රූකාන්ත ගුණතිලක හා චන්ද්රලේඛා පෙරේරා යන ජනප්රිය ගායක යුවළ හිංසාවට ලක් කිරිමේ සිද්ධිය ආණ්ඩුව විග්රහ කරමින් තිබෙන්නේ පුද්ගලික මංකොල්ලකෑමේ සිද්ධියක් ලෙස ය. අනෝජා වීරසිංහගේ මොණරාගල නිවසට පහරදි එය පොළොවට සමතලා කිරිමේ සිද්ධිය ආණ්ඩුව විග්රහ කර ඇත්තේ ද පුද්ගලික කෝන්තරයක ප්රතිඵලයක් ලෙස ය.
රූකාන්තගේ නිවසට කඩා වැදුණේ ඇත්ත මංකොල්ලකරුවන් පිරිසක් නම් මංකොල්ල කනවාට වඩා දේශපාලන ප්රශ්න කිරීමකට උනන්දුවක් දැක්වූයේ ඇයි ද යන්න ප්රහේළිකාවකි. අනෙක් අතට මංකොල්ලකරුවන් තුළ මේ දෙපළගේ කොණ්ඩා කැපීමේ අරමුණක් ඇතිවීම හා ඒ සඳහා සුදුසු කතුරක් රැගෙන එන්නට වගබලා ගැනීම ද ප්රහේළිකාවකි.
“ලක්බිමේ” ශ්රී ලාල් ප්රියන්ත පැහැරගෙන ගිය අවස්ථාවේදි ද ඔහු පැහැරගෙන ගිය පිරිස ඔහුට තඩි බානවාට අතිරේක වශයෙන් ඔහුගේ කොණ්ඩය ද තැනින් තැන කපන්නට අමතක නොකළේ ය. එහිදී ඔවුන් කොණ්ඩය කැපීම පිණිස පාවිච්චි කළ කතුර ශ්රී ලාල්ගේ කාමරයෙන් ලබාගත් එකක් නොව ඔවුන් එහි එනවිට රැගෙන ආවකි. රුචිකත්වයේ ස්වභාවය අනුව බලන විට සමහරවිට රූකාන්ත යුවළගේ කොණ්ඩය කපන්නට ඇත්තේ ශ්රී ලාල්ගේ කොණ්ඩය කැපූ පුද්ගලයාම විය හැකි ය.
ශ්රී ලාල් ප්රියන්ත පැහැරගෙන යාමේ සිද්ධිය ගැන ද සාධාරණ පරික්ෂණයක් කරන බව ආණ්ඩුව පුන පුනා කීවත්, සාධාරණ පරීක්ෂණයකින් පසු ඊට සම්බන්ධ අය නීතිය ඉදිරියට පමුණුවනවා වෙනුවට සිදුවූයේ දෙවැනි කැරැල්ලේ ඇතිවූ සිදුවීම් කිහිපයකට ශ්රී ලාල්ගේ ඇති සම්බන්ධයක් ඉදිරියට ගනිමින් ශ්රී ලාල් අත්අඩංගුවට ගැනීම ය. ශ්රී ලාල් පැහැරගෙන ගියේ කව් ද යන්න තවමත් අභිරහසකි.
