ජනාධිපතිවරණයේදීත් ඉන් පෙරත් ජනාධිපතිනියගේ අවාසියට හේතුවන ලෙස ජනාධිපතිනිය පිළිබඳවත් පොදු පෙරමුණු ආණ්ඩුව පිළිබඳවත් “රාවය” දැඩි විවේචනාත්මක ප්රතිපත්තියක් පවත්වාගෙන යාම ඍජු ලෙස හෝ අනියම් ලෙස ආණ්ඩුවෙන් යැපෙන සමහර විශ්වවිද්යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේත් ආණ්ඩුවේ ජනමාධ්ය ප්රධානීන්ගේත් දැඩි දෝෂදර්ශනයට හා විවේචනයට හේතු වී තිබේ.
ඔවුන්ගේ එම විවේචන අසන, සිදු වූ සමහර සැගවුණු දේවල අභ්යන්තරය නොදන්නා සමහර පාඨකයින් අතර පවා “රාවය” ගැන කිසියම් විචිකිච්චාවක් ඇති වී තිබෙනවා විය හැකි ය. ඇත්තටම අපට (රාවයට) වැරදිමක් සිදුවූයේ ද? ඒ මගින් අප අතින් බරපතල දේශපාලන වරදක් සිදුවූයේද?
ජනාධිපතිවරණයේ දි චන්ද්රිකා ඉන්නේ අවාසිදායක තැනක බවත් රනිල් ඉන්නේ වාසිදායක තැනක බවත් අපි කියා සිටියෙමු. එසේම චන්ද්රිකා කුමාරතුංග මහත්මිය දෙවැනි වරටත් බලයට පත්වුවහොත් එයින් රටට අයහපතක් මිස යහපතක් සිදු නොවනු ඇති බවත් ප්රකාශ කළෙමු.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ගැන අපට එසේ කියන්නට සිදුවූයේ ඇය සමග ඇතිකරගෙන තිබූ පුද්ගලික කෝන්තරයක් නිසා නොව 92-94 වකවානුවේ දි ඇය රටට හඳුන්වා දිම පිණිස ප්රමුඛ වැඩ කොටසක් ඉටු කළ පුවත් පතක් හා එම පුවත් පතේ කතුවරයා වශයෙන් ඇගේ අවුරුදු පහක පාලනයක අත්දැකීම් ආශ්රයෙන් ඇති කරගත් නිගමන මත ඇය අපට පෙනෙන ආකාරය මහජනයාට කීමේ යුතුකමක් හා වගකීමක් අපට තිබුණු නිසා ය.
අප එදා ඇය රටට හඳුන්වාදෙමින් ඇයට උපරිම මට්ටමකින් ආධාර කරන ප්රතිපත්තියක් පවත්වාගෙන ගියේ ඇය රදල වලව්වක කුමාරිහාමි කෙනෙකු වූ නිසා නොවේ. අගමැතිවරුන් දෙදෙනකුගේ දුවක වූ නිසා ද නොවේ. ජනප්රිය චිත්රපටි නළුවෙකුගේ ලස්සන බිරිඳක් වූ නිසා ද නොවේ. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි හිතුවක්කාරී පාලකයන් පරාජය කිරිමේ අරමුණ ජයගැනීම සඳහා නව නායකත්වයක් රටට අවශ්ය වී තිබූ නිසා ය. එම නායිකාව බලයට පත් වී රටේ ප්රජාතන්ත්රවාදී නිදහස පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන දේශපාලන ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්රියාවට නගනු ඇතැයි විශ්වාස කළ නිසා ය. ඒ වන විට සමාජය තුළ ප්රජාතන්ත්රවාදී නිදහස පිළිබඳව බලවත් දේශපාලන සංවාදයක් තිබූ අතර එම සංවාදයට සංවේදි වෙමින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රතිසංස්කරණයන් සඳහා වන සමාජයට පිළිගත හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට ඇය නායකත්වය දුන් පොදු පෙරමුණ සමත්ව තිබුණේ ය.
පොදු පෙරමුණේ දේශපාලන ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළට ඇතුළත් මූලික කාරණා මෙසේ විය.
1. යුද්ධය අවසන් කොට ශ්රී ලංකාවේ ජීවත්වන සියලු ජනවර්ගවලට තම තමන්ගේ අනන්යතාව ආරක්ෂෂා කර ගනිමින් එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ජීවත්විය හැකි පරිසරයක් ඇති කරලීම.
2. ඒකාධිපති ක්රමයක් ලෙස පැවති විධායක ජනාධිපති ක්රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් ඇති කිරීම.
3. මැතිවරණවල දි බලයේ සිටින ආණ්ඩුවලට බලය යොදා තමන්ට කැමති ප්රතිඵලයක් ලබාගැනීමට හැකිනොවන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට හැකිවන ආකාරයේ ස්වාධීන මැතිවරණ යාන්ත්රණයක් ඇති කිරීම.
