එල්. ටී. ටී. ඊ.

April 30, 2000
Publication:
The editorial argues that Anton Balasingham's interview with the Tamil Guardian, setting out the LTTE's conditions for Norwegian-facilitated talks such as the Thimpu principles and a homeland, should be debated seriously rather than sensationalised by Lankadeepa and Divaina. It agrees that both the People's Alliance and the UNP view the national question from a Sinhala standpoint, calls their talks a deception, and condemns the Foreign Ministry's reply as pandering to chauvinism.

එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්යවරයා හා නිල ප්‍රකාශකයා ලෙස සැලකෙන ඇන්ටන් බාලසිංහම් පසුගිය දා බ්‍රිතාන්‍යයේ පළවන ටැමිල් ගාඩියන් පුවත් පත් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දි ඇත. එම සාකච්ඡාවේ සිංහල අනුවාදය බොහෝ සති අන්ත පුවත් පත්වල පළ වූ අතර ඒ ගැන විවිධාකාරයේ උග්‍ර විවේචන ද පළ විය ලංකාදිප හා දිවයින පුවත් පත් සුපුරුදු ලෙස ඒ අතර ප්‍රධාන විය

ඇන්ටන් බාලසිංහම්ගේ ප්‍රකාශය ඔස්සේ වැදගත් ප්‍රශ්න ගණනාවක් මතුකර ඇති බව සත්‍යයකි. එල්ටීටීඊ සංවිධානයේ වත්මන් ස්ථාවරය ඉන් පැහැදිලි වන අතර නෝර්වේ සාකච්ඡා සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි විවෘතව ප්‍රකාශ වී තිබීම ඒ අතර වේ. තිම්පු සාකච්ඡා වල පදනම පිළිගැනීම, උතුරු නැගෙනහිර නිජබිම පිළිගැනීම, රජයේ හමුදා බැරැක්කවලට සීමා කිරීම යන කරුණු එහි සඳහන්ව ඇති ඇත්ත වශයෙන් ම කළ යුතුව ඇත්තේ ඔවුන් ඉදිරිපත් කර තිබෙන එම ස්ථාවරයන් ගැන ආණ්ඩුවේ හා එජාපයේ අදහස් විවෘතව ඉදිරිපත් කරන ලෙස මාධ්‍ය මගින් සාකච්ඡාවක් ආරම්භ කිරීම ය.. ඒ අනුව එම යෝජනා ක්‍රියාවට නැගීම හෝ පිලිගැනීම ගැන විවිධ මත හා ගැටලු තිබිය හැකි බව තේරුම් ගැනීම අපහසු නොවේ. එහෙත් ඒවා බරපතල ලෙස සැලකීමට ගෙන සාකච්ඡා කළ යුතුව ඇත. එසේ නොකොට එම සම්මුඛ සාකච්ඡාවේ දි ලාංකික දේශපාලන තත්ත්වය හා ප්‍රධාන ධනපති පක්ෂෂ දෙක ගැන කර ඇති ප්‍රකාශවල කොටස් උපුටා දක්වමින් හෝ ඒවා තමන්ට අවශ්‍ය ලෙස අතිශයෝක්ති කරණයට භාජනය කිරීම ඉතා බරපතල දේශපාලන සූදුවකි. එවැනි වූ පහත් පෙළේ කටයුතුවලින් සිංහල ජනතාව තුළ තාවකාලික ප්‍රසාදයක් ඇතිකර ගැනීම මෙන් ම සිංහල පත්තරවල අලෙවිය වැඩිකර ගැනීම ඔවුන්ගේ අරමුණ බව තේරුම් ගැනීම අපහසු නොවේ. බාලසිංහම් විසින් සිංහල පාලකයින් හා සිංහල බෞද්ධ භික්ෂෂූන් වහන්සේලා හට ද විවිධ සිංහල ආයතනවලට ද කර ඇති චෝදනා සිංහල මාධ්‍යවල වර්තමාන හැසිරීම්වලින් සනාථවී තහවුරු කෙරෙන බව තේරුම් ගැනීමටවත් හැකියාවක් මෙම උදවියට නොතිබීම කණගාටුදායකය. ඔවුන් ඒ තරමටම සිංහල ජාතිවාදයෙන් අන්ධ වී ඇතිබව පෙනේ.