රූකාන්තගේ නිවසට කඩා වැදුණු පිරිස රූකාන්ත පාවිච්චි කළ සෙලියුලර් දුරකතනය ද රැගෙන යාමට අමතක නොකළේය. මීට පෙර 99 ජූලි 15 වැනිදා එජාප විරෝධතා පෙළපාලිය වාර්තා කරන්නට ගිය ඡායාරූප ශිල්පීන්ට එල්ල කරන ලද පහරදිමේදි “ලක්බිමේ” ඡායාරූප ශිල්පී බුද්ධික වීරසිංහගේ කැමරා උපකරණ පැහැර ගනු ලැබු අවස්ථාවේදි ද ඔහු සතුව තිබූ සෙලියුලර් දුරකතනය පැහැර ගනු ලැබී ය. තම දුරකතනය ගැන සෙවිල්ලෙන් සිටි බුද්ධික, දුරකතනය තිබෙන පුද්ගලයා දැනගන්නට ලැබී පොලිසියට පැමිණිලිකොට දුරකතනය සමග පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම පුද්ගලයාට එම දුරකතනය ලැබී තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකුගෙන් බව පොලිස් පරික්ෂණවලින් අනාවරණය වුවත්, ඉහළින් සිදුවූ බලපෑම් නිසා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවී ය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් වී නම්, ඡායාරූප ශිල්පීන්ගේ නැතිවූ කැමරා උපකරණ තොගය ඇත්තේ කොහේදැයි සොයා ගැනීමට ද පුළුවන්වන්නට ඉඩ තිබුණි.
දේශපාලන වුවමනා මත පිහිටා බියගැන්වීමේ අරමණින් මෙවැනි පහරදිම් ගණනාවක් මීට පෙර ද සිදුවී ඇතත්, එවැනි සමහර පහරදිම් කිසිවක් හෙළිනොවූ අභිරහස් වශයෙන් පවතී.
97 පෙබරවාරී 15 වැනි දින එජාප මන්ත්රීවරයකු හා ජනාධිපතිනියගේ පැරණි සමීපතම දේශපාලන සගයකුද වූ සරත් කෝන්ගහගේ මහතාට අයත් අවන්හලකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ මැර පිරිසක් අවන්හලේ ආහාර ගනිමින් සිටි සියලුදෙනා දණ ගස්සවා තබා එහි බිත්තිවලට වෙඩි තබා අවන්හලේ තිබූ මුළු මුදල් ප්රමාණය ද රැගෙන පලා ගියේය.
ඉන්පසු “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංග ගමන් ගනිමින් සිටි වාහනය නතර කොට ඔහු එළියට ගෙන ඔහුට පහර දුන්නේ ය. තවත් වරක් ඔහුගේ නිවසට වෙඩි තැබුවේ ය. මේ පහරදිමේ සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් බවට ලසන්ත වික්රමතුංගට දැනගන්නට ලැබී ඇති පුද්ගලයන්ගේ නම් පොලිසියට දැනුම් දි ඇතත්, කවර හේතුවක් නිසා හෝ පොලිසිය ඒ ගැන කිසිම පරීක්ෂණයක් කර නැත.
ඉන් තවත් කලකට පසුව සිදුවූ “සටන” කර්තෘ රෝහණ කුමාර ඝාතනය සේ ම කුමාර පොන්නම්බලම් ඝාතනය ද හෙළි නොවූ අභිරහස් ලෙස පවතී.
1994 ජනාධිපතිවරණයේදී ප්රචණ්ඩත්වයේ මූලයන් පිළිබඳව චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සිය නමින්ම අපූරු පුවත්පත් දැන්වීමක් පළ කළේ ය.
එම අපූරු දැන්වීමේ අඩංගු වී තිබුණු පණිවුඩය මෙසේ ය.
“දේශපාලන ප්රචණ්ඩත්වය අප රට හමුවේ තිබෙන ප්රධානම අභියෝගයයි. රාජ්ය ත්රස්තවාදයත්, රාජ්ය විරෝධී ත්රස්තවාදයත් විසින් මේ දක්වා ප්රයෝජනවත් රට වැසියන් දස දහස් ගණනකගේ ජීවිත රටට අහිමි කර තිබේ.
තවත් දස දහස් ගණනක් අතපය නැති, උන් හිටි තැන් නැති දෙමාපියන් හෝ දරුවන් නැති අසරණයන් බවට පත්කොට තිබේ.
