මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා මහජන නියෝජිත පාලන ක්රමය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයකට ආවේණක ප්රමුඛම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මහජන නියෝජිතයන් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගැනීමේ ක්රියාවලිය ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක මූලික අඩිතාලම ලෙස සැලකිය හැකි අතර, මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීමේ ක්රියාවලිය නිදහස් හා සාධාරණ ආකාරයකින් සිදු නොවී එය ඉතාමත් දූෂිත ආකාරයකින් සිදුවේ නම් එවැනි පාලනයක් ප්රජාතන්ත්රවාදී විය නොහැකිය.
උරුමය අනුව පාලකයා තෝරාපත් කරගන්නා වැඩවසම් රාජාණ්ඩු ක්රමයක් පැවති අපේ රටට මහජන ඡන්දයෙන් මහජන නියෝජිත පාලන ක්රමයක් හඳුන්වාදෙන ලද්දේ ඉංග්රීසීන් විසිනි. ඇති කරන ලද නව ප්රජාතන්ත්රවාදී ක්රමය සමාජයට හුරු පුරුදු ක්රමයක් නොවීම නිසාම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් මුදලට හා වෙනත් ආකාරවලට ජනතාවගේ ඡන්ද ලබාගන්නා තත්ත්වයක් ආරම්භයේ සිටම ක්රියාත්මක විය. එහෙත් මැතිවරණ දූෂණ එකල ආයතනගත කරන ලද ක්රියාවලියක් නොවූ අතර, ඒ නිසාම ඡන්ද දූෂණ මැතිවරණ ප්රතිඵලවල මූලික උපනති වෙනස් කිරීමට තරම් හේතු වන මහා පරිමාණයේ ක්රියාවලියක් ද නොවීය.
එහෙත් අද රටේ පවත්නා තත්ත්වය ඊට වෙනස්ය. දැන් මැතිවරණ දූෂණ ආයතනගත ක්රියාවලියක් බවට පත්ව තිබෙන අතර, සංවිධානාත්මකව සිදු කෙරෙන දූෂණවල පරිමාව ද මහජන කැමැත්ත උඩ යට පෙරළීමට හේතුවන තරම් විශාලද වී තිබේ.
මෙවැනි තත්ත්වයක් පළමු වරට රටේ මුල් බසින්නේ තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමය අහෝසි කොට එක් පුද්ගලයකු අත විශාල බලයක් ඒකරාශි කරන විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමත් සමගය. ඊට පෙර තිබුණු ක්රමය යටතේ මහජනයාට අවශ්ය නම්, පාලන බලයේ වෙනසක් ඇති කිරීම ද අමාරු දෙයක් නොවීය. එකල පාලන බලය සාමුහිකව පෙරළිය හැකි සහ එහෙත් ගෝලාකාර දෙයක් ලෙස පැවතුණ. එහෙත් විධායක ජනාධිපති ක්රමය යටතේ පාලන බලය පහසුවෙන් පෙරළිය නොහැකි හතරැස් දෙයක් බවට පත් කෙරුණි.
පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් පැවති යුගයේදි හැම මැතිවරණයකදිම පාහේ බලයේ සිටි පාලක පක්ෂය පරාජය වී විරුද්ධ පක්ෂය බලයට ආවේය. මේ නිසාම පොලිසිය මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ ආයතන හා ඒවාට සම්බන්ධ නිලධාරින් ද මැතිවරණවලදි අපක්ෂපාතිවත්, ස්වාධීනවත් ක්රියා කරන තත්ත්වයක් පැවතුණ. එහෙත් විධායක ජනාධිපති ක්රමය යටතේ පාලන බලය පහසුවෙන් වෙනස් කළ නොහැකි ගල් ගැසුණු දෙයක් බවට පත්වීමත් සමග එම ආයතනවල ක්රියාකාරිත්වයේ ස්වාධීනතාව ද බිඳ වැටී මැතිවරණවලදි නීතියට පටහැනිව විධායකයේ දේශපාලන වුවමනාවන්ට අනුකූලව ක්රියාකරන රූකඩ ආයතන බවට පත්විය 1978 ව්යවස්ථාවට පෙර දේශපාලන අධිකාරි බලය පැවරි තිබුණේ පාර්ලිමේන්තුවට පමණය. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව රාජ්ය සේවය හා ආරක්ෂක සේවාවන් ද මනා ස්වාධීනත්වයකින් ක්රියාකරන තත්ත්වයක් තිබුණි. නව ව්යවස්ථාව යටතේ විධායක ජනාධිපති, පාර්ලිමේන්තුව හා පළාත් සභා යනාදි වශයෙන් අධිකාරි බලය ඇති ආයතන වර්ග තුනක් ඇතිවිය මෙයින් එක් ආයතනයක් ඡන්ද විමසීමකට භාජනය වනවිට අන් සියලු ආයතන රාජකාරී බලතල සහිතව මැතිවරණ කටයුතුවල යෙදෙන තත්ත්වයක් ඇතිවිය. මේ තත්ත්වය මැතිවරණවලදි රාජ්ය සේවයේ හා ආරක්ෂක සේවාවන් බලය සහිත දේශපාලන අධිකාරීයේ අතකොලූ ලෙස ක්රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.
