පයිප්ප මාර්ගවලින් ජලය ලබාගන්නා නාගරික ජනයාට පමණක් නොව වැව්, ඇල, දොළ හා ගංගාවලින් කෘෂිකාර්මික වුවමනාවන් සඳහා ජලය ලබාගන්නා ග්රාමීය ගොවි ජනතාවට ද ඒ ලබාගන්නා ජලය වෙනුවෙන් මිලක් ගෙවීමට බල කෙරෙන නීති සම්පාදනය වෙමින් පවතී. ආණ්ඩුව එය කරන්නට යන්නේ සියලුම මාර්ගවලට අයත් ජලය රජය සතු පරම අයිතියක් බවට පත් කරගනිමින් ජල කළමනාකරණයක් අත්යවශ්ය වේය යන නාම පුවරුවට මුවා වෙමිනි.
මෙතෙක් ජනතාව කල්පනා කළේ නොමිලේ තමන්ට ලබාගත හැකි එකම දේ ජලය බව ය. එහෙත් දැන් ඒ වෙනුවෙන් ද මිලක් ගෙවීමට සිදු වේ නම් විශේෂයෙන් ම කෘෂිකර්මයෙන් ජීවත් වන ගොවි ජනතාවට කෘෂිකර්මය අත්හරින්නට සිදුවනු නොවැළැක්විය හැකි ය. ඉතාමත් භයානක සේම සමාජ ජීවිතයේ අති විශාල වෙනසක් ඇති කිරීමට හේතුවන මේ ක්රියාවලියට අදාළ නීතිරිති මහජනතාවට දැනුම් දිමකින් තොරව හොර රහසේ කරමින් තිබීම ය.
ජලයේ පරිපූර්ණ අයිතිය රජයට පැවරෙන නීතිමය තත්ත්වය දැක්වෙන අංක 42 දරන ජල සම්පත් මණ්ඩල පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත්තේ 1999 නොවැම්බර්වල දි ය.
ජල සම්පත් කළමනාකරණය පිළිබඳ රාජ්ය ප්රතිපත්ති විස්තර කරන කැබිනට් පත්රිකාවට කැබිනට් අනුමැතිය ලබා දි ඇත්තේ 2000 මාර්තු 28 වැනි දා ය.
දැන් සියලු ආකාරවල ජල පරිභෝජනය සඳහා බලපත්ර දිම මගින් මිලක් අය කෙරෙන පනත් කෙටුම්පත් සකස් කර ඇති අතර එය ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
කාගෙන් ලැබෙන උපදෙස් මත හෝ මේ රටේ මහජනයාගෙන් සියලු ආකාරවල ජල පරිභෝජනය සඳහා මිලක් අය කෙරෙන නීති ඇති කරයි නම් එවැන්නක් මහජනතාවට කල්තියා ප්රකාශ නොකොට හොර රහසේ ම එය කරන්නේ නම් එය මහජනතාවට ඇති ප්රජාතන්ත්රවාදී අයිතීන් නොසලකා ඉදිරියට ගෙනයන ක්රියාමාර්ගයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත.
මේ ගැන ප්රශ්න කෙරුණු හැම අවස්ථාවකදි ම විෂය භාර ඇමතිවරු ප්රකාශ කර ඇත්තේ එය සත්යයක් නොවන බව ය. නොවැම්බර් 11 වන දින එකොළොස්වන පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිනිය ඉදිරිපත් කරන ලද ප්රතිපත්ති ප්රකාශනයේ ද ඒ ගැන කිසිම සඳහනක් නොවී ය.
ජනාධිපති ඇතුළු මැති ඇමතිවරුන් සුඛෝපභෝගී ආකාරයකින් නඩත්තු කිරීම පිණිස කෙරෙන වියදම අති විශාල ය. වෙඩි නොවදින එක් වාහනයක් සඳහා කෙරෙන වියදම රුපියල් ලක්ෂෂ 500කටත් වැඩි ය. රිය අනතුරකට ලක්වූ අගමැතිවරයාගේ නිල වාහනය ප්රතිසංස්කරණය කිරීමට පමණක් වියදම රුපියල් ලක්ෂෂ 50කි. රටේ ද්රවශීලී අර්බුදයක් ඇතත් ඒ කිසිවක් පාලකයන්ගේ ජීවිත කෙරෙහි බලපා නැත. සමහර විට ජලය සඳහා ද මිලක් අවශ්ය වනවා ඇත්තේ සිය සුඛෝපභෝගී තත්ත්වයන් වර්ධනය කරගැනීම සඳහා අවශ්ය අතිරේක වියදම් සොයා ගැනීම සඳහා විය හැකි ය.
කිසිම මහජන සංවාදයකින් තොරව මහජනයා මත අතිවිශාල පීඩාවක් ඇති කිරීමට හේතුවන මෙවැනි නීතියක් නීතිගත කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ඉදිරියේ මහජනයා තෝරාපත් කරන ලද පාර්ලිමේන්තු නියෝජිතයන් කරන්නට යන්නේ කුමක්ද?