4. පුවත් පත් නිදහස පුළුල් කොට තහවුරු කිරීම හා දේශපාලනයේ දි විරුද්ධ අදහස් දරන අයට තමන්ට එරෙහිව එල්ලවිය හැකි මර්දනයන් පිළිබඳ බියකින් තොරව විරුද්ධ වීමට පුළුවන් පරිසරයක් ඇති කරලීම.
5. නියෝජිත ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයේ මහජන නියෝජිතයන් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් කෙරෙහි ජනතාව අතර හාස්යයට හා පිළිකුලට හේතු වී තිබුණු මන්ත්රීවරුන්ගේ පැවැත්ම මහජන විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස ප්රතිසංස්කරණය කිරීම.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වීමේ ක්රියාවලිය කෙරෙහි ඇගේ දේශපාලන ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළ බලපෑවත් බලයට ඒමෙන් පසු ඒ දේශපාලන ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්රියාවට නැංවීමට ඇය හෝ ඇගේ ආණ්ඩුව කිසිම බලවත් උත්සාහයක නොයෙදුණේ ය. පස් අවුරදු පාලනයකින් පසුව ඇය 99 දෙසැම්බර්වල දි තවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ ජනාධිපති ක්රමය අහෝසි කිරීම ඇතුළු එම ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළ තබා ඊට ඇතුළත් එකදු මූලික කාරණාවක්වත් සම්පූර්ණ නොකර ය.
ඇය හැම විටමත් මහ ලොකුවට කියන්නේ මරණ බියෙන් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් හා ජනමාධ්ය නිදහස ලබාදුන්නේ තමන් බව ය.
එහෙත් එහි කිසිම සත්යයක් නැත.
77 දි ජේ.ආර්. ජයවර්ධන බලයට ආවේ ප්රජාතන්ත්රවාදී දේශපාලන න්යාය පත්රයක් කරගසාගෙන නොව ආර්ථික න්යාය පත්රයක් කරගසාගෙන ය. පෝලිම් යුගය අවසන් කොට වෙළෙඳ භාණ්ඩ සුලභ සමාජයක් ගොඩනගනවා යන්න ඔහු ඉදිරියට ගෙනා ප්රධාන සටන් පාඨය විය. ඔහු පවත්වාගෙන ගිය පාලනය තුළ දේශපාලන විරුද්ධවාදින් පීඩාවට පත් කරන ලක්ෂෂණ තිබුණත් තරුණ කැරැල්ලක් කරලියට එන තෙක් සාමාන්ය මහජනයා අතර මරණ බියක් නොතිබුණි.
ඉන්දු ලංකා ගිවිසුමත් සමග දකුණේ තරුණ කැරැල්ලක් මතුවීම කෙරෙහි බලපෑ සමාජ ආර්ථික දේශපාලන සාධක තිබුණි. එහෙත් කැරැල්ලක් ඉදිරියේ බලයේ සිටින ආණ්ඩුවක් අත් හකුළුවාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකි ය. ශ්රී ලංකා නිදහස් පක්ෂෂය ප්රමුඛ සමගි පෙරමුණ බලයේ සිටිය දි 1971 දි මතු වූ තරුණ කැරැල්ලේ දිත් එම පාලකයින් කැරැල්ල ඉදිරියේ අතපය හකුළුවාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය නොකළේ ය.
සමාජය කෙරෙහි පොදු මරණ බියක් ඇති කරන ලද්දේ ඒ මතු වූ කැරැල්ල හා එය මර්දනය කිරීමට දරන ප්රයත්නය ආශ්රයෙන් මතු වූ විශේෂ තත්ත්වයන් ඉදිරියේ ය. දෙවැනි කැරැල්ලේ දි පරිමාව එය විසින් මුදාහරින ලැබූ සාහසිකත්වයේ පරිමාව අනුව එය මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන ක්රියාවලිය ද සාහසික ස්වරූපයක් ගැනීම ද නොවැළැක්විය හැකි විය. එය ප්රතිවිරුද්ධ දේශපාලන බලවේගයන් එකිනෙකා සැකයෙන් ජයගන්නට උත්සාහ කළ කුරිරු සහ වියරු සහගත පොරයක් විය. ඒ පොරය තුළ එම පොරයට දේශපාලන සම්බන්ධයක් තිබූ අය සේ ම අහිංසකයන් ද දහස් ගණනක් මිය ගියේ ය. එවැනි විශේෂ පරිසරයක් තුළ මහජනයා අතර මරණ බියක් ඇතිවීම නොවැළැක්විය හැකි ය. ඒ පමණටම නොවුවත් 71 කැරැල්ල මර්දනය කිරීම සඳහා යොදාගත් පිළිවෙත් ද යම් පමණකට හෝ මහජනයා අතර මරණ බියක් ඇති කිරීමට හේතු වී තිබුණි.
