ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තෝ කවරහු ද?

October 1, 2000
Publication:
The President has expressed sorrow at the death of JVP member Arambagedara Siridewa, shot by police in Matale, but the editorial says she has shown no real will to curb the violence of her party's regional strongmen. It cites Deputy Minister Shantha Premaratne calling the Chief Minister Anuradhapura's only terrorist, D.M. Jayaratne's remark that Kandy faces a war rather than an election, and a Matale police chief said to be the Chief Minister's relative. It calls on the President to rein these men in.

මාතලේ සිදුවූ පොලිස් වෙඩිතැබීමෙන් මරණයට පත් වූ අරඹගෙදර සිරිදේව නමැති ජවිපෙ සාමාජිකයාගේ මරණය ගැන ජනාධිපතිනිය වෙතින් ද ශෝක ප්‍රකාශයක් පළ වී තිබේ. එම ශෝක ප්‍රකාශය ජනාධිපතිනිය වෙතින් පළවූයේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැඩි ස්ථාවරයක පිහිටා සිටින තත්ත්වයක නම් එහි වටිනාකමක් තිබෙනවා යයි කිව හැකි ය. එහෙත් තම පක්ෂෂයේ ප්‍රාදේශීය බලවතුන් කෙරෙන් විරුද්ධ පක්ෂෂවලට එරෙහිවත් සමහරවිට තමන්ගේම පක්ෂෂයට අයත් ඔවුන් නොකැමති තරගකරුවන්ගේ ආධාරකරුවන්ටත් එරෙහිව මුදාහැරෙමින් තිබෙන අති විශාල ප්‍රචණ්ඩත්වය පාලනය කිරිමේ සැබෑ වුවමනාවක් තමන් තුළ ඇති බව පෙන්නුම් කිරීමට මෙතෙක් ඇය සමත්වී නැත.

රාජ්‍ය නායිකාව ඉන්නේ මෙවැනි විනාශකාරි ක්‍රියා අනුමත නොකරන දැඩි ස්ථාවරයක නම් මෙවැනි විනාශකාරි ක්‍රියාවල යෙදෙන්නට පක්ෂෂයේ ප්‍රාදේශීය බලවත්තු බිය වෙති. එහෙත් කිසිම චකිතයකින් තොරව ඔවුන් දිගින් දිගටම මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදිමෙන් පෙනී යන්නේ එක්කෝ රාජ්‍ය නායිකාව ඒවා අනුමත කරන බව ය. නැත්නම් රාජ්‍ය නායිකාව සිය ප්‍රාදේශීය බලවතුන් පාලනය කිරීමට බැරි තරම් ඉතාමත් දුර්වල නායිකාවක වන බව ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණු කණ්ඩායමේ ප්‍රධානියාට ද මහඇමතිගේ ගෝලබාලයින්ගෙන් තැලුම් කෑමට සිදුවිය. ශාන්ත ප්‍රේමරත්න, ජනාධිපතිනියට සමීප පොදු පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකි. ඔහු කියන්නේ ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින්නේ එකම එක භීෂකයකු පමණක් බව ය. ඔහු ඇගිල්ල දිගු කරන්නේ ද මහ ඇමතිවරයාට බව පැහැදිලි ය.

පොදු පෙරමුණේ ලේකම් දි.මු. ජයරත්න මහතා කියන්නේ ද නුවර ඇත්තේ ඡන්දයක් නොව යුද්ධයක් බව ය. හමුදාවෙන් පැන ගිය සෙබළුන් විශාල පිරිසක් ඡන්ද කටයුතු සඳහා යොදාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කරයි. දි.මු. ඒ කියන්නේ නියෝජ්‍ය ආරක්ෂෂක ඇමති ගැන ය. මීට අතිරේකව පුත්තලම, කෑගල්ල, ගම්පහ හා මාතලේ යන දිස්ත්‍රික්කවල තිබෙන්නේ ද යකා නටන තත්ත්වයකි. හගුරන්කෙත දැනට තිබෙන තත්ත්වය වෙනදා තරම් නරක නැතත් අවසාන මොහොතේ විශ්මයජනක බොහෝ දේ සිදුවිය හැකි බව සිතිය හැකි ය.

ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයන් මාතලේට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව පොදු පෙරමුණෙන් මුදා හැර තිබෙන ප්‍රචණ්ඩත්වය ඉදිරියේ පොලිසිය සාධාරණ ලෙස ක්‍රියා නොකිරීම ගැන සාමකාමී ලෙස විරෝධය පළ කිරීමට ය. එහෙත් මාතලේ පොලිසිය පොදු මහජනතාවගේ පොලිසියක් වෙනුවට මහ ඇමතිගේ පොලිසියක් වීම හේතුකොටගෙන සාමකාමී ලෙස විරෝධය පළ කරමින් සිටි පිරිස්වලට පහරදිමෙන් නොනැවතී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක ද යෙදුණේ ය. මාතලේ මූලස්ථාන පොලිස් පරික්ෂෂකවරයා මහ ඇමතිගේ ළග ඥාතියෙකි. මහජනයා විසින් තෝරා පත් කරන ලද මහජන නියෝජිතයකු ලෙස සැලකිය හැකි ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකුට පොලිසිය තුළ දි පහර දෙන තත්ත්වයකට යොමුවූයේ ද මහ ඇමතිගේ දේශපාලන හයිය පෙන්වීමේ අරමුණෙන් විය හැකි ය.

මේ ගණන්කාරයින් හුරතල් කරනවා වෙනුවට ඔවුන් මට්ටු කිරීම ජනාධිපතිනියගේ වගකීමකි.