පැරණි පාර්ලිමේන්තුවේ නිල කාලය අවලංගු වීමට සති 06ක් තරම් කෙටි කාලයක් තිබියදි දඩිබිඩියේ කරන ව්යවස්ථා ප්රතිසංස්කරණයකට ආණ්ඩුව දක්වන උනන්දුව බලවත් සැකයක් ඇති කිරීමට හේතුවේ. ආණ්ඩුක්රම ව්යවස්ථාවක් යනු දේශපාලන ක්රමයක් සඳහා මහජනතාව ඇති කරගන්නා සම්මුතියකි. එවැනි සම්මුතියක් ඵලදායී මහජන සංවාදයකින් තොරව නීතිගත කරන්නට යාම භයානක ය.
දැන් රට ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් මුවවිට ය. පොදු පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර ව්යවස්ථා ප්රතිසංස්කරණයක් සඳහා එකගතාවක් ඇති කරගෙන ඇත්නම් ඇති කරගෙන තිබෙන එකගතාව මත සකස් කරන ලද ව්යවස්ථා ප්රතිසංස්කරණ කෙටුම්පතක් ධවල පත්රිකාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යහපත් ය. එහෙත් එවැන්නක්, අවලංගුවීමට නියමිත පාර්ලිමේන්තුවක් මගින් කඩිමුඩියේ සම්මත කරගත යුතු නැත. එය සම්මත කිරිමේ වගකීම ලබාදිය යුත්තේ උපදින්නට නියමිත නව පාර්ලිමේන්තුව වෙත ය.
මේ අවස්ථාවේදි ප්රමුඛ වැදගත්කමක් ලබාදිය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට ය. බලහත්කාරයට, ප්රචණ්ඩත්වයට හෝ තක්කඩිකම්වලට ඉඩක් නැති මහජනයාගේ දේශපාලන අභිලාෂයන් අව්යාජ ලෙස ප්රකාශ කිරීමට ඉඩ ලැබෙන ආකාරයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන ප්රශ්නයට ය.
යුරෝපා සංගමය යෝජනා කර තිබෙන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිසමක් යටතේ ය. මැතිවරණය නිරීක්ෂණය කිරීමට උනන්දුවක් දක්වන සියලු දේශීය නිරික්ෂණ ආයතනවලට පමණක් නොව සියලු විදේශීය නිරික්ෂණ ආයතනවලට ද ඒ සඳහා ඉඩ ලබාදිම ඉතා වැදගත් ය.
මැතිවරණයට පෙර 94 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීම සඳහා ක්රියාකරන අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන සියලු අපේක්ෂකයින්ගේ ද වත්කම් බැරකම් ප්රකාශ ලබාගැනීම සඳහා ක්රියාකිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. නීතියෙන් නියම කර ඇති එම වගකීම මැතිවරණ කොමසාරිස්වරයා මෙතෙක් සම්පූර්ණ කර නැත්තේ ඇයි ද යන්න තේරුම් ගැනීම අමාරු ය. වත්කම් හා බැරකම් නීතිය මැතිවරණවලට තරග කරන අපේක්ෂකයින් සඳහා පමණක් නොව දේශපාලන පක්ෂවල නිලධාරින් සඳහා ද බලපායි. දේශපාලන පක්ෂවල නිලධාරින්ගෙන් ද නීතියෙන් නියම කර ඇති පරිදි වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීම සඳහා නොපමාව ක්රියා කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.
මැතිවරණ නිරික්ෂණය මැතිවරණ නිරික්ෂණ අංශවලට සීමා නොකොට එය සමාජීය වගකීමක් ලෙස සමාජය වෙත බාරගත හැකි නම්, සිදුවිය හැකි අමනකම් සීමා කිරීම ද අමාරු විය නොහැකි ය.
රටේ තිබෙන වෘත්තීය සමිති, වෘත්තීයවේදි සංවිධාන හා වෙනත් බහුජන සංවිධානත්, පන්සල්, පල්ලි, දේවාල වැනි ආගමික ආයතනත් මැතිවරණ නිරික්ෂණ ක්රියාවලියට ක්රියාකාරි ලෙස සම්බන්ධ වීම මගින් මැතිවරණ දූෂණ සිදුවීමට තිබෙන ඉඩකඩ අහිමි කළ හැකි ය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය ඇත්තේ ජනතාවට නම් එම පරමාධිපත්ය බලය ප්රකාශ කෙරෙන මැතිවරණ නිදහස සාධාරණ මට්ටමක තබාගැනීමේ වගකීම පැවරෙන්නේ ද සමාජයට ය.