ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්මත කරගැනීමට ජනාධිපතිනිය දරන ලද උත්සාහය, ශ්රී ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජනයා දැක්කේ වාර්ගික අවුල විසඳලීමට දරන අවංක හා නිර්භීත ප්රයත්නයක් ලෙස නම්, එම ප්රයත්නය ලද පරාජය ඔවුන්ගේ සිත් තුළ වේදනාවක් ඇති කරලීමට හේතුවනු නොවැළැක්විය හැකිය. එහෙත් අනෙක් අතට ඇගේ ප්රයත්නය සඵල වී නම්. වාර්ගික ප්රශ්නයට විසඳුමක් ලැබෙනවා වෙනුවට ජනවර්ග අතර ලේ වගුරුවන ඝට්ටනයක් බවට පත්වීමට ද ඉඩ තිබුණි.
නව ආණ්ඩුක්රම ව්යවස්ථාව “ජනවාර්ගික අර්බුදයට විසඳුමක්” යන බැනරය යටතේ තවදුරටත් බලය පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ක්රියාවට නගන්නට දරන ලද සටකපට හා කූට උත්සාහයක් වූයේය. ජනාධිපතිනියගේ පියා ද මීට සමාන ආකාරයට 56දි ද බලය ලබාගැනීමේ අරමුණ සපුරා ගැනීම සඳහා සිංහල ජාතික දුක්ගැනවිලි ආයුධයක් කොට ගත්තේය. ඔහුගේ දුව චන්ද්රිකා උත්සාහ කළේ ද සුළු ජාතික දුක්ගැනවිලි ආයුධයක් කොටගනිමින් නැතිවන්නට යන බලය රැකගැනීමටය.
ශ්රී ලංකාවේ වාර්ගික ගැටලුව සැත්කමකින් තොරව සුවකළ නොහැකි රෝගයකට සමානය. එහෙත් අවශ්යව ඇති සැත්කම සරල එකක් නොවන්නේය. ඉතාමත් සංකීර්ණ එකක් වන්නේය. එය ඕනෑම ශල්ය වෛද්යවරයකුට කළ නොහැකි, ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති ශල්ය වෛද්යවරයකුට පමණක් කළහැකි සැත්කමකි. ඒ නිසා සුදුසු ශල්ය වෛද්යවරයකු සොයාගැනීමට ඇති දුෂ්කරතාව සලකා බාල වර්ගයේ ප්රසිද්ධියක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එය කරන්නට ඉදිරිපත් වුණු අවශ්ය සුදුසුකම් නැති ශල්ය වෛද්යවරයකුට ඒ වැඩේ කරන්නට ඉඩ දෙමු නම්, සමහරවිට රෝගියා මරණයට පවා පත්විය හැකිය. රෝගය ඉතා වේදනාකාරීය. එහෙත් වේදනාව ඉවසිය නොහැකි නිසාම, සුදුසුකම් ඇති ශල්ය වෛද්යවරයකු සොයා ගන්නා තෙක් නොඉවසා සුදුසුකම් නැති කෙනකු ලවා එය කරවන්නට යාම භයානකය.
මෙය පරස්පර විරෝධී බලවේගයන් ගණනාවකගේ එකගතාවක් මත නිරාකරණය කරගත යුතු සංකීර්ණ ගැටලුවකි. එහෙත් ඊට ගැලපෙන ප්රවේශයක් ජනාධිපතිනියට නොතිබුණි. ඇයට තිබුණේ සියලු බලවේගයන් පොදු එකගතාවකට එරෙහිව සටන් කරන තත්ත්වයකට යොමු කරවන ප්රවේශයකි.
