මතුවී තිබෙන අර්බුදයට විසඳුම ඇත්තේ කොතැනද?

October 22, 2000
Publication:
Ivan likens the President's effort to assemble a government to collecting frogs in a basket. Rejecting Rauff Hakeem's demand for four independent commissions within 100 days, she turned to Ferial Ashraff, whose unconditional support is splitting the Muslim Congress and the National Unity Alliance. He proposes an all-party interim government with a democratic agenda: an independent judiciary, abolition or curbing of the executive presidency, a code of conduct for elected members, independent commissions, a right to information, media reform and agreed principles for ethnic coexistence.

ජනාධිපතිනිය වෙනත් අයගේ ද සහාය ඇතිව පොදු පෙරමුණු ආණ්ඩුවක් ගොඩනැගීමට දරණ උත්සාහය හරීයටම ලාහට ගෙම්බන් එකතු කිරීමට දරණ උත්සාහයකට සමානය. ශීඝ්‍ර ගරා හැලීමකට හේතුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කිරීමට හේතුවිය හැකි කොමිෂන් සභා හතර, දින 100ක් තුළ ගොඩනැංවිය යුතු බවට රවුෆ් හකීම් ඉදිරිපත් කරන කොන්දේසිය භාරගැනීමට ආණ්ඩුව සූදානම් නැත. රවුෆ් හකීම් අතහැර අෂ්රොෆ් මහත්මියගේ සහාය ඉල්ලා සිටින තැනකට ජනාධිපතිනියට තල්ලු වන්නට සිදුවී තිබෙන්නේ ඒ නිසාය. එහෙත් අෂ්රොෆ් මහත්මිය ජනාධිපතිනියට ලබාදි තිබෙන කොන්දේසි විරහිත සහාය මුස්ලිම් කොංග්‍රසය හා ජාතික සමගි පෙරමුණ තුළ දෙකඩවීමක් ඇති කිරීමට හේතුවෙමින් තිබෙන අතර, ඒ දෙකඩවීම පෙරළා ජනාධිපතිනියට ආණ්ඩුවක් ගොඩ නැගීමට තිබෙන හැකියාව ද වඩා දුෂ්කර කිරීමට හේතුවී තිබේ. මුස්ලිම් කොංග්‍රසයේ හා ජාතික සමගි පෙරමුණේ ඇතිවී තිබෙන මෙම දෙකඩවීම වළකාගෙන පොදුවේ ඒ සියලුදෙනාගේ සහාය ඇතිව ඉතාමත් අමාරුවෙන් ආණ්ඩුවක් ගැට ගසා ගැනීමට හැකිවුවද එය ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාකාරි බහුතරයක් සහිත ආණ්ඩුවක් වනු ඇතැයි සිතිය නොහැකිය.

කිසිම පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් බහුතර බලයක් නොතිබුණද, වසරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිනියට නැත. මේ කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවනවා නම්, එය විය යුත්තේ පාර්ලිමේන්තුවේම ස්ව කැමැත්තෙනි. එහෙත් මහජන ඡන්දයෙන් තේරි පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව පාර්ලිමේන්තුවක ස්වකැමැත්තෙන් විසිර යාමක් සිදුවනු ඇතැයි සිතිය නොහැකිය.

මතුවී තිබෙන මෙම විශේෂ තත්ත්වය යටතේ සිදුවිය යුතුව තිබෙන හා සිදුකළ හැකිව තිබෙන හොඳම දේ ශීඝ්‍ර ගරා හැලීමකට හේතුවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමය.

