රට ඉන්නේ අතිවිශාල විනාශයක මුවවිට ය. මේ සුවිශේෂ මොහොතේදි පටු පක්ෂ භේදයෙන් තොරව රටේත්, ජනතාවගේත් ආරක්ෂාව පිණිස ඉමහත් සංයමයකින් හා අවබෝධයකින් ක්රියාකිරීම ඉතා වැදගත් ය. එහෙත් පවතින අර්බුදයේ යථා තත්ත්වය මහජනතාවට තේරුම් නොකොට ඔවුන් අඳුරේ තබන පිළිවෙතකින් අයහපත් ප්රතිඵලයක් මිස යහපත් ප්රතිඵලයක් ඇති කළ නොහැකි ය.
අලිමංකඩ අත්හැර යාමට සිදුවූ අවස්ථාවේ දි හමුදා ප්රකාශකයා අවධාරණයෙන් ම ප්රකාශ කළේ ශ්රී ලංකා හමුදාවන්ට සිදුවී ඇති හානියේ ප්රමාණයන් පිළිබඳව සමහර විදේශීය ප්රවෘත්ති ආයතන පළකර ඇති කරුණු සත්ය නොවන බවත්, ඒ නිසා මිය ගියේ නිලධාරින් හත්දෙනකු ඇතුළු සෙබළුන් 72ක් පමණක් බවත් ය.
එහෙත් එම ප්රකාශයෙන් දින 17කට පසුව නියෝජ්ය ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දි ප්රකාශ කර සිටියේ අලිමංකඩ සටනින් නිලධාරින් ඇතුළු සෙබළුන් 358ක් මරණයට පත්ව ඇති බවත්ණී නිලධාරින් ඇතුළු සෙබළුන් 346ක් අතුරුදහන් වී තිබෙන බවත්ණී නිලධාරින් ඇතුළු සෙබළුන් 2568ක් තුවාල ලබා ඇති බවත් ය.
ආණ්ඩුව අලිමංකඩ අහිමිවූ අවස්ථාවේදි අවධාරණයෙන් පුන පුනා පළකළ සංඛ්යා ලේඛනත්, පසුව ආරක්ෂක නියෝජ්ය ඇමතිවරයා පළකර තිබෙන සංඛ්යා ලේඛනත් අතර සාමාන්ය වෙනසක් නොව, අතිවිශාල වෙනසක් තිබෙන බව ඉන් පෙනී යයි. ඒ වෙනසට හේතුව ජනතාවට ඇත්ත වසන් කිරීම ය. එහෙත් මතුවී තිබෙන මෙම දෑවැන්ත ජාතික අර්බුදය ඉදිරියේ දිගින් දිගටම ජනතාවට ඇත්ත වසන් කරන ප්රතිපත්තියක් ඉතාමත් විනාශකාරි ප්රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි ය.
මෙවැනි දෑවැන්ත ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක වඩාත්ම වැදගත්වන්නේ සමාජ අවබෝධයයි. තිබෙන අර්බුදය පිළිබඳව හා එය ගමන් ගැනීමට නියමිත දිසාවන් පිළිබඳ මනා අවබෝධයක් සමාජය සතුවේ නම්, එනිසා ඇතිවිය හැකි හානිය අවම කරගැනීමේ හැකියවක් ද සමාජයට ලැබෙන්නේ ය. එහෙත් පවතින යථා තත්ත්වය සමාජයට අවබෝධ කරමින් විසඳුමක් ඇතිකර ගැනිමේ ක්රියාවලියට සමාජය මැදිහත් කරගන්නවා වෙනුවට සමාජය අඳුරේ තබන ප්රතිපත්තියක් මගින් එය පාලනය කිරිමේ වගකීම ආණ්ඩුව තමන් වෙත පමණක් පවරා ගන්නා ප්රතිපත්තියක් යහපත් ප්රතිපල ඇති කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය.
අප ජීවත් වන්නේ නූතන සමාජයක ය. වාරණ නීති රිතිවලින් සමාජයට තොරතුරු ගලා ඒම මුළුමණින් පාලනය කළ නොහැකි සමාජයක ය. අතිවිශාල විපතක් ඇතිවූ අවස්ථාවක එහෙත් තමන්ට කරුණු වසන් කොට ආණ්ඩුව තමන් නොමග යැවීය කියන හැගීමක් ජනතාව තුළ ඇතිවුවහොත් ඒ නිසා ඇතිවිය හැකි ප්රතිඵල ද ඉතා විනාශකාරි විය හැකි ය.
මෙවැනි අර්බුදයක් තුළ සීමා කිරිම් අවශ්ය විය හැකි වුවත් ජනතාව අඳුරේ තබන වාරණයක් යුක්තිසහගත විය නොහැකි ය. ඇතිවන පුංචි පුංචි සිද්ධීන් වසන් කොට තබාගැනීමේ හැකියාවක් ඇතත්, සිද්ධීන් විශාල වන තරමට ඒවා වසන් කොට තැබීමේ හැකියාවක් නැති බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය.
ඇතිකර තිබෙන දෑඩි නීති රිති ඒ ආකාරයෙන් ම ක්රියාවට නොනගා ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම් බව නියෝජ්ය ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි ප්රකාශ කර ඇතත්, ප්රවෘත්ති වාරණය සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීමට තවමත් සමත්ව ඇති බවක් පෙනෙන්නට නැත. ප්රවෘත්ති බලධාරින් තමන්ට පැවරි තිබෙන බලය සීමාන්තික ආකාරයකින් පාවිච්චි කරමින් සිටින පිළිවෙතක් දෑකිය හැකි ය. ජාතික ආරක්ෂාවට වැදගත් වන කාරණා පමණක් නොව, ඊට කිසිම සම්බන්ධයක් නැති දේවල් පවා වාරණයට ලක් කරන හිතුවක්කාරි පිළිවෙතක් ඔවුන් අනුගමනය කරමින් සිටිති. ජනතාව අඳුරේ තබන එවැනි හිතුවක්කාරි පිළිවෙතක් අර්බුදයේ බර හෑල්ලූ කිරීමට නොව උග්ර කිරීමට හේතුවනු නොඅනුමාන ය.