පොදු පෙරමුණ මෙන්ම එජාපය ද උග්‍ර ජාතිවාදි පක්ෂෂ දෙකක් බව ඇන්ටන් බාලසිංහම් කර ඇති ප්‍රකාශය ගැන සිංහල මාධ්‍ය බෙහෙවින් උරණ වී ඇති ඇත්ත වශයෙන් ලංකාවේ රජය සිංහල බෞද්ධ ධනපති රජයකි. එය එසේ නොවන්නේ යයි තර්ක කළ හැකි වන්නේ මුග්ධයකුට පමණි. එජාපය හා පොදු පෙරමුණ යන ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂෂ දෙක සිංහල ජාතිවාදි දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න දෙස බැලීමට ඒ අනුව හුරු වී සිටිති. ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ධනපති සීමාවන් තුළ හෝ පැහැදිලි ස්ථාවරයකට පැමිණීමට මෙම පක්ෂෂ දෙකට නොහැකි වී ඇත්තේ ඒ නිසා ය. වර්තමාන සාකච්ඡා පිළිබඳ මෙම සාම රංගනය දේශපාලන දෙපිටකාට්ටුවක් බව ඔහු කර ඇති ඊළග ප්‍රකාශනයයි. සිංහල ජනතාවටත්, හෙළි නොකර ආණ්ඩුව හා එජාපය අතර පවත්වාගෙන යන සාකච්ඡා ගැන දෙමළ ජනතාව තබා වාමගාමී සිංහල ජනතාවවත් විශ්වාස නොකරන බව ප්‍රසිද්ධ කරුණකි. එවන් තත්ත්වයක් තුළ ඔහු ඒ ගැන කියා ඇති දේ අරුමයක් වන්නේ කෙසේද? ඇත්ත කරුණ නම් පොදු පෙරමුණ (ශ්‍රීලනිපය) හා එජාපය පසුගිය දශක කීපය පුරාම දෙමළ හා මුස්ලිම් ජනයා පමණක් නොව බහුතර සිංහල ජනතාව පවා අමු අමුවේ රවටා ඇති බව ය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම රැවටීම විශේෂත්වයක් දක්වන අතර සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් ද සත්‍ය තත්ත්වය එයය. ධනපති සිංහල මාධ්‍යය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන පැහැදිලි සත්‍යය ද මෙයයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මහජන දේපොළ පුද්ගලීකරණය නොකිරීම කම්කරු ප්‍රඥප්තියක් නීතිගත කිරීම යන කරුණුවලින් මහජනතාව රැවටූ අතර හිරිකිතයකින් තොරව එජාප වැඩ පිලිවෙලම ක්‍රියාවට නංවමින් සිටී. ඒ අතර නෝර්වේ රජයට බාලසිංහම්ට ප්‍රතිකාර ගැනීමට තමා අවසර දුන් බව රාජ්‍ය නායිකාව ලෙස ජනාධිපතිනිය කර ඇති වැරදි ප්‍රකාශය ගැන සිංහල මාධ්‍ය ගොලුවත රැකීම පුදුම සහගත ය.