එහෙත් මේ විශේෂ තත්ත්වය කැරැල්ල පරාජය කිරිමෙන් පසුත් දිගින් දිගට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට එන තෙක්ම තිබුණා යයි කිව නොහැකි ය.
ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ දි පුවත් පත් ඍජු ලෙස හෝ අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් රටේ තිබුණත් “රාවය” මාසික සගරාවක් ලෙස කළ එළි දක්නා ලද්දේ ද ජේ.ආර්. පාලන යුගයේ අවසන් කාලයේ දි ය. ඒ යුගයේත් රාවය ජේ.ආර්. ජයවර්ධන පාලනය ගැන කර්කශක විවේචනයක යෙදුණේ ය.
ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු රටේ ලේ වැගිරෙන තත්ත්වයක් ගොඩනැගී තිබුණු අවස්ථාවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මා ඔහු වෙත ගෙන්වා දැන් පවතින්නේ යුදමය වාතාවරණයක් මිස ප්රජාතන්ත්රවාදී වාතාවරණයක් නොවන නිසා කාලිංගගේ දේශපාලන විග්රහය නමින් පළකරමින් තිබූ මගේ “විග්රහය” මින් පසු පළ නොකළ යුතු බවත් එසේ නොකරන්නේ නම් “රාවය” පළ කිරීම අත්හිටුවීමට තමන්ට සිදුවන බවත් ඔහු ප්රකාශ කර සිටියේ ය. මා ජනාධිපතිවරයා දෙන ලද එම නියෝගය පිළිගන්නවා වෙනුවට කරුණු පැහැදිලි කිරීමක යෙදුණෙමි. තුවක්කුවලින් කරගන්නා දේශපාලන සංවාදයක් මතු වී තිබෙන්නේ නිදහස් දේශපාලන සංවාදයන්ට ඉඩක් ලබා නොදිම නිසා බව කියමින් මගේ අරමුණ තුවක්කුවලින් කරගන්නා සංවාද නිශ්ප්රයෝජන බව තහවුරු කරමින් නිදහසේ පෑනෙන් කරගන්නා සංවාදයකට ඉඩ ලැබෙන පරිසරයක් ඇති කිරීම බවත් ප්රකාශ කළෙමි. ජේ.ආර්. ජයවර්ධන නමැති ප්රතාපවත් ජනාධිපති පාලකයා මට දෙන ලද නියෝගය ඉවත් නොකරගත්තත් ඔහු ඉදරියේ එසේ ප්රකාශ කිරිමෙන් පසුව තමන් විසින් දෙන ලද නියෝගය මා වැන්නෙකු පැහැර හරින ප්රතිපත්තිය ඉදිරියේ වන කෝපයෙන් මා විනාශ කරවන තත්ත්වයකට ද තල්ලුනොවූ බව කිව යුතු ය.
1989 ජනාධිපතිවරණයේ දි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නන්ට මරණ දඬුවම ප්රකාශ කර තිබුණු අවස්ථාවක ඔවුන්ගේ නියෝගය බාර නොගෙන එජාප ආණ්ඩුව පරාජය කිරීම පිණිස බණ්ඩාරනායක මැතිනියට ඡන්දය පාවිච්චි කරන ලෙසට රාවයෙන් ප්රසිද්ධ ආයාචනයක් පළ කෙරිණ. රාවය වැනි ජනප්රිය සගරාවක් එවැනි ආයාචනයක් පළ කිරීම ප්රේමදාස මහතාගේ සංතා්ෂයට හේතු නොවන්නට ඇතත් රටේ තිබුණු විශේෂ පරිසරය හේතුවක් කරගනිමින් “රාවය” පොඩි පට්ටම් කරන තත්ත්වයකට ඔහු තල්ලුවී ගියේ නැති බව ද කිව යුතු ය.