මැතිවරණවලදි සංවිධානාත්මකව ඡන්ද මංකොල්ල කන ක්රමයක් පළමුවරට ක්රියාත්මක වූයේ 1981 යාපනේ සංවර්ධන සභා ඡන්දයේදිය. ඉන්පසු 1982 ජනමතවිචාරණය සඳහා ද එවැනි ක්රමයක් ක්රියාත්මක විය ලේ වැගිරෙන පසුබිමක් යටතේ පැවති 88 පළාත් සභා මැතිවරණය, 88 ජනාධිපතිවරණය හා 89 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණවලදිත් ආයුධ සන්නද්ධව ඡන්ද පොළවල්වලට කඩා වැදි ඡන්ද මංකොල්ලකන ක්රමයක් ක්රියාත්මක විය එම තත්ත්වයට එරෙහිව ජාත්යන්තර වශයෙන් එල්ලවෙමින් තිබූ බලපෑම් හේතු කොටගෙන 1991 දි පැවති පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවතුණ. ඉන්පසු පැවති පළාත් සභා ඡන්දය සේ ම 1994 පාර්ලිමේන්තු මැතිවරණය ද නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවතිණ. 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ළග ළග තරගයකින් පොදු පෙරමුණට ජයගත හැකිවූයේ ද එම මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවතුන නිසාය.
පොදු පෙරමුණු යුගයේ දි සංවිධානාත්මක ඡන්ද මංකොල්ලයන් ගණයෙහිලා සැලකිය හැකි සිද්ධියක් පළමුව ඇතිවූයේ 94 ජනාධිපතිවරණයේදීය. එය සිදුවූයේ නුවර දිස්ත්රික්කයේය. ඉන්පසු 97 පළාත් පාලන මැතිවරණයේදි ද එවැනි සිද්ධීන් සිය ගණනක් රට පුරා සිදුවිය ඉන්පසු 99 ජනවාරි වලදි පැවති වයඹ පළාත් සභා ඡන්දය ශ්රී ලංකාවේ මුළු මැතිවරණ ඉතිහාසය තුළම සිදුවූ දැවැන්තම නින්දිතම මැතිවරණ කොල්ලය ලෙස සැලකිය හැකිය. ඉන්පසු ජනාධිපතිනියට එල්ල වූ බෝම්බ ප්රහාරය නිසා ඉතාමත් හැගීම්බර හා උද්වේගකර වාතාවරණයක් යටතේ පැවති ජනාධිපතිවරණයේ දි ද වයඹ මෙන් ඉතාමත් ගොරෝසු ආකාරයකින් නොව ඉතාමත් සියුම් ආකාරයකින් ක්රියාත්මක වන ඡන්ද කොල්ලයක් ක්රියාත්මක විය මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ හැර සමාජය නිකම්ම බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළහොත් මැතිවරණ පාලන බලය සඳහා තරග කරන කණ්ඩායම් අතර කෙරෙන සාහසික යුද්ධයක් දක්වා වර්ධනය වන දිනය බොහෝ ඈත නොවිය හැකිය. අනෙක් අතට ඒ නිසා සමස්ත ප්රජාතන්ත්රවාදී ක්රමයම අඩාල වී ඉක්මණන් අරාජික තත්ත්වයකට ද රට පත්විය හැකිය.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක ලේ නහර ලෙස සැලකිය හැක්කේත්,ි දේශපාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා විටින් විට පැවැත්වෙන මැතිවරණයන්ය. මේ මැතිවරණවලදි එම නහරවලින් යැවෙන්නේ මහජනයාගේ අවංක දේශපාලන අභිලාෂයන් නමැති පිරිසිදු රුධිරය නොවී, වෙනත් අපිරිසිදු රුධිරයක් වේ නම්, සමස්ත ක්රමයම විනාශ මුඛයට පත්වීම නොවැළැක්විය හැකිය. එහෙත් මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කළ හැකි වනු ඇත්තේ ද දේශනාවලින් නොව. ලක්ෂ සංඛ්යාත ජනයා මේ මංකොල්ල ක්රමයට එරෙහිව නගා සිටුවන දැවැන්ත සමාජ ක්රියාකාරිත්වයක් මුදාහැරිමෙන් පමණය.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ සන්ධානය මේ අරමුණ වෙනුවෙන් අතිවිශාල සමාජ ක්රියාකාරිත්වයක් පණ ගන්වනු පිණිස විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අදහස් කරගෙන සිටී. එම සන්ධානය ලංකාවේ ප්රධාන පෙළේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 60කින් සමන්විත පක්ෂ දේශපාලනයට අයත් නොවන ස්වාධීන සංවිධානයකි. ගරා හැලෙමින් පවතින දේශපාලන ආයතන ක්රමය ප්රතිසංස්කරණය කොට ප්රජාතන්ත්රවාදයට පුනර්ජීවනයක් ලබාදිම එම සංවිධානයේ අරමුණ වන අතර. ඒ සඳහා තබන ආරම්භක පියවරක් වශයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් දශ ලක්ෂයක් ජනතාව අත කහ පටි පැළඳ ගෙන සිටින තත්ත්වයක් ඇති කරන වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීමට එය බලාපොරොත්තු වේ.
