බිත්තර නොකඩා ඔම්ලට් හැදිම

July 23, 2000
Publication:
Ivan recalls that J.R. Jayewardene's 1978 constitution concentrated power in an executive president, subordinating Parliament, the courts and the public service, and that Sirimavo Bandaranaike vowed to fight any resulting dictatorship. Quoting the People's Alliance 1994 manifesto and Chandrika Kumaratunga's January 1995 address pledging abolition, he notes that she now offers to change everything except the presidency, which would end only with her term, and contrasts this with F.W. de Klerk.

ජේ.ආර්. ජයවර්ධන මහතාට 1978දි හදිසි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාමාර්ගයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරළියට ගැනීමට අවශ්‍ය වූයේ එතෙක් මහජනයාට අවශ්‍යවූ අවස්ථාවක සාමුහික උත්සාහයක් මගින් බලයේ සිටින ආණ්ඩුවක් වෙනස් කිරීමේ හැකියාව ඇති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අහෝසි කොට මහජනයාට සාමුහික උත්සාහයක් මගින් පහසුවෙන් වෙනස් කළ නොහැකි සියලු බලතල විධායක ජනාධිපතිවරයෙකු අත කේන්ද්‍රගත කෙරෙන නව පන්නයක ජනාධිපති ක්‍රමයක් ඇති කරගැනීම අවශ්‍ය වූ නිසාය. එම ව්‍යවස්ථාවට ඇතුළත් අනෙකුත් සියලු කාරණ එම කේන්ද්‍රීය අරමුණ වෙනුවෙන් යොදාගන්නා ලද බාහිර සැරසිලි පමණක් වූයේය.

ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද එම නව ක්‍රමය දේශපාලන ක්‍රමය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය සීමාකරමින් සමස්ත දේශපාලන ක්‍රමයේම විශාල විකෘතියක් ඇති කළේය. එය එතෙක් පාර්ලිමේන්තුවට ලැබී තිබුණු උත්තරීතර තත්ත්වය අහෝසි කොට පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිවරයාට යටහත් පහත්ව ක්‍රියාකළ යුතු ආයතනයක් බවට පත් කළේය. එතෙක් අධිකරණයට ලැබී තිබුණු ස්වාධීනතාව ද අහෝසි කරමින් අධිකරණය ද ජනාධිතිවරයාගේ සිතැගියාවන්ට අනුකූලව ක්‍රියා කළ යුතු ආයතනයක් බවට පත් කළේය. ඒ සමග පරිපාලන සේවය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව වැනි ආයතන ද විධායක ජනාධිපතිවරයාගේ අණසකට යටත්ව ක්‍රියා කළ යුතු සේවාවන් බවට පත්විය.

ජේ.ආර් ජයවර්ධන 1978දි ඇති කළ නව ව්‍යවස්ථාව විරුද්ධ පක්ෂයේ අනුමැතිය ලබාගත් ව්‍යවස්ථාවක් නොවීය. එහෙත් එය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් වෙනුවට හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට තිබීම නිසා නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට විරුද්ධ පක්ෂවල එකගතාවක් ලබාගැනීමේ අවශ්‍යතාවක් ද නොතිබුණ.. සම්මත කරගැනීමට නියමිතව තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ශ්‍රීලනිප නායිකාව (බණ්ඩාරනායක මහත්මිය) 1978 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපයෝගී කරගෙන මේ රටේ ආඥාදායකයෙකු බිහිවනදාට අපි මේ ගරු සභාවෙන් බැහැරව නිදහසේ සටන අරඹන බවය.”

ඉන්පසුව පැවති හැම මැතිවරණයකදිම ශ්‍රීලනිප පුන පුනා ජනතාවට දෙන ලද මූලික පොරොන්දුවක් වූයේ තමන් බලයට පැමිණ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරන බවය..

පොදු පෙරමුණ 1994 රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් ද ඒ ගැන මෙසේ අවධාරණය කොට තිබුණි.

“1978දි පටන් අප රටට ශාපයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හදිසි ප්‍රමුඛතා කාර්යයක් හැටියට සිදු කරන අතර, කැබිනට් හා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යළි පිහිටුවීම මගින් ජනතාවගේ දේශපාලන අභිලාෂයේ ශ්‍රේෂ්ඨභාවය ප්‍රතිෂ්ඨාපනය කරනු ඇත. අපේ රටේ මෑතකාලීන අත්දැකීම්වලින් අබමල් රේණුවකින් හෝ සැකයකින් තොරව පැහැදිලි වන දෙයක් නම් කිසිදු ඵලදායී සංවරණ හෝ තුලන ක්‍රමයකින් තොරව පෙර නොවූ විරු බලතල සම්භාරයක් විධායක ජනාධිපතිවරයාගේ අතේ කේන්ද්‍ර ගතවීම නිසා පුද්ගලිකවත් සාමුහිකවත් අප ජනතාව සතු මූලික ලක්ෂණයක් වන නිදහස, නිර්මාණශීලීත්වය සහ පුරෝගාමීත්වයට විනාශකාරී ලෙස බලපා ඇති බවයි. අප ජනතාවගේ දේශපාලන ජීවිතය අතීතයේ දි පොහොසත් කළ උසාවි පද්ධතිය, පාර්ලිමේන්තුව සහ ජනමාධ්‍යය යනාදි සියලු ආයතන බාල්දු කිරීමටත්, දුර්වල කිරීමටත් විධායක ජනාධිපති ක්‍රමය තුඩු දි ඇත. පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දරන සහ පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් ආණ්ඩු ක්‍රමය යළි පිහිටුවීම මගින් ජනතාව වෙතට යළි බලය පැවරිමට පොදු ජන එක්සත් පෙරමුණ ස්ථිර සාර ලෙසටම කැපවී සිටිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය බවට පත්වීමෙන් පසු 1995 ජනවාරී 6 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේ දිත් ඈ මේ කේන්ද්‍රීය ප්‍රශ්නය ගැන මෙසේ කථා කළාය.