මාසික සගරාවක් වශයෙන් පැවති “රාවය” සති අන්ත පුවත් පතක් බවට හරවනු ලැබුවේ ද ප්රේමදාස පාලන යුගයේ දි ය. නිල විරුද්ධ පක්ෂෂය ලෙස ක්රියාකළ ශ්රීලනිපය නිහඬව බකන් නිලාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළ ඒ මුල් අවදියේ ප්රේමදාස පාලනයට එරෙහිව බලවත් විවේචනයක් එල්ලවූයේ රාවයෙනි. අද චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ජනප්රිය මාතෘකාවක් බවට පත්ව ඇති රාජ්ය බැංකුවලින් දේශපාලන අනුග්ර්රහය මත නිසි ආරක්ෂෂන ලබා ගැනීමකින් තොරව හිතවත් ව්යාපාරිකයන්ට කෝටි ගණනක් ණය මුදාහැර එම ණය ආපසු ලබාගැනීමකින් තොරව ණය කපාහැර තිබුණු ආකාරය කරුණු සහිතව විස්තරාත්මකව රටට හෙළිදරව් කරන ලද්දේ “රාවය” විසිනි. එකල ජනාධිපතිවරයාගේ නීති උපදේශකයා ලෙස ක්රියාකළ කේ.එන්. චොක්සි අලලා “චොක්සි බොරු කියයි” යන හිසින් පළ කළ ලිපිය දිර්ඝ කාලයක් යන තෙක් රටේ කතාබහට හේතු වූ මාතෘකාව විය. ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම යටතේ දේශපාලකයන් තුට්ටුවට දෙකට ඉඩම් ලබාගෙන තිබෙන ආකාරය විස්තරාත්මකව හෙළිදරව් කරන ලද්දේ ද රාවය විසිනි. එයාර් බස් ගනුදෙනුව ගැනත් පොදු පෙරමුණු ආණ්ඩුව විසින් පරික්ෂෂණයකට ගිය විජේපාල මෙන්ඩිස්ගේ ඉඩම් හුවමාරුව ගැනත් රටට හෙළිදරව් කරන ලද්දේ “රාවය” විසිනි.
ප්රේමදාස පාලන යුගයේ දි දේශපාලන වශයෙන් සංවේදි සමහර කාරණාවල දි “රාවය” දුරදිග ගිය ප්රමාණය පෙන්නුම් කරන එක් නිදර්ශනයක් මෙසේ ය.
88 ජනාධිපතිවරණයේ දි ප්රේමදාස මහතා ලැබූ ජයග්රහණයට අභියෝග කරමින් බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළ මැතිවරණ පෙත්සම ව්යවස්ථාවෙන් නියම කර තිබූ කාලයට පිටස්තර අවුරදු ගණනක් අසා නිම වී තීන්දුව ප්රකාශ කිරීමට නියමිතව තිබුණු අවස්ථාවක තීන්දුව සකස් කිරිමේ ක්රියාවලිය කෙරෙහි ප්රේමදාස ජනාධිපතිවරයා සියුම් ලෙස බලපා තිබෙන ආකාරයත් ප්රකාශයට පත් කරන්නට යන තීන්දුවේ ස්වභාවය පිළිබඳවත් මට පිළිගත හැකි මාර්ගයකින් තොරතුරු රාශියක් දැනගැනීමට හැකිවිය. ඒ අවස්ථාව වන විට බණ්ඩාරනායක මැතිනිය සිටියේ තමන්ට පක්ෂෂපාත තීන්දුවක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය මත ය. මා බණ්ඩාරනායක මැතිනිය හමු වී ප්රකාශ කරන්නට නියමිත තීන්දුව ගැනත්, දැනගන්නට ලැබුණු පසුබිම් කාරණා ගැනත් ඇයට විස්තර කරදි තීන්දුව ප්රකාශයට පත් කරන්නට ප්රථම ප්රසිද්ධ ප්රකාශයක් මගින් එම තීන්දුව බාර ගැනීම ප්රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියෙමි. මැතිනිය මගේ යෝජනාව පිළිගත්තා ය. ප්රසිද්ධ ප්රකාශයක් මගින් තීන්දුව ප්රතික්ෂේප කිරීමට ද එකග විය. පක්ෂෂ ලේකම්වරයා වශයෙන් ක්රියාකළ ධර්මසිරි සේනානායක මහතා ද ඒ අදහසට එකග විය. එහෙත් පෙත්සම සම්බන්ධීකරණය කළ පුද්ගලයා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ය. ලැබෙන්නට යන තීන්දුව තමන්ට පක්ෂෂපාත එකක් වනු ඇති බව ඔහුගේ මතය වී ඇති අතර දෙන්න යන තීන්දුව කල්තියා ප්රතික්ෂෙෂ්ප කරන තත්ත්වයක් තුළ ලැබෙන තීන්දුව මැතිනියට පක්ෂෂපාත එකක් වුවහොත් මැතිනිය දුෂ්කර තත්ත්වයකට පත්වනවා නොවේදැයි ප්රශ්න කරන ලදුව අවසානයේ මැතිනිය එවැනි පියවරක් ගැනීමෙන් වැළකී සිටින තත්ත්වයකට යොමුවිය.