පැරණි ක්රමය තුළ රජය, සමාජ දුක්ගැනවිලිවලට ඇහුම්කන් නොදෙන, එවැනි දුක්ගැනවිලි මතුවන අවස්ථාවලදි ඒවා ප්රචණ්ඩ ලෙස මර්දනය කරන මර්දන ආයතනයක් ලෙස පෙනී සිටියේ ය.
රාජ්ය ප්රචණ්ඩත්වයට ප්රචණ්ඩත්වයෙන් පෙරළා පහර දෙන රාජ්ය විරෝධී ත්රස්තවාදි ව්යාපාර මතුවීම එහි සෘජු ප්රතිඵලයක් විය.
රට තුළ ඝාතන සංස්කෘතියක් මතුවී මුල් බැසීම සිදුවූයේ එම ප්රවණතා දෙක අතර පැවැති ගැටුමේ ප්රතිඵලයක් වශයෙනි.
දැන් අප ඉදිරියේ මතුවී තිබෙන ප්රශ්නය මෙයයි.
1 රජය තවදුරටත් එකට එක කරන ප්රතිපත්තියක් මත පිහිටා ඝාතන හෝ ලේ වැගිරිම් සාමාන්ය දෙයක් ලෙස පවතින්නට ඉඩ හරීනවාද?
2 එසේ නැත්නම් පළමු කොට රජය රාජ්ය ත්රස්තවාදයේ මග අත්හරිමින් සමාජ දුක් ගැනවිලිවලට විසඳුම් දෙන හා විරුද්ධකම් පෑමට උනන්දුවක් දක්වන අයට සාමකාමී ලෙස විරුද්ධකම් පෑමට ඉඩ දෙන ප්රතිපත්තියක් තුළ රාජ්ය විරෝධී ත්රස්තවාදයන්ගේ පැවැත්මට තිබෙන පදනම අහෝසි කරනවා ද?
පැරණි පාලනය ගමන් ගන්නේ පළමු මගේය.
අප ගමන් ගනිමින් සිටින්නේ දෙවැනි මගේය.
මතුවී තිබෙන අභියෝග ඉදිරියේ නොසැලී අරඹා තිබෙන නිවැරදි මගේ ඉදිරියට යන ප්රතිපත්තියක් තුළ දේශපාලන ප්රචණ්ඩත්වය මුළුමණින් අහෝසි කිරීම අපගේ අභිලාෂයයි.
චන්ද්රිකා කුමාරතුංග
දැන්වීමට ඇතුළත් දේශපාලන පණිවුඩය කොතරම් හරබර ද? එහෙත් ඇය අද ගමන් ගනිමින් සිටින්නේ තමන් ගමන් ගන්නා බවට එම දැන්වීමෙන් ප්රතිඥා දුන් මගෙහි නොව හරියටම ඊට ප්රතිවිරුද්ධ මගෙහි ය. සියලු ආකාරයේ ත්රස්තවාදයන්ගේ පදනම් අහෝසි කිරීමට හේතුවන මගක නොව අලුත් අලුත් ත්රස්තවාදයන් බිහිකිරීමට හේතුවන මාවතක ය.
ආණ්ඩුවකට විරුද්ධ වීමට කැමති අයට පහරදිමකට හෝ පලිගැනීමකට ලක්වීමේ බියකින් තොරව විරුද්ධ වීමට ඉඩ දෙන්නෙමුයි කියන ප්රතිඥාව කිසිම අර්ථයක් නැති දෙයක් බවට හැරි පවතී. විරුද්ධ පක්ෂවල ප්රමුඛ අයට, විරුද්ධ මත දරන ජනමාධ්යවේදින්ට පමණක් නොව සමනළයන් වැනි කලාකරුවන්ට ද ජීවත්වන්නට සිදුවී ඇත්තේ මරණ බියෙනි. එදා එදිරවීර සරච්චන්ද්රයන් පසුපස හඹා ආ භීෂණයේ අවතාර දැන් අනෝජා වීරසිංහ, රූකාන්ත ගුණතිලක, චන්ද්රලේඛා පෙරේරා, ධර්මසිරි බණ්ඩාරනායක වැනි කලාකරුවන් පසුපස හඹායමින් සිටී. මෙහි කෙළවර කුමක් විය හැකිද? ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද මේ හා සමාන ප්රතිපත්තියක් ක්රියාවට නගන ලද අතර මුළු රටම ලේ විලක් බවට පත්වීම එහි අවසාන ප්රතිඵලය විය. දැන් ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය කරන්නට යන්නේ ද එයම නොවේ ද?
