අධිකරණයේ පරිපාලනය ඉතාමත් ඛේදජනක තත්ත්වයකට ඇද වැටෙමින් තිබෙන බවක් පෙනී යයි. ඉතාමත් බරපතල වැරදි කරන සමහර අධිකරණ නිලධාරින් ආරක්ෂා කරන හා වන්දි භට්ටයන් ලෙස ක්රියාකිරීමට සූදානම් නැති පිරිස අධිකරණ සේවයෙන් පිටමං කරන ක්රියාවලියක් ඉදිරියට යමින් පවතී.
තමන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් සේවයේ යොදා ගනිමින් ඇය දූෂණය කළ බවට චෝදනා එල්ල වූ විනිසුරුවරයා කෙරෙහි පවා අධිකරණ සේවා කොමිසම මහත් අනුකම්පාවකින් ක්රියා කළේ ය. දැන් අගවිනිසුරු ධුරය දරන සරත් එන්. සිල්වා මහතාගේ අනාචාර නඩුව සරත් එන්. සිල්වා මහතාට පක්ෂපාතව හා නීතියට පටහැනිව විභාග කොට, ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම විසින් ම පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් මගින් සියලු චෝදනාවන්ට වරදකරු කරනු ලැබූ දිසා විනිසුරු උපාලි අබේරත්න මහතා කෙරෙහි පවා අධිකරණ සේවා කොමිසම ක්රියා කළේ අනුකම්පා සහගත ආකල්පයකිනි. මුදල් වංචාවක් නිසා රක්ෂණ සංස්ථාවේ සේවයෙන් පහ කොට, හැංගි හොරා අධිකරණ සේවයට එකතු වී කාන්තාවන් දෙදෙනකු දූෂණය කළ බවට චෝදනා එල්ල වූ, ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම විසින් ම පත් කළ ත්රී පුද්ගල කමිටුවක් විසින් වරදකරු කරනු ලැබූ ලෙනින් රත්නායක කෙරෙහි පවා අධිකරණ සේවා කොමිසම දක්වන ලද්දේ අනුකම්පා සහගත ආකල්පයකි.
එහෙත් කිසිම වරදක් නොකළ හෝ සමහර ඉහත කී පුද්ගලයන්ට වඩා සරල වැරදි කර ඇති සමහර විනිසුරුවන්ට එරෙහිව අධිකරණ සේවා කොමිසම පවත්වාගෙන යන දැඩි හා හිතුවක්කාරී පිළිවෙත සමාජය තුළ බලවත් සැකයක් ඇති කිරීමට හේතුවේ. විවිධ චෝදනා මත දැනට අධිකරණ සේවයෙන් පළවා හැර ඇති විනිසුරුවන්ගේ ගණන 21ක් බව සැලකේ. විශාල පිරිසකට සේවයෙන් ඉවත් කිරීමට බලකර ඇත්තේ චෝදනා පත්ර ලබාදිමකින් හෝ විනය විභාගයකින් ද තොරවය. එවැනි බොහෝ පිටමං කිරිම් කෙරෙහි දේශපාලන සාධක ද බලපා ඇති බව පෙනී යයි. රටේ පවතින නීතිය අනුව චෝදනා පත්රයක් ඉදිරිපත් කොට විධිමත් විනය පරීක්ෂණයකින් තොරව පුද්ගලයකු රැකියාවෙන් නෙරපීම හෝ ඉල්ලා අස්වන්නට සැලැස්වීම නීති විරෝධී වරදක් ලෙස සැලකේ. එහෙත් එම නීතිය අධිකරණ සේවා කොමිසම කෙරෙහි පමණක් බලනොපාන්නේ ඇයි ද යන්න ප්රහේළිකාවකි.
මීට පෙර අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරුවරයාගෙන් හා ඉන්පසුව ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජේයෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. දැන් ඒ ක්රමය ද වෙනස් කොට තිබේ.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් සඳහා ස්වාධීන හා ගරු කටයුතු අධිකරණයක් තිබිය යුතු ය. එහෙත් අපේ රටේ දැන් ඒ තත්ත්වය කණපිට හැරෙමින් අධිකරණය ද පාලක පක්ෂයේ පක්ෂ ශාඛාවක තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර, එම තත්ත්වය අධිකරණයේ ස්වාධීනත්වය සේ ම ගරු කටයුතු බව ද කෙළෙසීමට හේතුවී තිබේ. මේ තත්ත්වයට ඉක්මන් පිළියමක් සොයා ගනිමින් අධිකරණය ස්වාධීන හා ගරු කටයුතු ආයතනයක් බවට පත්කර ගැනීම සමාජයේ යහපැවැත්ම සඳහාත් ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම සඳහාත් අත්යවශ්ය වැදගත් කොන්දේසියක් ලෙස ක්රියා කරයි.