පෙත්සම් තීන්දුව ප්රකාශ කිරීමට සති දෙකක් ඉදිරියේ තිබියදි වැල්ලවත්තේ වාඩිය අවන්හලට එකතු වී අපි කිහිප දෙනෙක් ඒ ගැන සාකච්ඡා කළෙමු. මේ අවස්ථාවට අනුරුද්ධ රත්වත්ත, දොස්තර මැකී රත්වත්ත, එයාර් වයිස් මාර්ෂල් හැරි ගුණතිලක හා ආනන්ද චිත්තම්පලම් යන අය ද සහභාගී වූහ. ඒ අවස්ථාවේ දි මැතිනියගේ සහෝදරයකු හා ජනාධිපතිනියගේ මාමා වන දොස්තර මැකී රත්වත්ත මහතා මට අපූරු අවවාදයක් දුන්නේ ය. “වික්ටර් ඔයා කියන දේ ඇත්ත වෙන්න ඇති. ඒත් ඒ වගේ දෙයකදි අවදානම බාරගත යුත්තේ ඔයා නොවෙයි. මගේ සහෝදරි. එයා ඒ අවදානම බාරගත්තෙ නැත්නම් ඔයා ඒක කරට ගන්න එපා. ප්රකාශ කරන්නට යන තීන්දුව ඔයා වේලාසනින් පත්තරේ පළ කළොත් සුප්රිම් උසාවිය ඔයා උසාවියට අපහාස කළා කියලා දඬුවම් කරාවි. ඔයාව හිරේ යවාවි. ඒ වෙලාවට ඔයා වෙනුවෙන් කථා කරන්න මගේ සහෝදරියවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා කොහොමටවත් ඔය ප්රවෘත්තිය පළකරන්න නම් එපා.” යයි ඔහු කියා සිටියේ ය. හැරි ගුණතිලක හැර එහි සිටි අන් සියලු දෙනා ද ඔහු කී දෙය අනුමත කළහ.
එහෙත් බණ්ඩාරනායක මැතිනිය ඒ අවදානම බාර නොගන්නා තත්ත්වයක් තුළ වඩා හොඳින් කරුණු දැන සිටි පුද්ගලයා වශයෙන් නිහඬව බලා සිටීමේ හැකියාවක් මට නොවී ය. පෙත්සමේ තීන්දුව ප්රකාශ වීමට නියමිත දිනයට දින කිහිපයකට ප්රථම ජනාධීපති ප්රේමදාස මහතාගේ වාසියට හේතුවන ලෙස සකස් වී තිබුණු එම තීන්දුව අපි මුල් පුවතක් ලෙස ප්රකාශ කළෙමු.
එය මාගේ වෘත්තීය ජීවිතයේ දි ගනු ලැබූ ඉතා අවදානම් සහගත හා බිහිසුණු තීන්දුවක් විය. ශ්රේෂ්ඨාධිකරණයට අවශ්ය නම් අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මට එරෙහිව දඬුවම් කිරිමේ හැකියාවක් තිබුණි. පෙත්සමේ තීන්දුව ප්රකාශයට පත් කෙරෙන දින සිය අනුගාමිකයන් ලවා රටපුරා රතිඤ්ඤා පත්තු කරවා ප්රීතිය ප්රකාශ කරවීමේ වැඩ පිළිවෙළක් යොදා තිබුණත් රාවයෙන් පළ වූ ප්රවෘත්තියෙන් පසුව එවැනි කටයුතුවලින් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා සිය අනුගාමිකයන්ට දන්වා ඇති බව ද දැනගන්නට ලැබුණි. රහස් පොලිසිය රාවයට පැමිණ ඒ ප්රවෘත්තිය ගැන මගෙන් ප්රශ්න කළේ ය. එහෙත් ඊට වැඩි දෙයක් සිදු නොවීය. එම ප්රවෘත්තිය ප්රේමදාස මහතාගේ දැඩි කෝපයට හේතු වන්නට ඇතත් ඒ හේතුව මත මට තලා පෙළා පහර දෙන ප්රතිපත්තියක් අනුගමනය නොකළේ ය.
ප්රේමදාස මුල් යුගයේ සැහැසිකම් සිදු වූ බව සත්යයකි. කැරැල්ල ආශ්රයෙන් මතු වී තිබුණු ලේ වැගිරිම් අවසන් වෙමින් තිබුණු අවස්ථාවක රිචඩ් සොයිසා ඝාතනය කළේ ය. ඉන් පසුව කාටුන් ශිල්පී යූනුස්ට පහර දුන්නේ ය. දෝෂාභියෝග කාලයේ දි විරෝධතා ව්යාපරයක් වාර්තා කරන්නට ගිය මාධ්යවේදි පිරිසකට මැර පිරිසක් ලවා පහර දුන්නේ ය. රාවයට එරෙහිව ද කිනිමිණි කම් කරවන ලද අවස්ථා ද තිබුණි. සමහර අවස්ථාවල ආදායම් බදු නිලධාරින් ද, තවත් අවස්ථාවල රහස් පොලිසිය ද රාවයට කඩා පැන්නේ ය. තමන්ගේ හැම රැස්වීමකම “රාවය” විවේචනය කිරීම පිණිස ප්රසිද්ධ කථිකයෙකු යොදා ගත්තේ ය. මේ සියලු දේවල් මැද කරුණු විවේචන මැද ජීවත්වීමට අවශ්ය හික්මීමක් ද ඇති කරගනිමින් සිටි බවක් පෙනෙන්නට තිබුණි.