මේ කහ රීබන් පටි ව්යාපාරය නම් කොට ඇත්තේ “ස්වර්ණ බන්ධන” ව්යාපාරය වශයෙනි. එය සූරීය මල් ව්යාපාරයට තරමක් සමානය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන සමාජ අධිෂ්ඨානය පළ කරන මාර්ගයක් වශයෙන් 11 වැනි දින සිට මැතිවරණය දිනය තෙක් කහ රීබන් පටියක් හෝ කහ කෝඩ් නූලක් සිය අතේ පැළඳ ගෙන සිටින ලෙස එය මහජනයාගෙන් ඉල්ලා සිටී. මේ කහ පටියෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ඇති අධිෂ්ඨානය ද, අතීතයේ සේ ම වර්තමානයේ සිදුවන මැතිවරණ දූෂණවලට ඇති විරෝධය ද සංකේතාත්මක වශයෙන් ප්රකාශ කරයි.
කහ රීබන් පටි ව්යාපාරයේ සමාරම්භක උත්සවය 11 වැනි දින සවස 3.00ට කොළඹ එල්පින්ස්ටන් ශාලාවේදි පැවැත්වීමට නියමිතය. ඉන්පසු 14 වැනි දින කොළඹ දිස්ත්රික්කයේ තෝරාගත් ස්ථාන 500ක කහ පටි පළඳවන ව්යාපාර ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒ මගින් කොළඹ ඇති සියලු රෝහල් සේවකයන්, (වෛද්යවරුන්ගේ සිට සුළු සේවකයන්) බැංකු සේවකයන්. තැපැල් විදුලි සංදේශ, දුම්රීය සේවකයන් ද, විශ්ව විද්යාල ආචාර්යවරුන් හා ශිෂ්යයන් ද ආවරණය කිරීමට බලාපොරොත්තු වේ. මේ වැඩපිළිවෙළට පන්සල් හා පල්ලි වැනි පූජනීය ආයතන ද සම්බන්ධය. 13 වැනි බිනර පෝය දින බෞද්ධ පන්සල්ද. 17 වැනි දින කතෝලික හා ක්රිස්තියානි පල්ලි ද ධර්මය දේශනාවල ප්රධාන තේමාව කොටගන්නට නියමිතව ඇත්තේ ද මේ මාතෘකාවය. බෞද්ධ පන්සල්. කතෝලික ක්රිස්තියානි හා මුස්ලිම් පල්ලි හින්දු කෝවිල් නිදහස් හා සාධාරණ මැතිවණයක් වෙනුවෙන් පෙනී සිටින ප්රධාන මධ්යස්ථාන බවට පත්වන තත්ත්වයක් ඉදිරියේ ඇතිවිය හැකිය. ඒ සමග සැප්තැම්බර් 19 වැනි දින රට පුරා ස්ථාන දහස් ගණනකදි කහ පටි ව්යාපාරය ක්රියාත්මක කිරීමට නියමිතය.
සන්ධානය අපේක්ෂා කරන ආකාරයට දශ ලක්ෂයක් ජනතාව සිය අත්වල කහපටි පැළඳ ගැනීම මගින් නිදහස් හා සාධාරණ මැතිවණයක් සඳහා වන සිය අධිෂ්ඨානය ප්රකාශ කරයි නම්, මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදි මැතිවරණ දූෂණ, අවම කිරීමට හේතුවන ක්රියාකාරි සමාජ පරිසරයක් ඇති කිරීමට හේතුවනු ඇතිවා පමණක් නොව. එය ගරා හැලෙන දේශපාලන ආයතන ක්රමයේ නව පුනර්ජීවනයක් ඇති කිරීමට හේතුවන බලවත් සංසිද්ධියක් ලෙස ද ක්රියා කරනු ඇත.