52 වැනි නිදහස හා මරණ බිය

February 6, 2000
Publication:
The editorial notes that the 52nd independence anniversary arrives as fear of death returns, though ending that fear was a slogan of the 1991 impeachment movement and of the rulers now in power. It lists death threats, murders of local opposition activists, threats to journalists and rights activists, and attacks on a famous actress and a singing couple, and urges all sections to unite as artists did to defeat this campaign before the parliamentary election.

නිදහසේ 52 වැනි සංවත්සරය සමරන්නට යන්නේ යළි මරණ බිය සමාජය වෙත කාන්දු කෙරෙමින් තිබෙන අවස්ථාවක ය. සමාජය කෙරෙහි පැළපදියම් වී තිබූ මරණ බිය තුරන් කිරීම 1991 වසර අවසානයේ මතුවූ දෝෂාභියෝග ව්‍යාපාරයේ දි ප්‍රධාන සටන් පාඨයක් වී තිබුණි. ඉන්පසු මරණ බිය තුරන් කිරිමේ අරමුණ ඇතිව බලයට පැමිණ පාලක පිරිසක් විසින් ම දැන් නැවත වරක් සමාජය කෙරෙහි මරණ බිය වපුරන තත්ත්වයකට පත්ව තිබීම කොතරම් ඛේදජනක ද?

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ විරුද්ධ පක්ෂ තිබිය යුතුවා සේ ම විරුද්ධ මතවාදයන් ද තිබිය යුතු ය. විරුද්ධ පක්ෂයට සම්බන්ධ වීම හෝ විරුද්ධවාදි මත දැරීම දඬුවම් ලැබිය යුතු අපරාධයක් ලෙස සැලකිය නොහැකි ය?

එහෙත් බලයේ සිටින පාලක පක්ෂය සිතන මතන ආකාරය ඊට වෙනස් ය. ඔවුන් සිතන්නේ තමන් හැර විරුද්ධ පක්ෂ නොතිබිය යුතු බව ය. විරුද්ධ මතවාදයන් නොතිබිය යුතු බව ය. තමන් ගැන හොඳ මිස නරක කතා නොකළ යුතු බව ය.

තමන්ගේ දේශපාලනයට අභියෝගයක් විය හැකි විවිධ මට්ටම්වල පුද්ගලයින්ට මරණ තර්ජන එල්ල කෙරෙමින් පවතී. ප්‍රාදේශීය මට්ටමේ විරුද්ධවාදි ක්‍රියාකරුවන් අභිරහස් ලෙස ඝාතනයට ලක් කෙරෙන සංසිද්ධීන් ද තැනින් තැන ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ නොවන ජනමාධ්‍යවලට තර්ජනය කෙරෙමින් පවතී. ආණ්ඩුව විවේචනය කෙරෙන ජනමාධ්‍යවේදින් වෙත ද විවිධ මාර්ගවලින් තර්ජනය කෙරෙමින් පවතී. විරුද්ධ පක්ෂයට ආධාර කළේ යයි කියන එක් නමගිය නිළියකගේ නිවස බිමට සමතලා කළේ ය. තවත් එවැනි ගායක යුවළක් නොමරා මරණ තත්ත්වයකට පත් කළේ ය. මානව හිමිකම් ක්ෂේත්‍රයේ නමගිය ක්‍රියාකරුවන් වෙත ද තර්ජන එල්ල කෙරෙමින් පවතී. මුළු මහත් සමාජය ම බියෙන් නිහඬ කරවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තමන් කැමති ප්‍රතිඵලයක් දිනාගැනීම ආණ්ඩුව දියත් කොට ඇති මේ සාහසික ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ වී තිබෙන බව පැහැදිලි ය.

ආණ්ඩුව දියත් කොට තිබෙන මෙම තුච්ච වැඩපිළිවෙළ පරාජය නොකළහොත් රට තුළ බිහිසුණු ඒකාධිපති පාලනයක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. එය දැනට අත්පත් කරගෙන ඇති සියලු නිදහසයන්ගේ මළගම වීම ද නොවැළැක්විය හැකි ය.

රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළට එල්ල කෙරුණු ප්‍රහාරයේදි කලාකරුවන් බියගුල්ලන් ලෙස හිස් ලු ලු අත පළා යනවා වෙනුවට තිබෙන දේශපාලන භේද නොසලකා එක්සත්ව නැගී සිටිමින් එයට සිය විරෝධයත්, පිළිකුලත් පළකර සිටියෝ ය. මතුවෙමින් තිබෙන මේ භීෂණයට එරෙහිව සියලු අංශ ඒ ආකාරයෙන් එකහඬකින් නැගී සිටී නම් හා ඒ සියලු අංශ මරණ බිය තහවුරු කිරීමට ඉඩ නොදිමේ අරමුණ ඇතිව පොදු එකගත්වයකින් යුතුව ක්‍රියාකරයි නම් ආණ්ඩුව ක්‍රියාවට නගා තිබෙන මේ භීෂණ වැඩපිළිවෙළ පරාජය කිරීම ද දුෂ්කර නොවනු ඇත්තේ ය. දැනුවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගමින් 52 වැනි නිදහස අර්ථවත් කරගත හැකිවනු ඇත්තේ ද ඒ ආකාරයෙන් ක්‍රියාකිරීමට හැකි වේ නම් පමණ ය.