ප්රේමදාස පාලනය තුළ රාවය පමණක් නොව ප්රේමදාස ජනාධිපතිවරයා ඉතාමත් සාහසික ආකාරයකින් විවේචනයට ලක් කෙරෙන වෙනත් පුවත් පත් රාශියක් ද රට තුළ බිහිවිය. එම ප්රවනතාව ඔහුගේ සංතෝෂයට හේතු නොවන්නට ඇතත් ඒවායින් එල්ලවන කර්කෂ විවේචන මැද ජීවත්වීමට අවශ්ය සංයමයක් ද ඔහු තමන් තුළ ඇති කරගනිමින් තිබුණේ ය. නිදහස් මාධ්ය ව්යාපාරයක් බිහිවූයේ ද නැවත එම ව්යාපාරය ප්රේමදාස පාලනයට එරෙහිව රට පුරා ප්රසිද්ධ රැස්වීම් පවත්වන තත්ත්වයකට යොමුවූයේ ද ඉන් අනතුරුව එළඹෙන කාලයේ දිය.
කැරැල්ල පැවති යුගය තුළ රට තුළ ව්යාප්ත තර්ජනයක් තිබුණි. සමාජය වසාගත් මරණ බියක් ද තිබුණි. කැරැල්ල මර්දනය කිරීමත් සමග ක්රමයෙන් රටේ තත්ත්වය සාමාන්ය අතට හැරෙමින් සමාජය තුළ පැවති මරණ බිය ද ක්රමයෙන් තුනී වී ගියේ ය. ඒ සියල්ල වහාම සිදු නොවූවා විය හැකි ය. එහෙත් දේශීය හා ජාත්යන්තර වශයෙන් එල්ල වන්නාවූ විවේචන ඉදිරියේ ප්රජාතන්ත්රවාදී දේශපාලන පරිසරයකට ඉඩහරින ප්රතිපත්තියකට ප්රේමදාස ආණ්ඩුව යොමුවී සිටියේ ය.
කිසියම් තරමකට හෝ තවදුරටත් මරණ බියක් ඉතිරිවී තිබුණේ නම් 1991 අගෝස්තුවල දි මතු වූ දෝෂාභියෝග ව්යාපාරය විසින් ඒ බිය ද විශාල ප්රමාණයකට සමාජයෙන් තුරන් කිරීමට හේතු විය. එහෙත් පැත්තකට වී බකන් නිලාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළ ශ්රීලනිප අළුගසා දමා ඉදිරියට එන්නට වූයේ ද ඉන් පසුව ය. ශබ්ද ඝෝෂා, පාද යාත්රා වැනි දැවැන්ත ආණ්ඩු විරෝධී ව්යාපාර ක්රියාත්මක වන්නට වූයේ ද ඉන් පසුව ය. එහෙත් ඒ කිසිවකට සම්බන්ධ කිසිම පුද්ගලයකු මරා දැමීමක් හෝ අතුරුදහන් කිරීමක් සිදු නොවී ය. එවැනි දේවලට සම්බන්ධ වීමෙන් තමන් මරණයට පත් කෙරෙනු ඇතැයි නියත බියක් ද සමාජය තුළ නොවී ය. ජනාධිපති විජේතුංග බලයට පත්වීමත් සමග රටේ ලිහිල් වෙමින් පැවති ප්රජාතන්ත්රවාදී වාතාවරණය තවදුරටත් ලිහිල් වූයේ ය.
1991 පැවති පළාත් පාලන ඡන්දය පුළුල් අර්ථයෙන් ගත් විට නිදහස් හා සාධාරණ විය. 1993 පැවති පළාත් සභා ඡන්දය සේම ඉන් පසු 1994 මාර්තුවල දි පැවති දකුණු පළාත් සභා ඡන්දය ද නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවතුනි. 1994 අගෝස්තුවල දි පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදු පෙරමුණ බලයට එන්නට හැකිවූයේ ද එම මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවති නිසා ය. නිදහස් හා සාධාරණ යන්නෙන් ඒ කිසිම මැතිවරණයක දි ආණ්ඩුවේ සම්පත් ඡන්ද කටයුතු සඳහා වැරදි ලෙස යොදා නොගත් බවක් අදහස් වන්නේ නැත. ඉන් අදහස් වන්නේ ඊට පෙර පැවති ඡන්දවල දි මෙන් බලහත්කාරි ඡන්ද කොල්ලකන ක්රමයක් ක්රියාත්මක නොවූ බව ය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට එන්නේ ප්රජාතන්ත්රවාදී නිදහස මුළුමනින් ඇහිරි තිබුණු අවස්ථාවක නොව මරණ බිය තුරන් වී ජනතාවට නිදහස යම් පමණකට ස්ථාපිත වී ප්රජාතන්ත්රවාදී නිදහස විශාල ප්රමාණයකට විකසිත වී තිබූ අවස්ථාවක ය. ප්රජාතන්ත්රවාදී ක්රියාවලිය විකසිත වීමේ ඒ ක්රියාවලියට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අතින් කිසිදු විශේෂ දායකත්වයක් ලැබී තිබුණේ ද නැත. ඇය ඒ නිදහස දිනාගැනීම වෙනුවෙන් කෙරුණු අරගලයක කොටස්කාරියක් නොවී ය. සිදු වූ එකම දේ විකසිත වී තිබූ නිදහස පුළුල් කොට තහවුරු කරගැනීම වෙනුවෙන් ක්රියාත්මක වෙමින් තිබූ ව්යාපාරයක් ඔස්සේ ඇය බලයට පත්වීම පමණ ය.
