රට ඇත්තේ විනාශයක එළිපත්තේ ය

May 7, 2000
Publication:
Ivan says Prabhakaran's offensive on Jaffna has evaporated the government's plans to extend Parliament or win an election through constitutional change. A defeat in Jaffna could topple the government; any election would exclude the North. He notes MPs' retrospective pay rise, doubts the new Sinhala nationalist party can offer a practical answer, and warns that the war could move south and force the whole country into bunkers.

ප්‍රභාකරන් යාපනය දිනාගැනීම සඳහා දියත් කොට ඇති යුද්ධ වැඩ පිළිවෙළ, ආණ්ඩුව ඉදිරියේ ක්‍රියාවට නැංවීමට අදහස් කරගෙන සිටි සමස්ත වැඩ පිළිවෙළම වාෂ්ප බවට පත් කිරීමට හේතු වී තිබෙන බව පෙනේ. ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව වහාම පාර්ලිමේන්තු මැතිරවණයකට යාමෙන් වැළකී සිටියේ ය. තමන්ගේ වාසියට හේතුවන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් මගින් පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම හෝ එජාපයෙන් එකතු කරගන්නා පිරිසකගේ ආධාර ඇතිව වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය කිසියම් කාලයක් සඳහා දිර්ඝ කර ගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබුණි.

එහෙත් මේ වන විට රටේ සමස්ත දේශපාලන චිත්‍රය තීන්දු කරන සාධකය බවට පත් වී ඇත්තේ යාපනයයි. යාපනය ලබන තීරණාත්මක පරාජයක් ආණ්ඩුවේ පැවැත්ම සහමුලින් බිඳ දැමීමට පවා හේතුවිය හැකි වන අතර එසේම නොවුවත් යාපනේ ලබන තීරණාත්මක පරාජයකින් පසුව පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුවට යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය.

එජාපය ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට ආධාර කරන ප්‍රතිපත්තියකට මාරුවූයේ පක්ෂෂයක් වශයෙන් තමන් ඒ අවස්ථාවේ මුහුණ දි තිබුණු අර්බුදයෙන් තාවකාලික වශයෙන් ගොඩඑන මාර්ගයක් වශයෙනි. ආණ්ඩුවට එකතු වී සිටි පස් දෙනා ගේ කණ්ඩායමට අතිරේකව තවත් පිරිසක් ආණ්ඩුවට තල්ලුවී යාම වළකා ගැනීම එහි අභිප්‍රාය විය දැන් ආණ්ඩුව මුහුණ දි තිබෙන අර්බුදයේ තරම අනුව ආණ්ඩුව තුළ අභ්‍යන්තර බෙදිමක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා මිස එජාපයෙන් අලුත් පිරිසක් ආණ්ඩුවට එකතු වීමේ හැකියාවක් නොපවතී.

මතු වී තිබෙන අර්බුදය දේශපාලන චිත්‍රයේ ඇති කරන්නට නියමිත වෙනස්කම් මොන මොනවා විය හැකිද යන්න කල් තියා ප්‍රකාශ කරන්නට බැරි තරමට රටේ ගොඩනැගෙමින් තිබෙන තත්ත්වය සංකීර්ණ ය. මතු වෙමින් තිබෙන අර්බුදයේ ගැඹුර කොතරම් බරපතල වුවත් ව්‍යවස්ථානුකූලව නම් පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා සිටිය නොහැකිය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකින් තමන්ට අති විශාල පරාජයක් ලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබෙන තත්ත්වයක් යටතේ තිබෙන අර්බුදය හේතුවක් කර ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමෙන් වැළකී සිටින උත්සාහයක් ආණ්ඩුව කෙරෙන් ප්‍රකාශ විය හැකි ය. එහෙත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මතු වී තිබෙන බෙදීම් අනුව ඒ සඳහා ආණ්ඩුව තුළ පොදු එකගතාවක් ඇතිකර ගැනීම අසීරුය.

පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා සිටීමේ හැකියාවක් නැතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදුවනු ඇත්තේ උතුර ඇතුළත් නොවන ආකාරයට ය. අතීතයේ දි කොටි සංවිධානයේ පාලනයක් තිබිය දි පවා ආණ්ඩුවේ හමුදා කඳවුරු ක්‍රමයක් උතුරේ තිබීම නිසා බොරු පර්ශද ඡන්ද මධ්‍යස්ථාන ක්‍රමයක් යටතේ නාමික වශයෙන් හෝ උතුරට බලපාන ආකාරයට ඡන්දය පැවැත්වීමේ හැකියාවක් තිබුණි. එහෙත් උතුරේ හමුදා කඳවුරු නැති තත්ත්වයක් ඉදිරියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදුව ඇත්තේ ද මුළුමනින්ම උතුර නොසලකා ය. සමහර විට ඒ තත්ත්වය නැගෙනහිර දෙමළ ප්‍රදේශ කෙරෙහි ද බලපෑ හැකි ය. ඒ තත්ත්වය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වැනි පක්ෂෂ කෙරෙහි පමණක් නොව මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂෂ කෙරෙහි ද අවාසිදායී ආකාරයකින් බලපානු නොවැළැක්විය හැකි ය.