“ටැමිල් ගාඩියන්” සගරාව හා පැවති සම්මුඛ සාකච්ඡාවේ දි බාලසිංහම් එල්ටීටීඊ ව්‍යාපාරයේ වර්තමාන ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබීම ඉතාම වැදගත් ය. ඔහුට අනුව තිම්පු සාකච්ඡාවල මූලධර්මවලට අනුව දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ ජාතික අභිලාෂයන් පිළිගැනෙන පදනමකින් සාකච්ඡා ආරම්භ විය යුතු ය. ඇත්ත වශයෙන් තිම්පු සාකච්ඡා පදනම අවම එකගත්වයක් ලෙස පිළි නොගන්නේ නම් සාකච්ඡාවක් නැවත ඇතිවිය හැකි යයි කවුරු හෝ හිතෙන්නේ නම් එය මුළාවකි. එල්ටීටීඊ පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන ටීයූඑල්එෆ් ඇතුළු සියලු දෙමළ දේශපාලන පක්ෂ පවා සාකච්ඡා සඳහා ආරම්භය ලෙස තිම්පු සාකච්ඡා පදනම ඉල්ලා සිටිති. එබැවින් ජාතික ප්‍රශ්නය වර්ධනය වී තිබෙන වර්තමාන අවදිය ගැන නොතකා සිංහල පාඨකයා නොමග යැවීම සඳහා සිංහල ධනපති මාධ්‍ය හිතාමතා කටයුතු කරන බව පෙනේ. රජයේ හමුදා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිටීම ගැන තමන් විරුද්ධ නොවන බව ඇන්ටන් බාලසිංහම් කර තිබෙන ප්‍රකාශය එල්ටිටීඊ පැත්තෙන් වැදගත් පියවරකි. දෙමළ ජනතාවගේ සංස්කෘතික අග නගරය වන යාපනය රජයේ හමුදා යටතේ පවතින තත්ත්වය තුළ ඉහත ප්‍රකාශය සැලකිල්ලට ගත යුතු ය. එහෙත් බාලසිංහම්ගේ කථාව ගැන අනතුරු අගවන ධනපති සිංහල මාධ්‍යකරුවෝ එවැනි වැදගත් කරුණු ගැන කිසිදු සටහනක් නොකිරීමට ප්‍රවේශම් වෙති. තම උවමනාවන් උලුප්පා පෙන්වීම සඳහා කරුණු විකෘති කිරීම්වල යෙදෙන වංචනික සිංහල මාධ්‍යයක් පවතින රටක ජාතික ප්‍රශ්නය අද පවත්නා තත්ත්වයට පත්වීම ගැන පුදුම විය යුතු නැත. ඇත්ත වශයෙන් මෙයින් නැවත වතාවක් පෙන්නුම් කරන්නේ ජාතික ප්‍රශ්නය වර්ධනය වී තිබෙන සංකීර්ණ හා ගැඹුරු ස්වභාවයේ සැබෑ ස්වරූපය පෙන්වා දිමට සිංහල මාධ්‍ය හසුරුවන්නන් සූදානම් නොමැති බවය. සිංහල සමාජය තුළ පවතින ගතානුගතික පටු මානසිකත්වය පෝෂණය කරමින් පහත් ගණයේ විවේචන කරමින් තම බඩගෝස්තරය පුරවා ගැනීමට මෙම මහත්වරු ක්‍රියා කරන්නේ ඒ නිසා ය. දෙමළ භාෂාව කථා කරන ජනයා කෙසේ වෙතත් මෙම මහත්වරුන්ට සිංහල ජනතාවත් වැඩි කලක් රැවටීමට නොහැකි වන බව අවධාරණයෙන් කිව යුතු ය.

සිංහල මාධ්‍ය අඳබාල හැසිරීම් සමග චන්ද්‍රිකා ආණ්ඩුවේ හැසිරීම් ද දෙවෙනි නොවන උතුරේ තත්ත්වය තීරණාත්මක තැනකට පත්වීම සමග නැගී එන ජාතිවාදි හැගීම් ඉදිරියේ ආණ්ුවේ හැසිරීම ඉතාමත් ඛේදජනක ය. පසුගිය දා ඇන්ටන් බාලසිංහම්ගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කර තිබෙන ප්‍රකාශනයෙන් ඒ බව ඉතාමත් පැහැදිලි විය බාලසිංහම්ගේ ප්‍රකාශය මගින් මතුකර තිබෙන තර්කානුකූල ප්‍රශ්න ගැන කිසිවක් නොකියා සිංහල ජාතිවාදි හැගීම් තිබෙන ජනතාවගේ සිත පිනවීම සඳහා පහත් මට්ටමේ ප්‍රකාශයක් කිරිමෙන් ආණ්ඩුව පත් වී තිබෙන තත්ත්වය ප්‍රදර්ශනය කර ඇත. චන්ද්‍රිකාගේ ආණ්ඩුව පසුගිය වසර පහ හය තුළම ක්‍රියා කළේ පිට කොන්දක් නැති සෙවල ආණ්ඩුවක ස්වරූපයෙන් ය. එහි කිසිම වෙනසක් සිදු වී නොමැති බවත් යෝජිත ව්‍යවස්ථා සංශෝධන හා සාකච්ඡා හුදු රැවටිල්ලක් බවත් නැවත සනාථ වී ඇත එම නිසා ආණ්ඩුව හා බහුතර සිංහල මාධ්‍ය අතර කිසිම වෙනසක් නොමැති අතර අඩු දියුණු මානසිකත්වය තම පැවැත්ම සඳහා යොදාගන්න ආණ්ඩුවකින් ජාතික ප්‍රශ්නය වැනි සංවේදි හා ගැඹුරු ප්‍රශ්නයකට සංක්‍රමණීය මට්ටමේ හෝ විසඳුමක් බලාපොරොත්තු විය නොහැකි බව කිව යුතු ය.