ඇය බලයට පත්වන අවස්ථාව වන විටත් කලක් වැසී තිබූ නිදහසේ දොරටු කිසියම් ගණනක් විවෘත වී තිබුණේ ය. ඇය බලයට පැමිණීමෙන් පසු කලක් වැසී ඇරි තිබුණු දොරටු තවදුරටත් විවෘතව තබාගත්තා මිසක් වැසී තිබුණු එකදු දොරටුවක්වත් අලුතෙන් විවෘත කිරීමක් සිදු නොවීය. ඒ නිසා ජනතාවට නිදහස ලබා දෙමින් මරන බිය තුරන් කළේ තමන් විසින් යයි කියන කථාවේ කිසිම ඇත්තක් නැති බව කිව යුතු ය.
ඇය වෙතින් ඇය බලයට පත්කළ බලවේගයන් අපේක්ෂෂා කළේ විකසිත වී තිබූ නිදහස තවදුරටත් පුළුල් කරමින් එය ආපසු හැරවිය නොහැකි ආකාරයට ශක්තිමත් කරනු පිණිස පොරොන්දු වී තිබූ ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්රියාවට නැංවීම ය. එහෙත් පස් අවුරුදු පාලනය තුළ සමස්ත වැඩ පිළිවෙළ තබා ඊට ඇතුළත් එකම කරුණක්වත් ඇය ක්රියාවට නොනැංවුවා පමණක් නොව ඒ සඳහා වන උත්සාහයක්වත් නොදැරුවා ය.
ජනාධිපතිනියට ප්රජාතන්ත්රවාදී හෘද සාක්ෂෂියක් තිබුණේ වී නම් කලක් ඉතාමත් දූෂිත තත්ත්වයක තිබී කිසියම් විශාල ප්රමාණයකට නැවත නිදහස් හා සාධාරණ තත්ත්වයකට ගමන් ගනිමින් තිබූ මැතිවරණ ක්රියාවලිය මුළුමනින් නිදහස් හා සාධාරණ තත්ත්වයකට ගෙන ඒමට හේතුවන ආකාරයකට පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් තිබුණි. ඇය බලයට පැමිණ තිබුණේ ද නිදහස් ඡන්දයකිනි. ඇය බලයට පත්වන අවස්ථාව වන විට ඡන්ද කොල්ල කන ක්රමයක් තිබුණේ වී නම් ඇයට බලයට පත්වන්නට හැකි නොවන්නට ද ඉඩ තිබුණි. ප්රජාතන්ත්රවාදී මූලික මූලධර්ම පිළිබඳ විශ්වාසයක් ඇති නායිකාවක් නම් තමන් හෝ තමන්ගේ ආණ්ඩුව බලයේ සිටිය යුත්තේද මහජනයා කැමති තාක් පමණය. බලයට පැමිණීමෙන් පසුව 97 වසරේ පළාත් පාලන මැතිවරණයක් ද, 99 දි පළාත් සභා මැතිවරණයක් ද 2000 දි පාර්ලිමේන්තු මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව තේරුම් ගනිමින් හදිසි කරුණක් ලෙස සලකා තමන් මහජනතාවට පොරොන්දු වී තිබූ ආකාරයට නිදහස් හා සාධාරණ මැතිවරණ ක්රමයක් තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ මෙන් සාධාරණ හා ශක්තිමත් මැතිවරණ යාන්ත්රණයක් ගොඩනැගීම පිණිස ක්රියාකළ යුතුව තිබුණි.
