සාම ප්‍රයත්නයේ අභියෝග

November 26, 2000
Publication:
EPDP leader and minister Douglas Devananda told a Sinhala daily that he does not oppose talks with the LTTE but that a northern and eastern settlement is possible without it if the other Tamil parties agree. The piece likens this to the views of the JVP, the Sihala Urumaya and Prime Minister Ratnasiri Wickremanayake, notes Dinesh Gunawardena's silence, and argues that Devananda, who prospered under Premadasa and now the People's Alliance, owes his armed guard and power to the war, casting doubt on the government's sincerity.

රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වන්නේ නම්, තමාගේ ඒ පිළිබඳව විරුද්ධත්වයක් නැතැයි ද එහෙත් ඔවුන්ගේ හැසිරිම් රටාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව හා සෙසු ද්‍රවිඩ පක්ෂ සියල්ල එකග නම්, එල්.ටී.ටී.ඊ.යේ සහභාගිත්වයෙන් තොරව වුවද උතුරු නැගෙනහිරට විසඳුමක් ලබාගත හැකි යැයි ද ඊ.පී.ඩී.පී. නායක, උතුරු පළාතේ පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ හා උතුරු නැගෙනහිර පළාතේ ද්‍රවිඩ කටයුතු ඇමති ඩග්ලස් දේවානන්ද මහතා දිනපතා සිංහල පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා මෙම ප්‍රකාශය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය, නෝර්වේ හා ඇමරිකා මැදිහත්වීමෙන් සිදු කෙරෙතැයි අපේක්ෂිත සාම සාකච්ඡා පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරන ලද අවස්ථාවකදි ය.

මෙහිදි ඩග්ලස් දේවානන්ද මහතා වැඩියෙන්ම සිය අවධානය යොමු කර තිබෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ සහභාගීත්වයෙන් තොරව වුවද උතුරු නැගෙනහිරට සාමය උදා කළ හැකි යැයි කියන කරුණට ය. මෙය දකුණේ ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන ජනප්‍රිය තර්කයකි. දේවානන්ද ඇමතිවරයා පොදු පෙරමුණු ආණ්ඩුවේ සිටින ප්‍රබල හා පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව සිටින තීරක ඇමතිවරයකු වන නිසා ඔහුගේ මතය සුළුවෙන් හා සැහැල්ලූවෙන් තැකිය යුතු නොවේ. දේවානන්ද මහතා නොකියා කියන්නේ උතුරු නැගෙනහිර සාමය උදා කිරිමේදි එල්.ටී.ටී.ඊ.ය නොසලකා හැරියත් ඉන් පාඩුවක් නො සිදුවන බව ය. නො එසේ නම් යුද්ධය මගින් එල්.ටී.ටී.ඊ.ය ආණ්ඩු මට්ටු කළ හැකි බවක් ද ඊ.පී.ඩී.පී. නායකයාගේ මෙම කතාවෙන් ගම්‍ය වෙයි.

ඔහුගේ මතයත් ජනතා විමුක්ති පෙරමුණ හා සිහළ උරුමය ඇතුළු දේශපාලන කණ්ඩායම් ගණනාවක් ජන වාර්ගික ගැටලුව පිළිබඳව දරන මතයත් ඇතැම් අංශවලින් කිසියම් ප්‍රමාණයකට සමානය. මෙය බළලා මල්ලෙන් එළියට පැනීමේ අවස්ථාවක් ලෙසින් ද ගත හැකිය. ආණ්ඩුවේම ප්‍රධාන පෙළේ නායකයකු වන අග්‍රාමාත්‍ය රත්නසිරී වික්‍රමනායක මහතා ද දරන්නේ මෙම මතවලට බොහෝ සෙයින් සමාන මතය.

මෙම දේශපාලන කණ්ඩායම් දරන මත එකිනෙකට වෙනස් වන්නේ ඔවුන්ගේ අපේක්ෂා පිළිබඳව පවත්නා පරස්පරයයි.

සාම කතා පිළිබඳව වර්තමානයේ පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව මහජන එක්සත් පෙරමුණේ නායක හා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අනුගමනය කරනුයේ දෑඩි නිහඬ පිළිවෙතකි.

