රාජ්‍ය මාධ්‍යයේ ඉහඳ පණුවෝ

January 30, 2000
Publication:
Written in Ivan's own voice, the piece answers the sustained attacks on him and Ravaya by state media and government-funded 'jungle papers'. He describes how Bennet Rupasinghe and Sujeewa Dissanayake won editorships at Dinamina and Silumina by serving their political master, the minister's contemptuous nicknames for them, and a former regional correspondent now heading the smear unit. He says he lives on his Ravaya salary and declined posts the government offered.

නීතිවිරෝධයන් සමග ක්‍රියා කිරිමේදි, ප්‍රතිවිරෝධතාවන් අතර තිබෙන ප්‍රධාන ප්‍රතිවිරෝධය හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ මා ඕ සේතුන්ය. දේශපාලනයේදි විවිධ සතුරන් අතර සිටින ප්‍රධාන සතුරා තෝරා බේරාගෙන ඔහු තනිකොට, මුළු ශක්තිය යොදා ඔහුට පහර දෙන ලෙස මා ඕ සේතුන් අවධාරණය කරයි.

ආණ්ඩුවේ සියලු ජනමාධ්‍යයන් ද ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව හා ලක්හඬ, ලේක්හවුසිය මගින් පළ කෙරෙන දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස් හා ඔබ්සවර් යන පුවත්පත් හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ වියදමින් මරදානේ විපුලසේන මාවතේ අංක 4/1 දරන ස්ථානයේ පවත්වාගෙන යන කැළෑ පත්තර දෙපාර්තමේන්තුව මගින් පළ කරන ආණ්ඩුවේ කැළෑ පත්තර) මටත්, මාගේ කර්තෘත්වයෙන් පළකරනු ලබන “රාවය” පුවත්පතටත් දිගින් දිගට පහර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ මා ඕ සේතුන්ගේ එම න්‍යායට අනුව විය හැකිය. ආණ්ඩුවේ ජනමාධ්‍යවලට අනුව ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ දේශද්‍රෝහියා “රාවය” කර්තෘ වික්ටර් අයිවන් ය. දුටු ඕනෑම මොහොතක චප්ප කොට මරා දැමිය යුතු තරම් අධම ගණයේ මිනිසෙකි.

මා කෙරෙහිත්, “රාවය” කෙරෙහිත් වෛරසහගත ආකල්පයක් ඇති කිරීමට හේතුවන ලෙස සිය පෑන් හෝ කටවල් හසුරුවන වැඩි පිරිසක් මම හඳුනමි. ඔවුන් සිය දේශපාලන ස්වාමියාගේ නිල ගැන මනා වැටහීමක් ඇති අය වන අතර, සිය ජීවිත සරුසාර කරගැනීම සඳහා එසේ කිරීමට ඔවුන්ට බල කෙරි ඇති බව ද මම දනිමි. දිනමිණේ “විනිවිද” ලියන බෙනට් රූපසිංහට ජනාධිපතිවරණයත් සමග දිනමිණේ කර්තෘ කමට උසස්විය හැකිවූයේ දිනමිණේ අන් අය විශ්මයෙන් බලා සිටින අවස්ථාවක දේශපාලන ස්වාමියාගේ වුවමනාව අනුව හොඳම වැඩ කොටසක් කරන ලද පුද්ගලයා වීම නිසා ය. ජනාධිපතිවරණයෙන් පසුව සූජීව දිසානායකට සිළුමිණේ කර්තෘ කමට ඒමට හැකිවුයේ ද, දිනමිණේ බෙනට් රගපෑ භූමිකාව සිළුමිණේ රගපෑ එකම පුද්ගලයා සුජීව වූ නිසාය.

ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් තෝරාගත් පිරිසක් සතියකට හෝ සති දෙකකට වරක් ජනමාධ්‍ය ඇමතිවරයා තමන් වෙත කැඳවා කුමක් කළයුතුද යන්න සාකච්ඡා කරන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මේ හමුවේදි ඇමතිවරයා අන් සියලු දෙනා ඉදිරියේ සුජීව අමතන්නේ “මාගේ පක්කලියා” යන ආදර නාමයෙනි. මහින්ද අබේසුන්දර අමතන්නේ “මාගේ සක්කිලියා” යන ආදර නාමයෙනි. තමා පවරා දෙන වගකීමක් අන් අය ඉටු නොකළ බොහෝ අවස්ථාවල ඇමතිවරයා සිරිතක් වශයෙන් කියන්නේ “කමක් නෑ, මට සක්කිලියෙක් හා පක්කිලියෙක් ඉන්නවා. මම ඔවුන් ලවා කරවා ගන්නම්” කියා ය. ඇමතිවරයා මෙවැනි විශේෂණ පදයකින් තමන් අමතනවා දකින්නට මේ ජනමාධ්‍ය විචාරක පඬිවරුන් දෙදෙනාගේ අකමැත්තක් නැති බවත්, ඇමතිවරයා විසින් එසේ තමන් අමතනවා දකින්නට ඔවුන් ප්‍රිය කරන බවත් මම අසා ඇත්තෙමි.

