තමන්ට අවනත නොවන ජනමාධ්යවේදින් මට්ටු කිරීම පිණිස පොදු පෙරමුණු ආණ්ඩුව ද කිසිම හිරිකිතයකින් තොරව සාපරාධී අපහාස නීතිය ආයුධයක් ලෙස යොදා ගනිමින් පවතී. පළමු වටයේදි ආණ්ඩුව “සන්ඩේ ටයිම්ස්” කර්තෘ සිංහ රත්නතුංග දඩයම් කළේ ය. දැන් අලුත්ම දඩයම වී ඇත්තේ ආණ්ඩුවේ මාධ්ය ද්වේෂයට හේතුවී සිටින පුවත්පත් කතුවරයකු ලෙස සැලකිය හැකි “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගය.
මෙම කතුවරුන් දෙදෙනාම සාපරාධී අපහාස නීතිය යටතේ වරදකරුවන් කර ඇතත්, සිරදඬුවම් වෙනුවට පමුණුවා ඇත්තේ අත්හිටවූ සිරදඬුවම්ය. දැන් ඔවුන් පෑන හැසිරවිය යුත්තේ ඉතාමත් කල්පනාවෙනි. මොනම හේතුවක් නිසා හෝ තවත් වරදකට වරදකරු වුවහොත් ඔවුන්ට නතර වන්නට සිදුවන්නේ හිරගෙදරය.
මෙය ඉතාමත් බිහිසුණු හා නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
සාපරාධී අපහාස නීතිය යනු යල් පැනගිය නීතියකි. එය ශිෂ්ට සම්පන්න රටවල් සිය නීති පොත්වලින් ඉවත් කරගනිමින් තිබෙන නීතියකි. පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ආවේද එම නීතිය ඉවත් කරගන්නා බවට පොරොන්දු වෙමිනි. බලයට පැමිණීමෙන් පසු මාධ්ය නීති ප්රතිසංස්කරණය කිරිමේ අරමුණ ඇතිව පත් කරන ලද ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටුව ද සාපරාධී අපහාස නීතිය අහෝසි නොකරන්නේ නම්, යටත් පිරීසෙයින් එම නීතිය සංශෝධනය කළයුතු බවට නිර්දේශ කළේ ය. ඉන්පසු ජනමාධ්ය නීති ප්රතිසංස්කරණය කිරිමේ අරමුණින් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කළත් එය තර්කානුකූල අවසානයකට ගෙනයාමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් ආණ්ඩුව පවත්වාගෙන ගියේ ය. ඒ තත්ත්වය යටතේ සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම වෙනුවෙන් පක්ෂ ගණනාවක් ඒකාබද්ධව පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේත් එය විවාදයට ගැනීමෙන් වළකින ප්රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කළේ ය.
ජනමාධ්යවේදින් අතින් ද වැරදි සිදුවිය හැකි ය. හිතාමතාම වැරදි සිදු කරන අවස්ථාද තිබිය හැකි ය. එවැනි වැරදි සිදුවන අවස්ථාවලදි දඬුවම් කළහැකි ක්රමයක් ද තිබිය යුතු ය. එහෙත් ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය පවත්වාගෙන යන්නේ ජනමාධ්යවේදින් අතින් අපහාස ගණයෙහිලා සැලකිය හැකි වරදක් සිදුවන අවස්ථාවලදි දඬුවම් කළ හැකි සාමාන්ය නීති තිබියදි ය.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ දේශපාලන නිල තනතුරු දරන්නන් වැඩි වශයෙන් විවේචනයට ලක්විය යුතුය යන්න නවීන ලෝකය පිළිගත් මූලික මූලධර්මයකි. සමහර රටවල් ඒ සඳහා ඇති කරගත් විශේෂ නීති රිති ද පවතී. එහෙත් ශ්රී ලංකාව ගමන් ගනිමින් සිටිනුයේ අනාගතයට නොව අතීතයට ය. ආණ්ඩුවට අවශ්ය වී ඇත්තේ ජනමාධ්යවේදින් මට්ටු කරන්නට වුවත්, රටට අවශ්ය වී ඇත්තේ දේශපාලන ලෝකයේ තක්කඩිකම් කරන දේශපාලකයන් මට්ටු කරන ක්රමයකි. නීති කොතරම් තිබුණත්, අපේ රටේ කවදාවත් සිදුනොවන්නේ ද එයයි.