2000 අප්රේල් 02 ඉරිදා
ප්රචණ්ඩ කැරැල්ලක් වෙනුවට ප්රජාතන්ත්රවාදී කැරැල්ලක්
(71 කැරැල්ලට 29 වසරක් පිරිම නිමිත්තෙන් ලියන ලද ලිපියකි)
ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද 71 අප්රේල් කැරැල්ලේ 29 වැනි සංවත්සරය යෙදි තිබෙන්නේ අප්රේල් 5 වැනිදාටය. 71 අප්රේල් කැරැල්ල රට පුරා එකම අවස්ථාවකදි පොලිසිවලට පහර දි බලය අල්ලා ගැනීමේ අරමුණ ඇතිව දියත් කරන ලද කැරැල්ලක් විය. තරුණ කැරලිකරුවෝ උද්යෝගිමත් එහෙත් නිසි යුද පුහුණුවකින් තොර පිරිසක් වූහ. තිබුණු අවි ආයුධ ද ප්රාථමික විය. බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළට ආවේණිකව තිබූ මේ සරල බව නිසාම වැඩි අපහසුවකින් තොරව කැරැල්ල මර්දනය කිරීමට එවකට බලයේ සිටි ශ්රීලනිපය ප්රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව සමත් විය.
එය නිදහසින් පසු ආයුධ සන්නද්ධව නැගිටීමක් මගින් රාජ්ය බලය අල්ලා ගැනීමට දරන ලද ප්රථම ප්රයත්නය විය. එම කැරැල්ල නිසා ද ජීවිත විනාශයක් ඇති වුවත් ඇතිවූ ජීවිත විනාශයේ ප්රමාණය ඉන් අවුරුදු 18කට පසුව ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද දෙවැනි කැරැල්ල විසින් ඇති කරන ලද ජීවිත විනාශය තරම් විශාල නොවීය. කැරලිකරුවන් අතින් මියගිය සංඛ්යාව 50කට අඩු විය. පොලිසිය හා හමුදාව අතින් මියගිය සංඛ්යාව 2500ක් තරම් විය හැකිය. කැරැල්ල විසින් ජීවිතක්ෂයට පත්කර තිබුණේද ප්රමුඛ නායකයන් තිදෙනකු පමණය.
77දි නව රජයක් (එජාප ආණ්ඩුවක්) බලයට පත්වීමෙන් පසුව බන්ධනාගාරවල සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරන අවස්ථාව වනවිට නැවත ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඉදිරියට යන්නට ඉතිරිව සිටියේ ජීවතුන් අතර ඉතිරි වී සිටි ප්රමුඛ නායකයින් අතරින් කිහිපදෙනකු පමණය. පැරණි අනුගාමිකයින් වැඩි පිරිසක් ද, ජවිපෙ අතහැර තිබුණේය. එහෙත් පැරණි අය නැතිකමේ අඩුව ජවිපෙට ඇදි එන නවකයින්ගෙන් පහසුවෙන් පිරවිණ . ශ්රීලනිප හා සාම්ප්රදායික වාමාංශික පක්ෂ දෙක සභාගයක් ලෙස ක්රියාකරමින් තමන් මර්දනයට ලක් කිරීම හේතු කොටගෙන ජවිපෙ නායකයින් තුළ එම පක්ෂ කෙරෙහි වෛරසහගත ආකල්පයක් තිබූ අතර, අත්අඩංගුවේ සිටි තමන් නිදහස් කිරීම හේතු කොටගෙන එජාප ආණ්ඩුව කෙරෙහි එක්තරා ප්රමාණයක හිතවාදි ආකල්පයක් ප්රකාශ විය. මේ නිසාම බලයේ සිටින එජාප ආණ්ඩුව ශ්රීලනිප බෙලහීන කිරීම පිණිස ජවිපෙ බළල් අතක් ලෙස පාවිච්චි කරන තත්ත්වයක් පැවති අතර, එජාප සමග එකතුවී ශ්රීලනිප බෙලහීන කරන ක්රියාමාර්ගයක් තුළ තමනට පහසුවෙන්ම එජාපයට තිබෙන විකල්පය බවට පත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ද කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි.