මීට මාස කිහිපයකට පෙර අප කිහිපදෙනකු සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකට බෙනට් රූපසිංහ ද සහභාගි විය. වැඩසටහනේදි ආණ්ඩුවේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සේ ම දිනමිණේ වැඩපිළිවෙළ ද විවේචනය කිරීමට අපට සිදුවිය. වැඩසටහන අවසන් වී ස්ටුඩියෝවෙන් පිටවූ පසු, එම වැඩසටහනේදි තමන් අසීරු තත්ත්වයකට පත්කිරීම ගැන අප දෝෂාරෝපණයට ලක්කරමින් බෙනට් කීවේ තමන්ට ලියන්නට සිදුවී ඇත්තේ තමාගේ අතින් නොව මංගල සමරවීරගේ අතින් බව ය. “මම ලියන්නේ හිතට එකගව නොවෙයි. මං මොනව කරන්නද? මට වෙන යන්න තැනක් නෑ” යි ඔහු කියා සිටියේය. ඒ ඇසූ අප සියලුදෙනා කෙරෙන් ම බෙනට් පිළිබඳව ඇතිවූයේ සංවේගයකි.

නිතර නිතර රාවයේ කර්තෘට ලියුම් තීරුවට ලියුම් ලියන උන්නතිකාමී තරුණයකු සිටියේය. බොහෝ ආධුනිකයින් පුවත්පත්වලට ලිවීම ආරම්භ කරන්නේ ද, කර්තෘට ලියන ලියුම් වලිනි. ඒවා තම නමින්ම පළවූ විට ආධුනිකයකු තුළ ආශ්වාදයක් ඇතිවීම ස්වාභාවිකය. මේ තරුණයා කර්තෘට ලියුම් තීරයට එවන ලියුම් කිහිපයක්ම විටින් විට පළවිය. ආණ්ඩුවේ ජනමාධ්‍යවල මතුවී තිබෙන නව හැඩගැසීම අනුව රාවයේ කර්තෘට ලියුම් තීරයට පුංචි පුංචි ලියුම් ලියනවාට වඩා රාවයේ කර්තෘට පහර ගසන ලිපි ලිවීමෙන් තමන්ට ලොකුකමක් ද, යැපෙන්න තරම් ආදායමක් ද ලැබිය හැකි බව තේරුම් ගත් මේ තරුණයා රාවයේ කර්තෘට ලියුම් තීරයට ලියුම් ලියනවා වෙනුවට “රාවය” පතුරු ගසන ලිපි දිනමිණට ලියන ප්‍රතිපත්තියක් ඔස්සේ දිනමිණේ ජනප්‍රිය ලේඛකයකු බවට පත්වීමට සමත් විය. දැන් ඔහු දිනමිණට හා සිළුමිණට සිටින “රාවය” ගැන ලියන ජනප්‍රිය ලේඛකයෙකි.

ලේක්හවුසියට යාමට විශාල උත්සාහයක් දරා ඒ අරමුණ සපුරා ගත නොහැකි වූ පුද්ගලයන් කිහිපදෙනකු “රාවය”ට පහර දෙන පිළිවෙතක් මගින් ඒ අරමුණ සපුරා ගත හැකිවේ යැයි කල්පනා කොට ජනාධිපතිවරණයේදී “රාවය”ට එරෙහිව කැළෑ පත්තර පළ කරන ආණ්ඩුවේ ව්‍යාපෘතියකට සම්බන්ධ විය. ඔවුන් ගණන් බැලු ආකාරය ද ඉතා නිවැරදි විය. ජනාධිපතිවරණයෙන් පසුව ඒ කිහිපදෙනාටම ලේක්හවුසියේ රැකියා ලැබුණි.