ජනාධිපතිනිය නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ජනවාර්ගික අර්බුදයට විසඳුමක් බව කියන අතර, එය ප්රභාකරන් පරාජය කිරීම සඳහා සකස් කරන ලද්දක් බව ද කියයි. එය ප්රභාකරන් පරාජය කිරිමේ අරමුණ ඇතිව සකස් කරන ලද්දක් නම්, දෙමළ ජනතාවට එය පෙනෙනු ඇත්තේ ප්රභාකරන්ට එරෙහිව කරන යුද්ධයට ශක්තිය හා යුක්තිය ලබාදෙන ලියවිල්ලක් වශයෙනි. ප්රභාකරන් පරාජය කිරිමේ අරමුණින් කෙරෙන යුද්ධයක් සිංහල සමාජයේ සමහර සිංහලයන් තුළ ආශ්වාදයක් ඇති කිරීමට හේතුවිය හැකි වුවත්, එවැනි යුද්ධයක් දෙමළ සමාජය තුළ ආශ්වාදයක් ඇති කිරීමට හේතුවන්නේ නැත. අනෙක් අතට නව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ අරමුණ ප්රභාකරන් පරාජය කිරීම නම්, ආණ්ඩුක්රම ව්යවස්ථාව කඩාකප්පල් කිරීම පිණිස මුළු ශක්තිය යොදා ක්රියාකරන පිළිවෙතකට ප්රභාකරන් තල්ලු
වී යාම ද නොවැළැක්විය හැකිය.
නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්මත කරගැනීමේ වැඩපිළිවෙළ, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පමණක් නව මැතිවරණ ක්රමයක් ඇති කරන වැඩපිළිවෙළක් සමග බද්ධ කොට තිබුණි. ඒ වැඩපිළිවෙළ තමන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට තිබෙන සාධාරණ ඉඩ අහුරන්නක් බව ජනතා විමුක්ති පෙරමුණ සිහළ උරුමය වැනි සංවිධානවලට පෙනෙන විට සමස්ත වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා එම සංවිධාන උපරීම ශක්තියක් යොදා ක්රියාකරන තත්ත්වයකට තල්ලු වී ගියේය. එක්සත් ජාතික පක්ෂය ද නව ආණ්ඩුක්රම ව්යවස්ථාව දෑක්කේ ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් ලබාදිමට දරන අවංක උත්සාහයක් ලෙස නොව, තම පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් කුමන්ත්රණකාරි ලෙස ආණ්ඩුවට එකතු කරගනිමින් ඊළග මැතිවරණය පහසුවෙන් ජයගැනීම සඳහා යොදා ගෙන ඇති කූට වැඩපිළිවෙළක් ලෙසය. එවැනි තත්ත්වයක් ඉදිරියේ ව්යවස්ථාව පරාජය කිරීම පිණිස මුළු ශක්තිය යොදා ක්රියාකරන තත්ත්වයකට එම පක්ෂය ද තල්ලු කළේය. මේ වැඩපිළිවෙළ විරුද්ධ පක්ෂවල පමණක් නොව, පොදු පෙරමුණු ආණ්ඩුවේම ඇතැම් මන්ත්රීවරුන්ගේ ද. අවිශ්වාසයට හේතුවී තිබුණි. ඔවුන් එය දැක්කේ ජනාධිපතිනියගේ සංතෝෂයට හේතු නොවන ඇමතිවරුන්ගේ බෙලි කපා ජනාධිපතිනියගේ විශ්වාසයට හේතුවී සිටින කුඩා කල්ලියකගේ බලය තහවුරු කරගැනීමේ වැඩපිළිවෙළක් ලෙසය. විධායක ජනාධිපති නිලයට ඇති බිය නිසා ඔවුන් ප්රසිද්ධියේ විරුද්ධ නොවී නිශ්ශබ්දව සිටියත්, අප්රසිද්ධියේ ඊට අවහිර කළේය. අවසාන විග්රයේදි ජනාධිපතිනියගේ ප්රවේශය තුළම එය පරාජය කිරීමට හේතුවන සියලු සාධක ගැබ් කොට තිබුණේ යැයි කිව හැකිය.