මෙම විෂයෙහි ඉක්මන් ප්‍රතිසංස්කරණයකට නොගියහොත් නැවත රටේ ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවන දිනය බොහෝ ඈත විය නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පාලකයින් තෝරා පත්කරගනුයේ මහජන ඡන්දයෙන් වුවත්, බලයට එන පාලකයන්ට පිළිගත් සම්ප්‍රදායයන් ඉක්මවා හිතුවක්කාරි ලෙස ක්‍රියාකරන්නට ලැබී තිබෙන අතිවිශාල ඉඩකඩ හා බලයට පත්වීමෙන් පසුව මහජන කැමැත්ත නොසලකා බලහත්කාරයෙන් පාලන බලයේ රැඳී සිටීමට ලැබී තිබෙන ඉඩ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මුහුණ දි තිබෙන එක් ප්‍රධාන අභියෝගයකි. පාලක පක්ෂය හා පුරවැසියන් අතර ඇතිවන ආරාවුල්වලදිත් බලයට තරග කරන පක්ෂ, පක්ෂ අතර ඇතිවන ආරාවුල් වලදිත් යුක්තිය පසිඳලීම පිණිස ස්වාධීන අධිකරණයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ පැවැත්ම පිණිස අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත්, අධිකරණය තිබෙන්නේ ද විධායකයේ දැඩි ග්‍රහණයට, විධායකයට කැමති දිසාවකට හැසිරවිය හැකි තත්ත්වයකය.

විටින් විට පාලකයන් තෝරාපත් කරගැනීම සඳහා මැතිවරණ පැවැත්වෙතත්, ඒවා නිදහස් හා සාධාරණ තත්ත්වයක නොපවතී. බලයේ සිටින හැම පාලක පක්ෂයක්මත් මැතිවරණවලදි භාරකාර ආණ්ඩුවක තත්ත්වයකින් ක්‍රියා නොකොට මැතිවරණ ජයගැනීම සඳහා උපරිම මට්ටමෙන් රාජ්‍ය සම්පත් පමණක් නොව, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ද යොදා ගනිමින් පවතී.

රාජ්‍ය සේවය සේම, පොලිස් සේවය ද දැඩි දේශපාලනීකරණයකට හසුවී තිබෙන අතර, ඒ කිසිම අංශයක් තුළ නීතියක් හෝ සම්ප්‍රදායයක් නොපවතී. දේශපාලනය මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයන මාර්ගයක් බවට හැරි තිබෙන අතර, දේශපාලන අනුග්‍රහය මත කෙරෙන දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ද නොපවතී.

සමස්ත දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම ශීඝ්‍ර ගරාහැලීම වළකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ පුනර්ජීවයක් ඇති කිරීමට හේතුවන කඩිනම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යොමුවීමට ශ්‍රී ලංකාව අසමත් වෙතොත්, ප්‍රභාකරන් කෙනෙකුගෙන් එල්ල වන අභියෝගයකින් තොරව වුවත් ඉක්මන් කඩා බිඳ වැටීමක් ඇතිවී මුළු රටම අවුල් ජාලාවක් බවට පත්වන දිනය බොහෝ ඈත විය නොහැකිය.

ශීඝ්‍ර ලෙස ගරා හැලෙමින් පවතින දේශපාලන ක්‍රමයේ නව පුනර්ජීවයක් ඇති කිරීමට හේතුවන ඉක්මන් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයක් ප්‍රායෝගික වශයෙන් ඉදිරියට ගන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය කරන පොදු දේශපාලන එකගතාවක් ඇති කරගන්නේ කෙසේද යන්න අද රට ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය වේ.

පළමු කොට විධායකයේ දැඩි ග්‍රහණයට හසුවී තිබෙන අධිකරණය ස්වාධීන තත්ත්වයකට ගෙනා යුතුය. ප්‍රමුඛ තනතුරුවලට නුසුදුසු පුද්ගලයන් පත්කිරිමෙන් ඇතිවී තිබෙන විකෘතිය අහෝසි කොට බලයට එන කිසිම පාලනයකට අධිකරණයේ නිල තනතුරු සඳහා වැරදි ලෙස පුද්ගලයන් පත් කිරීමට ඉඩ නොලැබෙන ක්‍රමයක් ඇති කරමින් අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ස්ථාපිත කළ යුතුය.