සමහර විට ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදුවනු ඇත්තේ ද රට බෙදි වෙන්වුන තත්ත්වයක් යටතේ ය. මතු වී තිබෙන අර්බුදයට විසඳුමක් දෙනවා නම් යම් තරමක පාලනයක් ඇති කිරිමේ ඉදිරි දර්ශනයක්වත් පෙන්නුම් කිරීමට කිසිම දේශපාලන පක්ෂෂයක් සමත්ව නොතිබෙන අවස්ථාවක දිය.

ඉදිරි පාර්ලිමේන්තුව ලබාදෙන්නට යන ප්‍රතිඵලය ද රටේ අස්ථාවර භාවය ශක්තිමත් කිරීමට විනා දුර්වල කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය. ආණ්ඩුව කෙරෙහි පුපුරා හැළෙන කළකිරීමක් මහජනයා අතර ඇතත් කිසිම දේශපාලන පක්ෂෂයක් කෙරෙහි මහජනයා අතර බලවත් විශ්වාසයක් නොපවතී. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂෂ අති විශාල පඩි වැඩි කර ගැනීමකින් නොනැවතී අවුරුදු 2ක් ආපස්සට බලපාන ආකාරයට හිග වැටුප් ලබාගන්නා තරම් ආත්මාර්ථකාමී තත්ත්වයකට පත්වූයේ රට අති විශාල අර්බුදයකට තල්ලු වී යමින් සිටින අවස්ථාවක ය. දේශපාලන පක්ෂෂ කෙරෙන් ප්‍රකාශ වූ මේ ආත්මාර්ථකාමී පිළිවෙත මහජනයා තුළ ඔවුන් කෙරෙහි සුළු විශ්වාසයක් හෝ තිබුණේ නම් ඒ විශ්වාසය පවා නැති භංග කිරීමට හේතුවිය.

සියලු ප්‍රධාන දේශපාලන පක්ෂෂවලට එරෙහිව යන සිංහල ජාතිකත්වය පදනම් වූ නව පක්ෂෂයක් කරලියට පැමිණ ඇති මුත් මතු වී තිබෙන අර්බුදයේ පරිමාව හා එහි විශේෂිත හැඩ තල විසින් එවැනි පක්ෂෂයකට පවා බලවත් තත්ත්වයක් හිමිකර ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක් ඇති කර තිබෙන බවත් පෙනී යයි. මේ විශේෂ අවස්ථාවේ දි සිංහල ජනතාවට එවැනි පක්ෂෂයක් ආකර්ශණය වනු ඇත්තේ ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබෙන අභියෝග ජයගැනීමට ඔවුන් අත ප්‍රායෝගික විසඳුමක් ඇත්නම් පමණ ය. එහෙත් යුද්ධ හමුදාව පවා රණබිමෙන් ඉවත් වෙමින් තිබෙන තත්ත්වයක් ඉදිරියේ ප්‍රභාකරන් විරෝධී සටන් පාඨවලින් පමණක් මහජනයා සතුටු කිරීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය.

යාපනේ දෙමළ ජනයා දශක එකහමාරක් තරම් දිර්ඝ කාලයක් ජීවත් වූයේ යුද්ධය නමැති විෂම චක්‍රයට මැදිව ය. යුද්ධය විසින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය විනාශ මුඛයට පත්කර තිබුණු අතර ගෙවල් දොරවල් පොඩිපට්ටම් කරමින් සමස්ත ජනතාවම එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අනාථ භාවය තුළ ජීවත් විය යුතු අනාථයින් පිරිසක් බවට පත්කර තිබුණේ ය. කලක් දිගින් දිගට අහසින් හෙළන බෝම්බ නිසා හැම දිනකම කිසියම් කාලයක් බංකරවල ජීවත්විය යුතු තත්ත්වයක් එහි ගොඩනැගී තිබුණේ ය. උතුරේ දරුණු යුද්ධයක් සිදුවුවත් එය මායිම් ගම්මානවල ජීවත්වන සිංහල ජනයා කෙරෙහි මිස දකුණේ සිංහල ජන ජීවිතය කෙරෙහි විනාශකාරි ලෙස බල නොපෑවේ ය. රටේ දරුණු යුද්ධයක් තිබිය දි සංචාරකයන් දකූණට ගලා ආවේ ය. ආර්ථික ක්‍රියාකාරීත්වය බිඳවැටීමකින් තොරව ඉදිරියට ගමන් ගත්තේ ය.

එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව යුද්ධය උතුරෙන් දකුණට මාරුවිය හැකි තත්ත්වයක් පවතී. යුද්ධයේ විෂම චක්‍රයට මැදි වී බංකර් යට ජීවත් විය යුතු යුගයකට මුළු රටම යොමුවෙමින් තිබෙනවා විය හැකි ය. මේ තත්ත්වය යථා ආකාරයකට අවබෝධ කරගනිමින් ඇතිවිය හැකි විනාශයන් අවම කර ගැනීමට හේතුවන නව ආකල්ප ඇතිකර ගැනීමට සමාජය අසමත් වෙතොත් පොදු විනාශයකින් කෙළවර වන තැනකට පවා රට තල්ලු වී යා හැකි ය.