නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය සඳහා වූ සන්ධානය මහජනතාවගේ අත්වල කහපටි පළඳවන ව්යාපාරයක් ක්රියාත්මක කර තිබෙන අවස්ථාවක ජනාධිපතිනිය ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිය නමින්ම විශේෂ දැන්වීමක් පළකර තිබෙනු දැකිය හැකිය. මේ දැන්වීමට යොදා ගෙන ඇති ඡායාරූපයේ ඇති අත්වල ද කහපටි වෙනුවට විවිධ වර්ණවලින් බැබළෙන පටි දැකිය හැකිය. එහි එන ජනාධිපතිනියගේ පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“මමත්, මාගේ රජයත් පසුගිය මැතිවරණ හයකදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඡන්ද අයිතිය සුරකින්නට කැපවූ ලෙසින් ම මෙවර මහා මැතිවරණයේ දි නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවෙමු.”
ඒ මගින් ජනාධිපතිනිය රටට කියන්නේ තමාගේ පාලනය යටතේ පැවති එකක් නෑර හැම මැතිවරණයක්ම ඉතාමත් නිදහස් හා සාධාරණ ආකාරයකින් පවත්වන ලද බවය. ඒ අනුව ශ්රී ලංකාවේ මෙතෙක් පැවති එළිපිටම සිදුවූ විශාලතම ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකි වයඹ මැතිවරණය සේ ම වයඹ මෙන් ගොරහැඩි ලෙස නොව ඉතාමත් සියුම් හා නවීන ආකාරයකින් කරන ලද ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකි 99 ජනාධිපතිවරණය ද ඉතාමත් නිදහස් හා සාධාරණ ආකාරයකින් පවත්වන ලද මැතිවරණ ලෙස සැලකිය යුතුය. දැන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කියන්නේ ද ඊට පෙර පැවති මැතිවරණ පැවතියේ නිදහස් හා සාධාරණ ආකාරයට නම් මේ මැතිවරණයේ දි වෙන්න යන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම අමාරු නැත.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කල්පනා කරමින් තිබූ ආකාරය ද බොහෝ දුරට මීට සමානය. ඔහු ඉතාමත් දූෂිත ජනමත විචාරණයක් මගින් තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දිර්ඝ කරගැනීමෙන් පසු රටට කීවේ ද තමා ඒ හැමදෙයක්මත් ඉතාමත් ප්රජාතන්ත්රවාදී ආකාරයකින් සම්පූර්ණ කළ බවය. දැන් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය රටට කියමින් තිබෙන බණ ද ඊට වෙනස් නැත.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් යටතේ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බලරහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් බවට පත්විය යුත්තේය. එහෙත් චන්ද්රිකා කුමාරතුංග ආණ්ඩුව ඇති කර තිබෙන නව සම්ප්රදාය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුත්ණී ඔවුන්ගේ තත්ත්වයෙහි වෙනසක් නොවන්නේය. ඔවුන් තවදුරටත් සියලු බලතල හා වරප්රසාද සහිත පිරීසක් ලෙස සැලකිය යුතුය. ප්රජාතන්ත්රවාදී ක්රමයක් පවත්නා රටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව රැකී රක්ෂා සඳහා පත්වීම් ලබාදිම, රාජ්ය බැංකුවලින් ණය ලබාදිම, ලබාගත් ණය කපාහැරිම, ඉඩම් ලබාදිම වගේ ක්රියා නීති විරෝධීය. එහෙත් අපේ රටේ ලොකුම සංවර්ධන වැඩ කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුය. වැඩිම පිරිසකට රක්ෂා, පත්වීම් ලබාදෙන්නේත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුය. ඉඩම් නැති අයට ඉඩම් ඔප්පු ප්රදානය කිරිම් සිදුවන්නේ ජනාධිපතිනියගේම අතින්ය. මෙවැනි ක්රියා අල්ලස් ගණයෙහිලා සැලකෙන වැරදි ගණයට වැටෙතත්, මේ සියලු නීති විරෝධී ක්රියා ඉදිරියේ නීතිය නිහඬය.