“1978 ව්‍යවස්ථාවේ ව්‍යූහයන් බොහොමයක් සකස් වී තිබෙන්නේ බලය ඒකරාශිවීම අරමුණු කරගෙනය. එය කොතරම් දුරකට එක් පුද්ගලයකුට බලය ලබාදෙන්නේ ද යත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නිදහසේ පහන් සිලුව නොනිමී පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන සියලු සංවරණ හා තුලන ක්‍රමයන්ට පටහැනිව යයි. පසුගිය කාලය තුළ විධායක ජනාධිපති ධුරය වෙත ඒකරාශිවී තිබුණු අසීමිත බලය පාවිච්චි කළ ආකාරය කෙබඳු වී දැයි කිවහොත් දේශපාලන ආයතනයක් හැටියට එහි කිසිදු සාධනීය පැත්තක් දැකිය නොහැකිය. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යූහයේ කේන්ද්‍රය වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු හා කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඒ වෙනුවට හඳුන්වාදිමට මාගේ ආණ්ඩුව කැපවී සිටී. ජනතාව ඡන්දයෙන් තෝරා පත් කරගන්නා නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව රාජ්‍ය බලයේ ප්‍රධානතම ආයතනය වනු ඇත.”

ජනාධිපතිනිය තමන්ගේ පළමු නිල කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළත්, නැවත දෙවනි ජනාධිපතිවරණයේදීත් තමා ජනාධිපතිවරණයට තරග කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ අරමුණ ඇතිව බව පුන පුනා ප්‍රකාශ කළාය. පළමු නිල කාලය තුළ එය අහෝසි නොකිරීම ගැන ඇය කීවේ එජාපයෙන් ඒ සඳහා අවශ්‍ය සහාය නොලැබුණු නිසා බවද ඇය කියා සිටියාය.

විධායක ජනාධිපති ක්‍රමය එජාපයේ නිර්මාණයක් වීම නිසාම, ඊට එරෙහිව යාමේ හැකියාව එජාපයට නොතිබුණි. 94 ජනාධිපතිවරණයේ දි පවා එය පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්ෂාව පිණිසය. එහෙත් එජාපය ද එය ආරක්ෂා කිරීමේ පැරණි පිළිවෙත අත් හරිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට තමන්ට සහාය දෙන බව ප්‍රකාශ කර සිටියේය. ඒ සමග විධායක ජනාධිපති ක්‍රමය අරභයා ජනාධිපතිනිය කෙරෙන් ප්‍රකාශ වූ ස්ථාවරයේ ද අලුත් වෙනසක් ඇතිවිය.

දැන් ඇය පැරණි ව්‍යවස්ථාවේ එන විධායක ජනාධිපති ක්‍රමය හැර අන් ඕනෑම දෙයක් වෙනස් කරන්නට සූදානම්ය. ඇගේ නව ස්ථාවරය අනුව විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි විය යුත්තේ ඇගේ ධුර කාලය අවසන් වීමත් සමගය.

එය හරියටම බිත්තර නොකඩා ඔම්ලට් හදන්නට දරන උත්සාහයක් බඳුය. ඇය විධායක ජනාධිපති ක්‍රමය මීට පෙර විග්‍රහ කොට ඇත්තේ දේශපාලන ක්‍රමයට ඇතුළු වී ඇති දරුණු පිළිකාවක් ලෙසය. එහෙත් දැන් ඇය ඒ දරුණු පිළිකාව හැර ශරිරයේ ඇති ඕනෑම අංගයක් ඉවත් කරන ශල්‍යකර්මයකට සූදානම්ය. විධායක ජනාධිපති ක්‍රමය සමාජයට පිළිකාවක් වී ඇතත්, බලය දරන්නාට එය කප්රුකකි. ඒ නිසා ඒ කප්රුක අත්හරින්නට ඇය සූදානම් නැත.

දකුණු අප්‍රිකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලේ දි අපේ ජනාධිපතිනිය මෙන් ක්ලර්ක් ද තමන්ට බලය අහිමි නොවන ලෙසට කල්ලන්ට අයිතිවාසිකම් ලබාදෙන වැඩපිළිවෙළකට ගියේ නම්, සමස්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම හාස්‍යජනක විගඩමක තත්ත්වයට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් ක්ලර්ක් එහිදී තමා ගැන නොව රට ගැන සිතුවේය. තම බලය අහිමි කරගනිමින් රට ආරක්ෂා කරගත්තේය. එහෙත් අප යමින් සිටින්නේ එහි ප්‍රතිවිරුද්ධ දිසාවටය.