එහෙත් ආණ්ඩුව හා එජාපය අතර, පැවති මේ අනියම් සහයෝගිතා වැඩපිළිවෙළ බොහෝ කලක් නොපැවතුණි. තමන් විසින්ම 83 ජූලිවලදි ඇති කළ දෙමළ විරෝධී කලබල දුරදිග යන තත්ත්වයක් ඇතිවූ කල ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එහි වරද ජවිපෙ මත පටවා ජවිපෙ තහනමට ලක් කළේය. තමන්ට එරෙහිව ඇති කරන ලද අසාධාරණ තහනමට එරෙහිව ප්රජාතන්ත්රවාදීව නැගී සිටින්නට උත්සාහ කරනවා වෙනුවට ජවිපෙ රහසිගත දේශපාලනයකට තල්ලු වී ගියේය.
ඉන් වසර ගණනාවකට පසු මහජනතාවගේ විරෝධයට හේතුවී තිබුණු ඉන්දු-ලංකා ගිවිසුම ආධාරයක් කරගනිමින් ජවිපෙ අලුත් ආකාරයක කැරැල්ලක් කරළියට ගත්තේය. තෝරාගත් විරුද්ධවාදින් ඝාතනයට ලක් කරන වැඩපිළිවෙළක් මගින් රජය සේම සමාජය ද බියගන්වා බලය ලබාගැනීම එහි අරමුණ වී තිබුණි.
ජවිපෙ විසින් දියත් කරන ලද මේ කැරැල්ලට ආවේණික විශේෂ ස්වභාවය නිසා පළමු අදියරේදි ආණ්ඩුව අන්ද මන්ද තත්ත්වයකට පත්ව සිටියත්, ඉක්මණින් ආණ්ඩුව ද සමාන ආකාරයකින් එකට එක කරන තත්ත්වයකට යොමුවීම නිසා විශාල පරිමාණයෙන් ලේ වැගිරෙන තත්ත්වයක් රටේ ඇතිවිය.
88 ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුව සේ ම විරුද්ධ පක්ෂ ද සාහසික කැරලිකාර මගකට යොමුවී සිටි ජනතා විමුක්ති පෙරමුණ සමග එකගතාවක් ඇතිකර ගත යුතු යැයි සිතන තැනකට තල්ලු වී සිටියත් ජවිපෙ ලැබුණු අවස්ථාව ප්රයෝජනයට නොගත්තේය. තමන් ආරම්භ කොට තිබුණු සාහසික වැඩපිළිවෙළ ජයග්රාහී අවසානයක් කරා ගෙන යා හැකිවනු ඇතැයි ජවිපෙ විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබුණි.
ජනාධිපතිවරණයෙන් විපක්ෂය ජය ලබනවා දකින්නට ජවිපෙ කැමති නොවීය. මහජන විරෝධයට හේතුවී සිටි ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා ජය ලබන තත්ත්වයක් තුළ ශ්රීලනිප වටා ගොනුවී සිටින ජනතාව ද තමන් වෙත ගලා ඒම මගින් තමන්ගේ ප්රචණ්ඩ විප්ලවය ජයග්රාහී අවසානයක් කරා ගෙන යාමට හැකිවනු ඇතැයි කල්පනා කළ ජවිපෙ විපක්ෂයේ අපේක්ෂිකාවට ජය ලැබිය නොහැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට සිය බලය පාවිච්චි කළේය.