එහෙත් 97 පළාත් පාලන මැතිවරණය පැවතියේ එවැනි කිසිම ප්රතිසංස්කරණයකින් තොරව ය. රට පුරා නොවූවත් මැතිවරණ කොට්ඨාශ කිසියම් විශාල ගණනක තමන්ගේ අය විසින් සිදුකරන ලද බලහත්කාරකම් සහ මැතිවරණ දූෂණ ඇයට නොපෙනුණා විය නොහැකි ය. එක්සත් ජාතික පක්ෂෂ පාලනයේ එක් යුගයක සිදු වූ තක්කඩිකම් තමන්ගේ පාලනය තුළත් මතුවී තිබීම ගැන ඇය තුළ කම්පනයක් ඇති වූ බවක් පෙනෙන්නට නොතිබුණි. එම වැරදිවලට වගකිවයුතු තමන්ගේ කිසිවෙකුට එරෙහිව කිසිවක් නොකළා පමණක් නොව ප්රතිසංස්කරණයකට යෑමෙන් ද වැළකී සිටියා ය. 99 වයඹ පළාත් සභා මැතිවරණය එළිපිට කෙරෙන දැවැන්ත ඡන්ද මංකොල්ලයක් බවට පත්වීම එහි නොවැළැක්විය හැකි ප්රතිඵලය විය. මැතිවරණ කොමසාරිස්වරයා නිල ප්රතිඵල ප්රකාශ කරන්නට ප්රථම ජනමාධ්යවේදින් සිදු වූ මංකොල්ලයේ තරම නොබියව රටට හෙළිදරව් කළේ ය. එහි ප්රතිඵලයක් වශයෙන් වයඹ මැතිවරණය මෙතෙක් රටේ ඇති වූ දූෂිතම මැතිවරණය බව ප්රකාශ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවූයේ ය. කිසිදු දූෂණයක් සිදු නොවූ බවට ඇමතිවරුන් කිහිප දෙනකු රූපවාහිනියෙන් පම්පෝරි ගසමින් සිටින අවස්ථාවක හදිසි නිවේදනයක් නිකුත් කරමින් දූෂණ සිදු වී ඇති බව පිළිගැනීමට ජනාධිපතිනියටම සිදුවිය. දූෂණවලට වගකිවයුත්තන් කවුදැයි සොයා බැලීම පිණිස ත්රිපුද්ගල කමිටුවක් පත් කරන බවත් මාස දෙකක් තුළ වාර්තාව නිමකොට එය තමන් වෙත බාරදිමට නියම කර ඇති බවත් ඉන් පසු ජාතිය අමතා ප්රකාශ කළා ය. එවැනි පොරොන්දුවකින් පසුත් ත්රිපුද්ගල කමිටුවක් පත් නොකළ අතර වගකිවයුත්තන්ට අවවාද කිරීමක් ද සිදු නොකළා ය. ඊ ළගට ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව දැන දැනමත් මැතිවරණ යන්ත්රය ප්රතිසංස්කරණයකට ලක් කරනවා වෙනුවට තවත් මංකොල්ලයකට අවශ්ය වටාපිටාවක් ගොඩනැගුවා ය.
ඉදිරියේ කරන්නට යන ඡන්ද මංකොල්ලයකින් පසුව ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය වෙතින් බලවත් අභියෝගයක් එල්ලවීම වළකනු පිණිස ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබූ පෙත්සම් දෙකක වගඋත්තරකරුවෙකු අගවිනිසුරු ලෙස නම් කළා ය. නිල විරුද්ධ පක්ෂෂය ඒ ඉදිරියේ බකං නිලාගෙන සිටින ප්රතිපත්තියක් ඉදිරියේ ඊට එරෙහිව නැගී සිටින්නට සිදුවූයේ ද රාවයට ය. ඉන් පසු ජනාධිපතිවරණයක් ප්රකාශයට පත් කිරිමෙන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තරයකු මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්රධානියා බවට පත් කළා ය. එය ඡන්ද කොල්ලයකට ඉඩ ලබාගැනීම පිණිස ඡන්ද යාන්ත්රණයේ පාලනය සියතට ගැනීම පිණිස ගනු ලැබූ සදාචාර විරෝධී පියවරක් වුවත් ඒ ඉදිරියේ ද නිල විරුද්ධ පක්ෂෂය සුපුරුදු ලෙස බකන් නිලාගෙන සිටින ප්රතිපත්තියක් ඉදිරියේ ඊට එරෙහිව ද නැගී සිටින්නට සිදුවූයේ ද රාවයට ය.
ජනාධිපතිනියගේ මෙම ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපති නැඹුරුව මුළුමණින් නොසලකා ඇයට ආධාර කිරිමේ පිළිවෙතක් පවත්වාගෙන යාමේ හැකියාවක් අපට නොවී ය. ඒ නිසා හොර රහසේ නොව එළිපිටම අපට ඇති විරෝධය හා විවේචනය පළ කළෙමු. ආණ්ඩුවේ නායකයන්ගේ වෛරයට හේතුවිය හැකි බව දැන දැනමත් හා නිල විරුද්ධ පක්ෂෂය රගපාමින් සිටින්නේ කලක් විරුද්ධ පක්ෂෂයේ සිටියදි ශ්රීලනිපය රගපