්ගේ මතය විය. යාපනයේ පැවති කුලභේදයට එරෙහිව නැගී සිටි ප්රථමයන් වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ද ඔවුන්ටය. නානා ජාතිකත්වයක් පදනම් කරගත් ලෝකායන්ත ප්රජාතන්ත්රවාදයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියහ. ඩොනමෝර් ව්යවස්ථාව යටතේ 1931 පැවති මැතිවරණයේදි ඔවුන් ඉතාමත් සාර්ථක වර්ජන ව්යාපාරයක් උතුරේ දියත් කළේය. ඊට එකතු වන ලෙස ඔවුන් දකුණෙන් ද බලවත් ඉල්ලීමක් කළද, දකුණෙන් ඊට යහපත් ප්රතිචාරයක් ලැබුණේ නැත. පසුකලෙක සිංහල ජන නායකයන් අතර ජනප්රියම ඇඳුම බවට පත්වූ ජාතික ඇඳුම මුල්වරට ගුණපාල මලලසේකර මහතාට හඳුන්වාදුන්නේ ද යාපනය සංගමයයි. උගත් සම්ප්රදායික නායකයන් එකට එකතු වී යාපනේ සංගමය යටපත් කළේය. එසේ නොවන්නට සිංහල, දෙමළ සම්බන්ධය මීට වෙනස් මුහුණුවරක් පවා ගන්නට ඉඩ තිබුණේ ය. ශ්රී නිශ්ශංක, විල්මට් පෙරේරා වැනි අය කෙරෙන් ප්රකට වූ දෘෂ්ටිය ද බොහෝ දුරට ඒසමාන විය. ඒ දෙදෙනාටම සිංහල අධ්යාත්මය සමග සමීප සම්බන්ධයක් තිබුණත්, ඔවුන් කවර අවස්ථාවකවත් දෙමළ හෝ මුස්ලිම් විරෝධී නොවීය. වතුකරයේ දෙමළ ජනතාවට පුරවැසි අයිතීන් අහිමි කරන, පුරවැසි පනත්වලට මේ දෙදෙනාම එරෙහි වූහ. ශ්රී නිශ්ශංක ඒ ගැන කීවේ එය ස්වභාවික යුක්තියට පටහැනි බැවින්, තමා ඊට එරෙහි වන බවය. ශ්රී නිශ්ශංක ශ්රීලනිපයේ ආරම්භක නිර්මාතෘවරයකු වුවත්, එම පක්ෂය සිංහල පමණක් ව්යාපාරයට එකතු වනවිට ඔහු ජීවතුන් අතර නොසිටියේය. එහෙත් 1956 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ විල්මට් පෙරේරා 56 මැතිවරණයට තරග කිරිමෙන් වැළකී සිටියේ බණ්ඩාරනායකගේ සිංහල පමණක් ප්රතිපත්තියට තිබුණු නොකැමැත්ත නිසාය. එයින් බණ්ඩා ද (බණ්ඩා කීවේ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය) විනාශ වී, මුළු රටම ද විනාශ වනු ඇති බවට ඔහු සිය හිතමිතුරන් සමග ප්රකාශ කළ බව කියැවේ.
පසුකලෙක රටට කෙළවරක් නැති තරමින් ලේ වගුරුවන්නට සිදුවූයේ කිසිදු ලේ වැගිරිමකින් තොරව හා බලවත් සමාජ උත්සාහයකින් තොරව ලබාගත් නිදහස හා ඒ ආශ්රයෙන් ඇතිවූ දේශපාලන ක්රමයේ පැවැත්ම සඳහා අවශ්ය එක්සත් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ද, ඊට ගැලපෙන ජාතික දේශපාලනයක් ද ඇතිකර ගැනීමට අසමත්වීම නිසාය. එය විකෘති වූ ප්රජාතන්ත්රවාදී ක්රමයක අර්බුදයක් ලෙස අර්ථ දැක්විය හැකි අතර, ජනවාර්ගික අර්බුදය ද එහිම ඵලයක් ලෙස සැලකිය හැකිය.
දැන් රට ඉදිරියේ තිබෙන අභියෝගය වී ඇත්තේ මේ අර්බුදය කෙසේ ජයගන්නේ ද යන්නය. ඒ සඳහා මුළු මහත් සමාජයම දේශපාලන ක්රමයක් සමගම තිබෙන අතිවිශාල විකෘතිය අහෝසි කෙරෙන ආකාරයේ ප්රජාතන්ත්රීයකරණයකට ලක් කළ යුතුය. ඒ සඳහා වන ක්රියාමාර්ගයන් ඉතා විශාල විය යුතුවා සේ ම, ඉතා බලවත් සමාජ ක්රියාකාරිත්වයක් ද අන්තර්ග්රහණය කරගන්නක් විය යුතුය. න්යායික අර්ථයෙන් එවැනි ක්රියාවලියක් සම්පූර්ණ කළ නොහැකි වූ නිදහස් අරගලය පරිපූර්ණ කරගැනීම සඳහා දරන සමාජ දේශපාලන ප්රයත්නයක් ලෙස හැඳින්විය හැකිය. එවැන්නක් සඳහා අවශ්ය කෙරෙන ප්රාරම්භක ගතිකත්වය ලබාගත හැකිවනු ඇත්තේ දකුණේ සිංහල සමාජය කෙරෙන් මතුවෙමින් තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන ඉල්ලීම් හා උතුරේ සුළු ජාතික අයිතිවාසිකම් සඳහා වන ඉල්ලීම් නිසි ලෙස ඒකාබද්ධ කළහැකි වේ නම් පමණය.