ප්රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසුව තමන්ගේ ජයග්රහණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබී තිබුණු අනියම් සහයෝගයට දක්වන ප්රති උපකාරයක් වශයෙන් හෝ කැරලිකාර තරුණ පරපුර කෙරෙහි පැවති සානුකම්පිත හැගීමක් නිසා හෝ ජවිපෙ සමග එකගතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කළත්, ජවිපෙ තමන්ට ලැබුණු ඒ අවස්ථාව ද ප්රතික්ෂේප කළේය. එජාප අපේක්ෂකයකු ජය ලබා සිටි තත්ත්වයක් තුළ අතරමැදි සමාදානයකට නොගොස් තමන්ගේ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් දක්වා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ඇතැයි කල්පනා කළ ජවිපෙ තමන්ගේ සාහසික වැඩපිළිවෙළ තව තවත් තීව්ර කරන ප්රතිපත්තියක් පවත්වාගෙන ගියේය. ඊට එරෙහිව ප්රේමදාස ජනාධිපතිවරයා ද උපරිම ලෙස බලය පාවිච්චි කරන ප්රතිපත්තියක් තුළ රටේ ලේ වැගිරෙමින් තිබුණු පරිමාව ද ඉහළ ගියේය. ජනතා විමුක්ති පෙරමුණ බලය අල්ලා ගැනීමට ආසන්න තැනකට එමින් සිටින අවස්ථාවක මුළු වැර යොදා ඊට පහර දෙන ප්රතිපත්තියක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ද සාහසික ලෙස මර්දනය කිරීමට ප්රේමදාස ආණ්ඩුව සමත් විය.
කැරැල්ල අවසාන වශයෙන් මර්දනය කරන විට කැරලිකරුවන් අතින් හයදහසක් පමණ දෙනා ද, ආණ්ඩුවේ නිල හා නිල නොවන අතුරු හමුදා මගින් 40,000ක් පමණ දෙනා ද ජීවිතක්ෂයට පත්විය. කැරැල්ලේ ප්රමුඛ නායකයින් අතරින් එක් අයකු හැර ජවිපෙ නිර්මාතෘ රෝහණ විජෙිවීර ඇතුළු අන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය. ජවිපෙ ක්රියාකාරි තරුණ, තරුණියන් ද වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
ඒ සියල්ලෙන් පසුව ජවිපෙ නැවත 94දි දේශපාලන කරලියට එන්නේ ආයුධ සන්නද්ධ කැරැල්ලක් වෙනුවෙන් පෙනී සිටින ව්යාපාරයක් ලෙස නොව, ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින ව්යාපාරයක් වශයෙනි. එම ව්යාපාරය වෙනුවෙන් ඉදිරියට එන නායකයින්ට දෙවැනි කැරැල්ල සමග කිසියම් සම්බන්ධයක් තිබුණා විය හැකි වුවත්, ඔවුන් කවර මට්ටමකින්වත් දෙවැනි කැරැල්ලේ ප්රමුඛ නායකයින් නොවූ අතර, ඒ අර්ථයෙන් ඔවුන් අලුත් පරපුරක නායකයන් ලෙස සැලකිය හැකිය.