ජනාධිපතිනිය සමස්ත සමාජය සමග ගනුදෙනු කරන ලද ආකාරය ඉතාමත් ළද බොළඳ ය. සංඝ සමාජය ශ්රී ලංකාවේ බලවත් ආගමික සංස්ථාවකි. කතෝලික පල්ලියට සිංහල සමාජය තුළ සේ ම, දෙමළ සමාජය තුළ ද බැතිමතුන් සිටියත්. පන්සල ඊට වෙනස්ය. එය ශ්රී ලංකාවේ බොහෝදුරට සිංහලයන්ට පමණක් සීමාවූ ආගමකි. ඒ නිසා එයට බැඳීමක් ඇත්තේ ද සිංහල සමාජයට පමණය. ඒ නිසා සංඝ සමාජය තුළ සිංහලට බර තබන ලද ආකල්ප තිබීම ද ස්වභාවිකය. සුළු ජාතික දුක්ගැනවිලිවලට විසඳුමක් ලබාදෙන ක්රියාමාර්ගයකට සංඝ සමාජය එකග කරවා ගැනීම අමාරු විය හැකි වුවත්, නිසි ගෞරවයකින් හා ඉවසීමකින් යුතුව කරුණු පහදා දෙන පිළිවෙතක් අනුගමනය කළේ නම් ඔවුන් බලවත් ලෙස විරුද්ධව ක්රියාකරන තැනකට යාම වළකා ගත හැකි වන්නට ඉඩ තිබුණි. එහෙත් ජනාධිපතිනිය සංඝ සමාජය සමග ගනුදෙනු කරන ලද ආකාරය ඊට වෙනස්ය. ඔවුන්ට නිසි ගෞරවයකින් හා ඉවසීමකින් යුතුව කරුණු පහදා දෙන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට මුළු වැර යොදා පහර දෙන පිළිවෙතක් මගින් ඔවුන් පෙරළා පහර දෙන තැනකට තල්ලු කළේය.
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදිම යනු පරස්පර විරෝධී වාර්ගික කණ්ඩායම් ගණනාවක් හා දේශපාලන පක්ෂ ගණනාවක් අතර ඒ පිළිබඳව පොදු එකගතාවක් ඇති කර ගැනීමට සමානය. එවැනි සංකීර්ණ ගනුදෙනුවකදි එහි මූලිකත්වය ගන්නා නායකයා හෝ නායිකාව ඒ සියලුදෙනාගේම ගෞරවයට හේතුවන පුද්ගල චරිතයක් විය යුතුය. එසේ නොවේ නම්, මුලසිටම නායකයකු අතට නොගෙන වෙනත් ආකාරයක් යොදාගත යුතුය.
නෙල්සන් මැන්ඩෙලා කළු නායකයකු වුවත්, ඔහු කළු ප්රජාව අතර පමණක් නොව සුදු ප්රජාව අතර ද ගෞරවයට හේතුවූ නායකයෙක් විය. ඔහු කවර මට්ටමකින්වත් කළු අයිතිවාසිකම් පාවා නොදෙනු ඇතැයි කළු ප්රජාව විශ්වාස කරන විට, මැන්ඩෙලා කල්ලෙක් වුවත්, තමන්ට අගතියක් නොකරනු ඇතැයි කියන විශ්වාසයක් සුදු ප්රජාව තුළ ද ගොඩනැගී තිබුණේය. නෙල්සන් මැන්ඩෙලාට පොදු එකගතාවක් ඇති කරගැනීම සඳහා වන ව්යාපාරය විවිධ බාධක මැද වුවත්. තර්කානුකූල අවසානයක් කරා ගෙන යා හැකි වුණේ. අර්බුදයට සම්බන්ධ ප්රධාන පාර්ශවයන් තුළ ඔහු කෙරෙහි පැවති එම ගෞරවය නිසාය.