එවැනි ඒකාබද්ධතාවයක් සඳහා දෑනුවත් සිංහල සමාජය සුළු ජාතීන්ගේ සාධාරණ අයිතිවාසිකම් පිළිබඳව කෙරෙන ඉල්ලීම් පිළිබඳව සංවේදිවීම අවශ්ය වන්නා සේ ම, දැනුවත් දෙමළ හා මුස්ලිම් සමාජය දකුණේ සිංහල සමාජය කෙරෙන් මතුවෙමින් තිබෙන ප්රජාතන්ත්රවාදය සඳහා වන අභිලාෂයන් පිළිබඳව ද සංවේදි විය යුතුය. ඒ අර්ථයෙන් ගත්විට, දේශපාලන ක්රමය ප්රජාතන්ත්රවාදීකරණයට ලක්කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා 4ක් ඇති කිරීමට අවශ්ය බවට කරන ඉල්ලීමෙන් දැනුවත් දෙමළ හා මුස්ලිම් සමාජය පිටස්තර වී නොසිටිය යුතුය. ඊට සහාය දෙමින් එම ප්රවණතාව ශක්තිමත් කොට පෝෂණය කළ යුතුය. සුළු ජාතිකයන්ට සිය අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස වඩා හොඳ පසුබිමක් ලැබෙනු ඇත්තේ ද. ඒකාධිපතිත්වයකට බර තබන ආණ්ඩු ක්රමයකින් නොව, වැඩි වැඩියෙන් ප්රජාතන්ත්රවාදයට බර තබන ආණ්ඩු ක්රමයකිනි. මෙම ස්වාධීන කොමිෂන් සභා 4 සඳහා වන ඉල්ලීම් තුළ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් නැතත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් සුළු ජාතීන්ට ප්රශ්න විසඳගැනීමට තිබෙන හැකියාව ද ශක්තිමත් කරයි. නිදර්ශනයක් වශයෙන් ගතහොත් ස්වාධීන අධිකරණයක් සිංහල මහ ජාතියට පමණක් නොව, සුළු ජාතීන්ට ද ඉතා වැදගත්ය.
සිංහල ජන නායකයන් සුළු ජාතීන් පීඩාවට පත්කිරීමට කෙබඳු පියවර ගනු ලැබුවත් ස්වාධීන අධිකරණයක් හා ප්රජාතන්ත්රවාදී නිදහස හා අයිතිවාසිකම් සුරැකීමට ඇප කැපවූ අධිකරණයක් රටේ තිබුණේ නම්, මේ සා විශාල විනාශයක් ඇති නොවන්නට ඉඩ තිබුණු බව දෙමළ හා මුස්ලිම් දැනුවත් සමාජය අමතක නොකළ යුතුය. සුළු ජාතීන් වෙනස්කම් කිරිම්වලට ලක් කරන නීති සම්පාදනයට ඉඩ නොදෙන විධි විධාන සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත්ව තිබුණි. ඩී.එස්. සේනානායක වාමාංශික ව්යාපාරය දුර්වල කිරීම පිණිස දෙමළ වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කරන නීති ඇති කළේද, පසුව බණ්ඩාරනායක තමන්ට ඉක්මන් හා පහසු ජයග්රහණයක් ලබාගැනීමට හේතු වූ සිංහල භාෂා බලවේගය සතුටු කරනු පිණිස සිංහල පමණක් රාජ්ය භාෂාව කරන නීති ඇති කළේ ද සෝල්බරී ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන එම කොන්දේසි නොසලකාය. චෙල්වනායගම් මහතා මෙම ව්යවස්ථා විරෝධී අණ පනත් දෙකට එරෙහිව දැවැන්ත නෛතික අරගලයක යෙදුණත්, ඉන් ඔහු පරාජය වූයේ ඔහුගේ නෛතික ප්රවේශය වැරදි වූ නිසා නොව, සමාජ දේශපාලන බලපෑමෙන් තොරව යුක්තිය ඉටුකිරීමට පුලුවන්තරමට අධිකරණය ස්වාධීන නොවූ නිසාය. එය අපේ රටේ ඇතිවී තිබෙන සමාජ විනාශයට අධිකරණය දායක වූ එකම අවස්ථාව නොවන බවද කිව යුතුය.
ව්යවස්ථාදායකයක් පිළිගත් නිල කාලය දිර්ඝ කරගැනීමට දරන උත්සාහයකට ඉඩ නොදිය යුතුය යන්න පිළිගත් මූලධර්මයකි. එහෙත් මෙම පිළිගත් මූලධර්මයට පටහැනිව සමස්ත දේශපාලන ක්රමය ම විකෘති කිරීමට හේතුවන ලෙස ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 6කින් දිර්ඝ කරගැනීමට ජේ.ආර්. ජයවර්ධන ඉදිරියට ගෙනා සටකපට වැඩපිළිවෙළට ද ශ්රේෂ්ඨාධිකරණය අනුමැතිය දුන්නේ ද එය නීතියට අනුකූල වූ නිසා නොව, අධිකරණය ස්වාධීන නොවූ නිසාය.
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ඇතිකර ගත්තද, ඒ ආශ්රයෙන් ආරාවුල් මතු වන අවස්ථාවලදි ඒවා අවසාන වශයෙන් නිරාකරණය කරගැනීමට අධිකරණය ඉදිරියට යන්නට සිදුවේ. ඒ අර්ථයෙන් ස්වාධීන අධිකරණයක් සිංහල මහ ජාතියට පමණක් නොව, දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන්ට ද ඉතා වැදගත් ය