දෙවැනි කැරැල්ල සමාජ ජීවිතය කෙරෙහි ඇති කර තිබූ අතිවිශාල පීඩාව නිසාම එයින් තවත් වසර කිහිපයකට පසුව එම කැරැල්ලට උරුමකම් කියන දේශපාලන ව්යාපාරයක් ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්යාපාරයක් ලෙස පෙනී සිටින විට ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අභිලාෂයන් සැකයට ලක්වීම සේ ම, පැරණි ගොරහැඩි ක්රියාකාරකම් ඔවුන්ගේ විවේචනයට ලක්වීම ද නොවැළැක්විය හැකිවිය. ඔවුන් අතීත ක්රියාකාරකම් ගැන ප්රසිද්ධ ස්වයං විවේචනයක යෙදිමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළත්, අතීත ක්රියාකාරම් අළලා එල්ලවෙමින් තිබුණු හැඩි දෑඩි විවේචන ඔවුන්ගේ සිතුම්, පැතුම් කෙරෙහි බලපෑවේය. ප්රසිද්ධියේ නොපිළිගත්තත්, ප්රචණ්ඩ විප්ලවයක් තමන් කෙරෙහි සේ ම සමාජය කෙරෙහි ඇති කරන බලපෑම විනාශකාරී බව ඔවුන් ඒත්තු ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
දැන් ඔවුන් අධිෂ්ඨානශීලීව ප්රජාතන්ත්රවාදී ආකාරයකින් කරන අත්හදා බැලීමක යෙදි සිටින බවක් පෙන්නුම් කරයි. මැතිවරණ තුනකදිම තමන්ට එරෙහිව එල්ල වූ ප්රචණ්ඩ ක්රියාකාරකම්වලට එරෙහිව සුපුරුදු ලෙස පෙරළා පහර දෙන ප්රතිපත්තියකට නොගොස් ඒවා ඉවසීමෙන් දරා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. එය ප්රශස්ත නැඹුරුවකි. ඒ නැඹුරුව විශ්ව විද්යාල පද්ධතිය දක්වා ම, ගෙනයාම ඔවුන්ගේ වගකීමකි.
ප්රජාතන්ත්රවාදී ක්රියාවලියකට මාරුවීමෙන් පසුව ප්රජාතන්ත්රවාදී පද්ධතිය තුළ කිසියම් ප්රමාණයකට සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී ඇතත්, ප්රජාතන්ත්රවාදී ක්රියාවලිය තුළ, ප්රජාතන්ත්රවාදී ආකාරයේ විප්ලවකාරි පෙළගැසීමක් මතුකර ගැනීමට තවමත් ඔවුන් සමත් වී නැත. සාම්ප්රදායික දේශපාලන පක්ෂ විසින් ප්රජාතන්ත්රවාදී දේශයක ඇතිකර තිබෙන විකෘතියට එරෙහිව බලවත් ලෙස නැගී සිටින වාමාංශික ප්රජාතන්ත්රවාදී බලවේගයක් ලෙස මතුවීමට ඔවුන් තවමත් සමත් වී නැත.
යුක්තිය ඉටුකර ගැනීම සඳහා වන බලවත් අධිෂ්ඨානය හා විප්ලවකාරි ආකල්ප ප්රජාතන්ත්රවාදී ආකාරයකින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්යාපාරයකට එකතු කර ගැනීම මගින් ආයුධ සන්නද්ධ බලහත්කාරි කැරැල්ල සාමකාමී හා ප්රජාතන්ත්රවාදී කැරැල්ලක් බවට හැරවිය හැකිය. නෙල්සන් මැන්ඩෙලාගේ දකුණු අප්රිකානු කොංග්රසය යුක්තිය සඳහා වන අධිෂ්ඨානය හා විප්ලවකාරි අවේගයන් ප්රජාතන්ත්රවාදී ආකාරයකින් ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට එකතු කරගැනීම මගින් නව ශක්තියකින් යුතුව ක්රියා කරන ප්රජාතන්ත්රවාදී ව්යාපාරයක් බවට හැරවීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණට ද සාර්ථක ප්රතිඵල අත්පත් කරගත හැකිවනු ඇත්තේ එවැනි විප්ලවකාරී ප්රවේශයක් ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට එකතු කිරීමට සමත් වේ නම් පමණය.