එහෙත් මේ ක්රියාවලියේ දි ජනාධිපති චන්ද්රිකාට නොතිබුණේ ද ඒ ශක්තියයි. ඇය මේ ක්රියාවලිය මෙහෙයවන අවස්ථාව වනවිට, 94 දි හිමිකර ගත් ගෞරවයක් වී නම්. එය බොහෝ දුරකට නැතිකොට ගෙන තිබුණේය. සිංහල ජනතාව සේ ම දෙමළ ජනතාව ද ඇය කෙරෙහි විශ්වාසය තැබුවේ නැත. විරුද්ධ පක්ෂ බෙලහීන කිරීම සඳහා යොදාගත් ප්රජාතන්ත්ර විරෝධී වත් පිළිවෙත් නිසා කිසිම විරුද්ධ පක්ෂයක් ඇය කෙරෙහි විශ්වාසය තැබුවේ ද නැත. ඇය මෙවැනි බාරදූර කාරියකට අතගැසීමට කල්පනා කරගෙන සිටියේ නම්, සියලුම වාර්ගික හා ආගමික සමාජ කණ්ඩායම්වල සේ ම සියලුම දේශපාලන පක්ෂවල ද ගෞරවයට හේතුවන පාලන ක්රියාමාර්ගයක් පවත්වාගෙන යාමට වග බලාගත යුතුව තිබුණේය. එම කොන්දේසිය ඇයට පමණක් නොව ඉදිරියේ බලයට එන සියලු නායකයන්ට ද අදාළය.
මෙවැනි අර්බුදයකට ඉදිරිපත් කරන විසඳුම් ක්රියාවලියක් හැමවිටම බලය පිළිබඳව යටි අරමුණුවලින් තොරවිය යුතුය. බලය තරකර ගැනීම හෝ රැකගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකට බල තරගයේ සිටින ප්රති පක්ෂවලට එකගවිය නොහැකිය. අනෙක් අතට කිසිම හොඳ දෙයක් තුළ ප්රතිලාභ පිළිබඳ සැගවුණු යටි අරමුණු තිබිය නොහැකිය. දුප්පත් අසල්වැසි පවුලකට උදව් කරන්නෙක් ඒ සියලු උදව් කරන්නේ දුප්පත් අසල්වැසියා සතුව තිබෙන එකම ඉඩම් කැබැල්ල කූට ලෙස අත්පත් කරගැනීමේ අරමුණු ඇතිව නම්, එම උදව් දිම කුමන්ත්රණයක් ලෙස මිස. සත්ක්රියාවක් ලෙස සැලකිය නොහැකිය. එම ව්යවස්ථාව සම්මත කරගැනීමේ ක්රියාවලිය තුළ පැවති සැගවුණු බල අරමුණු. ජනාධිපති ක්රමය ඇගේ දෙවැනි නිල කාලය අවසන් වන තෙක් පවත්වාගෙන යාමට ඇති කොට තිබුණු විධිවිධාන හා මුක්තිය අහෝසි කරනවා වෙනුවට නිල කාලයෙන් පසුත්. ජීවිත කාලයටම බලපාන ආකාරයේ දෙයක් බවට පත්කිරීම යන කාරණා සමස්ත ව්යවස්ථා සංශෝධන වැඩපිළිවෙළම හාස්යජනක බලව්යාපෘතියක් බවට පත්කිරීමට හේතු විය. ක්ලර්ක්. මැන්ඩෙලා සමග කරන ගනුදෙනුවේදි එකගතාවකට එන්නට උත්සාහ කළේ තමන් වෙත තිබුණු බලය තවදුරටත් ආරක්ෂා කරගන්නා ආකාරයට නම් ඒ වැඩපිළිවෙළ ද හාස්යජනක විගඩමක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් විසඳුමක් සඳහා බලය අත්හැරිමට ඔහු පෙන්නුම් කරන ලද කැමැත්ත එම සුදු නායකයා කෙරෙහි කළු ප්රජාව තුළ ගෞරවයක් ඇති කිරිමෙන් නොනැවතී සුදු ප්රජාව කෙරෙහි පැවති වෛරසහගත හැගීම් යම් පමණකට තුනී කිරීමට ද හේතුවිය මැන්ඩෙලා කෙනෙකු ලෙස පෙනී සිටීම ජනාධිපතිනියගේ අපේක්ෂාව වුවත්, අවසානයේ මැන්ඩෙලා කෙනෙකු වීම තබා ක්ලර්ක් කෙනකු වීමටවත් ඇයට නොහැකි විය.