මා මාගාල්ලේ බදු නිවසක කල් ගෙවූ යුගයක් තිබුණි. නිවසේ ගතකරන සති අන්තවල මා හමුවන්නට එන ප්‍රාදේශීය වාර්තාකරුවෙකු සිටියේය. ඔහු දරු පවුල්කාරයකු වූ අතර, ඉතාමත් අමාරුවෙන් එදිනෙදා වේල ගැටගසා ගත් පුද්ගලයකු විය. “රාවය” වැනි පුවත්පතකට ලියන ප්‍රාදේශීය වාර්තාකරුවකුට ලැබෙන්නේ ඉතාමත් සොච්චම් ආදායමක් පමණය. ඔහු ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ක්‍රියාකරමින් සිටියේද වෙනත් කිසිම රැකියා මාර්ගයක් නැති අමාරු තත්ත්වයක් ඉදිරියේය. සති අන්තවල මා නිවසේ සිටින දිනවල ඔහු එහි පැමිණයේ ද සමහරවිට කර්තෘ සමග සම්බන්ධකම් පැවැත්වීමෙන් එවන වාර්තාවලට වැඩි අනුග්‍රහයක් ලබාගත හැකිවනු ඇතැයි කල්පනා කොට ද විය හැකිය. කිසියම් දිනක මාගේ මිත්‍රයකු මා සමග කතා කරමින් සිටින අවස්ථාවක ප්‍රාදේශීය වාර්තාකරු ද, අප අසළ වාඩිවී සිටියේය. මාගේ මිත්‍රයා කතා කළේ ගාල්ලේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් ගැනය. එහිදී ඔහු මා සමග කියන ලද හැමදෙයක්ම විදුහල්පතිනියට දෑනගන්නට ලැබී ඇති බවත්, ප්‍රාදේශීය වාර්තාකරුගේ දුවත්, එම බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි තත්ත්වයක් ඉදිරියේ විදුහල්පතිනියගේ හොඳ නම දිනාගැනීම පිණිස ඔහු ඒ සියල්ල විදුහල්පතිනියට කියා ඇති බවත්, විදුහල්පතිනිය තම ඥාතියකු වන බව ප්‍රාදේශීය වාර්තාකරු නොදන්නා බවත්, එහෙත් විදුහල්පතිනිය තමන්ට ඔහුගෙන් අසන්නට ලැබුණු සම්පූර්ණ කතාව තමාට කියන ලද බවත් ඊට පසුදිනෙක එම මිත්‍රයා මා සමග කෝපසහගත ස්වරූපයකින් කියා සිටියේය. ඒ ඇසූ මා තුළ ද ප්‍රාදේශීය වාර්තාකරු ගැන කෝපයක් ඇතිවිය. ඔහු කර තිබුණු වරද බරපතල විය. තමන්ගේ පටු ලාභ සඳහා ක්‍රියාකරන පුද්ගලයන් ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස යොදා ගැනීමෙන් වළකින ලෙස මම “රාවය” කාර්යාලයට දැනුම් දුන්නෙමි. ඉන් දින කිහිපයකට පසුව මට මාගේ මිත්‍රයාගෙන් අසන්නට ලැබුණේ එම ප්‍රාදේශීය වාර්තාකරු පාරේ ගමන් ගනිමින් සිටි අවස්ථාවක තමාට අහම්බෙන් මෙන් හමුවූ බවත්, විදුහල්පතිනියට කේළාම් කීමේ සිද්ධිය ප්‍රශ්න කොට තමා ඔහුගේ කම්මුලට හොඳවයින් පහර දෙකක් එල්ල කළ බවත්ය. පුදුමයකට මෙන් මේ ප්‍රාදේශීය වාර්තාකරුගේ කම්මුල් දෙක අතගෑ පුද්ගලයා මා නොවූවත්, ඒ සඳහා ඇති කරගත් වෛරය යොමුවී තිබෙන්නේද, මා කෙරෙහිය. මෙම ජනාධිපතිවරණයේදී “රාවය”ට එරෙහිව ආණ්ඩුවේ වියදමින් කැළෑ පත්තර පළ කෙරෙන ව්‍යාපාරයේ ඔහු ද උද්යෝගිමත් සාමාජිකයකු ලෙස ක්‍රියා කළේය. දැන් ඔහු එම කැළෑ පත්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ප්‍රවෘත්ති අමාත්‍යංශයෙන් පඩි ලබන තත්ත්වයකට පත්ව සිටී.

මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ අපට ජීවත්වන්නට සිදුවී ඇති ජනමාධ්‍ය සමාජයේ ඇති ඇතැම් ලක්ෂණයන්ය. කුණුවූ තුවාල වලින් ගලා යන මජර ද ඉහඳ පණුවන්ට හොඳ රස ආහාරයකි.

බෙනට් රූපසිංහලා, සුජීව දිසානායකලා හා මහින්ද අබේසුන්දරලා කියන්නේ අපට ජනාධිපතිනියට එරෙහිවීමට අවශ්‍ය වී ඇත්තේ, එජාපයෙන් පඩි ලබන නිසා බවය. එහෙත් එසේ කතා කරන සියලුදෙනාට වඩා අවශ්‍ය නම් පොදු පෙරමුණු ආණ්ඩුවෙන් ආර්ථික වාසි ලැබීමේ හැකියාවක් මට තිබුණි. ඔවුන්ට තවමත් ලැබී ඇත්තේ ලේක්හවුසියේ කර්තෘකම් පමණය. එහෙත් ජනාධිපතිනියම කියා ඇත්තේ, ලේක්හවුසියේ සභාපතිකම සේ ම වෙනත් උසස් තනතුරු කිහිපයක්ම ප්‍රදානය කළ බවත්, ඒවා මා ප්‍රතික්ෂේප කළ බවත්ය. මා ක්‍රියාකරන්නේ පටු ආර්ථික ලාභ අරමුණු කරගන නම්, පොදු පෙරමුණු ආණ්ඩුවෙන්ම ඒවා ලබාගැනීමේ හැකියාව තිබියදි, එසේ නොකළේ ඇයිද කියා ඔවුන් විග්‍රහ නොකරයි. අනෙක් අතට, මා එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බවට චෝදනා කරන ඔවුන් තමන් යැපෙන්නේ කාගෙන්දෑයි ප්‍රකාශ නොකරයි.

මා ජීවත් වන්නේ රාවයෙන් ලැබෙන වැටුපෙනි. “රාවය” කාගේ හෝ දේශපාලන බළල් අතක් නොවන නිසා ස්වාධීනව ක්‍රියාකිරිමේ හැකියාවක් ද එයට ලැබී ඇත්තේය. එහෙත් “රාවය”ට එරෙහිව වෛර සහගත ආකල්පයක් වගුරුවන මේ සියලුදෙනා පොදු පෙරමුණු ආණ්ඩුවේ දේශපාලන පත්වීම්ලාභීන්ය. ජනදාස පිරිස් යැපෙන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවෙනි. ලුෂන් රාජකරුණානායක යැපෙන්නේ ද පොදු පෙරමුණු ආණ්ඩුවෙනි. මහින්ද අබේසුන්දර, බෙනට් රූපසිංහ, සුජීව දිසානායක යන සියලුදෙනාම යැපෙන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවෙනි.

සුජීව, බෙනට් වැනි අය සමග පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ඒමෙන් පසුව ලේක්හවුසියට ගිය ජනමාධ්‍යවේදින්, තවත් එමට සිටිති. සමහර අය සුජීව දිසානායකට වඩා පළපුරුදු හා ජ්‍යේෂ්ඨ අය වෙතත්, ඔවුන් කිසිවකුට මේ අයට මෙන් බලා සිටියදි වේගයෙන් ඉහළ නැගිය නොහැකි වූයේ ස්වකැමැත්තෙන් පක්කිලියන් හෝ සක්කිලියන් වීමට සූදානම් නොවූ නිසාය. ඔවුන් තවමත් එකතැනය. ඔවුන්ට ලැබෙන පඩිය ද විශාල නැත. එහෙත් අපේ වීරයින් කිහිපදෙනා සිටින්නේ පළමුව පැමිණ තැනට වඩා ගව් ගණනක් ඉහළිනි. වැටුප් දිමනා හා ලැබෙන පහසුකම්වල වටිනාකම රුපියල් ලක්ෂයකට අඩු නැත. තමන්ට ලැබී තිබෙන ඒ සුවපහසු ලෝකය රැකගැනීම ඔවුන්ගේ වගකීමකි. එය පෙරළා දමන්නට මාන බලන්නන්ට එරෙහිව මුළු ශක්තිය යොදා පෑන හැසිරවීම ද ඔවුන්ගේ වගකීමකි.