මේ සියලු ප්‍රතිවිරෝධතාවන්ගෙන් අපට පසක් වන එක් කරුණක් නම්, දෙමළ වේවා, සිංහල වේවා මෙම හැම නායකයකුම ක්‍රියාකරනුයේ පළමුව තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියත් දෙවනුව තමා හෝ රට හෝ සෙසු කරුණුත් මුල් කරගෙන බව ය.

එමෙන් ම ආණ්ඩුව අවංකවම සාම ක්‍රියාදාමයට අවතීර්ණ වී ඇතැයි යන්න පිළිබඳව සැක සිතෙනුයේ ද ආණ්ඩුවේම නායකයන් දක්වන්නා වූ මෙම පරස්පරයන් ඉදිරියේ ආණ්ඩුවම දක්වන්නා වූ වැනෙන සුළු පිළිවෙත නිසාය. ඩග්ලස් දේවානන්ද දැනට අරගලයකට මැදිව සිටින ජන කොටසට අයත් ඇමතිවරයෙකි. තමා දෙමළ ජනතාවගේ නියෝජිතයෙකු යැයි ඔහුම හඳුන්වාගනු ලබන අතර ආණ්ඩුවද දේවානන්ද මහතා පිළිගෙන ඇත්තේ දෙමළ ජනතාව නියෝජනය කරන්නකු හැටියටය. උතුරුකරයේ සාධාරණ ජනමත විමසුමක් පවත්වා ඉන් ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණයකදි හැරෙන්නට උතුරේ හා නැගෙනහිර හැබෑ ජනතා නියෝජිතයෝ කවරහුදැයි තීරණයකට එළැඹීම අපහසුය. ඩග්ලස් දේවානන්ද මහතා එල්.ටී.ටී.ඊ.ය නැතිව හෝ සාමය කරා ළගා විය හැකි යැයි අනුමාන කළ ද දශක දෙකක පමණ ඉකුත් කාලවකවානුව පුරාවට එය නොහැකි වූයේ මන්දැයි කියා සිටින්නේ නැත. පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණඩු සමයේ ද ඔහු විශේෂයෙන් ම ප්‍රේමදාස යුගයේ ආණ්ඩුවේ අග්‍රපුරෝහිතයකු බඳුවීය. ගිනි අවි අතැති පෞද්ගලික ආරක්ෂක හමුදාවකට හා ධනයෙන් ආඪ්‍ය සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් කීමේ වරම ඔහුට ලැබුණේ ද එම වකවානුවේ සිටය. පොදු පෙරමුණු ආණ්ඩුව සමග දිග කෑමට තීන්දු කළේ ද ඔහු මෙම වාසිසහගත තත්ත්වයන් දිගටම පවත්වාගෙන යෑමේ අරමුණින්ලුබවට බොහෝ දෙනා චෝදනා කරති. ආණ්ඩුවේ අනුග්‍රහය ලැබී ඇති තත්ත්වයක් මත උතුරේ හා දකුණේ රීසි සේ තම බලපරාක්‍රමයන් විහිදුවාලීමේ විරල අවස්ථාව ලද සුවිශේෂ පුද්ගලයකු වශයෙන් ද ඩග්ලස් දේවානන්ද මහතා හර්න්වනු ලබයි. නමුත් මෙම සුවිශේෂ අවස්ථාව ඔහු වෙත උදාවී ඇත්තේ උතුරු නැගෙනහිර යුද්ධයක් පවතින නිසා හා එල්.ටී.ටී.ඊ. හා අනිකුත් දේශපාලන පක්ෂ දකුණේ ආණ්ඩු සමග විරසකව සිටින තාක් බව ද නො රහසකි. කිසියම් ලෙසකින් දෙපාර්ශවය අතර ඇතිවිය හැකි ගිවිසුමක් හෝ නීත්‍යනුකූල බැඳීමක් මගින් තත්ත්වය මඳකින් හෝ සමහන් වුවහොත් ඩග්ලස් දේවානන්ද වැනි අය උතුරේ පමණක් නොව, දකුණේ ද අවලංගු දේශපාලන නායකයන් බවට පත්වන්නේ නිරායාසයෙනි.

එමෙන්ම දේවානන්දලා වැනි අය තුරුළු කරගත් ආණ්ඩුවකින් සැබෑ සාමයක් සඳහා අතදිගු කිරීමක් සිදු කෙරේ ද යන්න හා ඊට සැලසෙන අවකාශයන් පුළුල්වීමට ඉඩදේ ද යන්න සැකසහිත ය.