අනුරාධපුරේ සිටින ලොකුම භීෂකයා උතුරු මැද පළාතේ මහ ඇමතිවරයා බව ප්රකාශ කර ඇත්තේ පොදු පෙරමුණු ආණ්ඩුවේම නියෝජ්ය ඇමතිවරයෙකි. ඔහුගේ ගෝලබාලයෝ විරුද්ධ පක්ෂ ක්රියාකරුවන්ට එරෙහිව පමණක් නොව, සිය පුත්රයාගේ ජයග්රහණය පිණිස සිය පක්ෂයේ සමහර අයට එරෙහිවද පහර දෙති. අනුරාධපුර පොදු පෙරමුණු කණ්ඩායම් නායකයා ද ඔහුගේ ගෝල බාලයන්ගෙන් බැට කෑවේය. නුවර ඇත්තේ ඡන්දයක් නොව යුද්ධයක් බවත්, යුද හමුදාවෙන් පැනගිය සෙබළ පිරිසක් එම යුද්ධයට ක්රියාකාරි ලෙස සම්බන්ධ වී සිටින බවත් පොදු පෙරමුණේ ලේකම් ඇමති දි.මු. ජයරත්න මහතා ප්රකාශ කරන විට ඔහු ඉන් අදහස් කළේ නියෝජ්ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තය. නියෝජ්ය ආරක්ෂක ඇමතිවරයා එකවිට ප්රභාකරන්ට එරෙහිව යාපනයේත් මැතිවරණයට තරග කරන අන් සියලු දෙනාට එරෙහිව මහනුවරත් යුද්ධයක නිරත වී සිටී. පුත්තලමෙන් හා කෑගල්ලෙන් අසන්නට ලැබෙන්නේත් ලොමු දැහැ ගැන්වෙන කතාය. කෑගල්ලේ සිටින පොදු පෙරමුණේ ගණන්කාරයා විරුද්ධ පක්ෂයක ක්රියාකරුවන් පිරිසක් වෙත එල්ල කළ පහරදිමක් නිසා ඔවුන් අතර සිටින එක් තරුණයෙක් මරණයට පත්විය පොදු පෙරමුණේ තවත් ගණන්කාරයෙක් සිය පක්ෂයෙන්ම තරග කරන අපේක්ෂකයකුගේ ක්රියාකරුවන් පිරිසකට පහරදිමෙන් නොනැවතී ඔවුන් සියලු දෙනා නිරුවත් කොට එළවා දැමීමට තරම් සාහසික විය. මාතලේ දිස්ත්රික්කයේ තම පක්ෂයේ ක්රියාකාරින්ට එරෙහිව එල්ල වී තිබෙන ප්රචණ්ඩ පහරදිම් ඉදිරියේ මාතලේ පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට විරෝධය පළකිරීම පිණිස ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සාමකාමී විරෝධතා ව්යාපාරයට පොලිසිය පහරදි වෙඩි තැබුවේය. වෙඩි වැදුණු තරුණයා රෝහලේදි මිය ගියේය. පොලිසියේ ප්රධානියා මහ ඇමතිගේ ළග ඥාතියෙකි. වෙනත් පක්ෂයකින් තරග කරන ජනාධිපතිනියගේ මල්ලිගේ කාර්යාලයට පහර දුන්නේ ද බණ්ඩාරනායක සමාධිය අවට ප්රදේශය අධි ආරක්ෂිත කලාපයක් කර තිබියදිය.
රටේ මතුවී තිබෙන මෙම ප්රචණ්ඩ නැඹුරුව පාලනය කිරිමේ වගකීම ඇත්තේ ජනාධිපතිනියට වුවත්, ජනාධිපතිනිය ඒ ඉදිරියේ නිකම්ම බලා සිටින පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා විනා තමන්ගේ විශ්වාසවන්ත ගණන්කාර සගයන් පාලනය කිරීමට ක්රියාපිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. ප්රචණ්ඩත්වයට බර තබන පිළිවෙතක් මගින් ඇති කරන ප්රතිවිපාක ඉතා බිහිසුණු විය හැකිය. ආණ්ඩුව මේ මැතිවරණය ජයගන්නට යන්නේ බලහත්කාරයෙන් නම්, බලහත්කාරයෙන් ලබන ජයග්රහණයක් අනාගතයේ ඇති කරන කැරැල්ලකට ශක්තිමත් පසුබිමක් ලබාදෙනවා මිස ස්ථාවර පාලනයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට වැඩි වැඩියෙන් ප්රචණ්ඩත්වයට බර තබන ක්රියාමාර්ගයකින් පසුත් ජයග්රහණය වෙනුවට ලබාදෙන්නේ පරාජයක් නම්, ඊළගට ඇතිවන ප්රචණ්ඩත්වයේ රුදුරු ගොදුරු බවට පත්වනු ඇත්තේ පොදු පෙරමුණේ නායකයන් නොව ගම් මට්ටමින් අහිංසක පාක්ෂිකයන්ය.
තමන්ගේ පැවැත්ම රැකගැනීම සඳහා දේශපාලන ආධාරකරුවන් විපත්තිදායක තැනකට තල්ලුකිරීම යහපත් පාලකයකුගේ හෝ පාළිකාවකගේ ගති ලක්ෂණයක් නොවිය යුතුය. අනෙක් අතට ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් රාජ්ය ආණ්ඩු ක්රමයකට සමාන නොවන බව ද ජනාධිපතිනිය තේරුම් ගත යුතුය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පාලක පක්ෂයක් බලයේ සිටිය යුත්තේ මහජනතාව කැමති තාක් කල් පමණය. මහජනතාව ඔවුන් ප්රතික්ෂේප කරන අවස්ථාවක තවදුරටත් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටින ප්රයත්නයක් සමස්ත දේශපාලන ක්රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවන්නේය. මහජනයා ප්රතික්ෂේප කරන අවස්ථාවක බලය අත්හැර යාමට අවශ්ය කරන සංයමය ද ඇති පාලක පක්ෂයකට තවත් වාරයකදි බලයට පත්වීමේ හැකියාවක් ඇතත්, එසේ නොවන පාලක පක්ෂයක් සමහරවිට සදාකල් දේශපාලන ලෝකයෙන් අතුගෑවී යාමේ හැකියාවක් ද පවතී. දුර නොදකින නායකයන් කෙටි වාසි සඳහා අනාගතය අහිමි කරගනී.