සමස්ත දේශපාලන ක්‍රමයේම අතිවිශාල විකෘතියක් ඇති කිරීමට හේතුවී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරගත යුතුය. නැත්නම් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන හා නීතියට යටත් තත්ත්වයකට ගෙනා යුතුය.

මහජන ඡන්දයෙන් විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරි පත්වන සියලුම පුද්ගලයන් සඳහා ඔවුන්ගේ යුතුකම් හා වගකීම් විස්තර කරන ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කළයුතු අතර, වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි කළහැකි හා එම පැමිණිලි විභාග කොට වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් කළ හැකි යාන්ත්‍රණයක් ඇති කරගත යුතුය.

මහජන නියෝජිතයන් තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ ඉතාමත් නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට පුලුවන්කම ලැබෙන පුළුල් බලතල සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක් ද, රාජ්‍ය සේවයේ හා පොලිස් සේවයේ ස්වාධීනත්වය හා ගෞරවය ඇති කිරීමට හේතුවන ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් හා ස්වාධීන පොලිස් කොමිසමක් ද ඇති කළ යුතුය.

රාජ්‍ය මට්ටමෙන් සිදුවන ගනුදෙනුවලදි සිදුවන දූෂණ අවම කිරීම පිණිස රාජ්‍ය මට්ටමෙන් සිදු කෙරෙන සියලු ගනුදෙනුවල පාරදෘශ්‍යභාවය සහතික කරගැන්මට හේතුවන ආකාරයට තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතිගත කළ යුතුය.

රාජ්‍ය ජනමාධ්‍යවල සමස්ත ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට හේතුවන ආයතන ක්‍රමයක් ඇති කොට ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට හේතුවන නීති ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුය.

දේශපාලන පක්ෂවලට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැන්මට හේතුවන නීති ඇති කළ යුතුය.

විටින් විට බලයට එන දේශපාලනඥයන්ට ජාතික වැදගත්කමක් ඇති කාරණාවලදි හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට තිබෙන ඉඩ සීමා කිරීම පිණිස අධ්‍යාපනය, සෞඛ්‍යය හා ගමනාගමනය පිළිබඳවත් ජාතික සම්පත්, පුද්ගලිකරණය, කර්මාන්ත, කෘෂිකර්මය හා වෙළෙඳම පිළිබඳවත් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුය.

සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට ඔවුන්ගේ වාර්ගික අනන්‍යතාව හා ගෞරවය ආරක්ෂා කරගනිමින් සියලු දෙනාට එකිනෙකා කෙරෙහි ගෞරවයක් හා සමගියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සඳහා අවශ්‍ය මූලධර්ම හඳුනාගනිමින් ඒ මූලධර්ම නීති ගත කළ යුතුය.

මේ මූලික කාරණා ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට මේ මොහොතේ හැකිවේ නම්, ශ්‍රී ලංකාවේ හැම වැදගත් අංශයකම ඇතිවී තිබෙන සියලු පිරිහීම වළකා ගනිමින් නැවත ශ්‍රී ලංකාව ශක්තිමත් හා ශිෂ්ටසම්පන්න රටක් බවට පත්කිරීමට හැකිවනු නොඅනුමානය.

ජනාධිපති ක්‍රමයක් ඇතිකිරිමෙන් පසුව එතෙක් සංකේන්ද්‍රණය වී තිබූ රාජ්‍ය බලය විශාල ප්‍රමාණයක් ජනතාව විසින් කෙළින්ම තෝරාපත් කරගන්නා විධායක ජනාධිපති කෙනෙක් අතට පත්කිරීම මගින් ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර බලතල බෙදිමක්, ඇතිවී ඇතත්, තවමත් රටේ තිබෙන උත්තරිතර දේශපාලන ආයතනය ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුවය. එය මහජනයා තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව වන අතර, රටට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන හා ප්‍රධාන නීති සම්පාදන ආයතනය ලෙස ද ක්‍රියා කරයි.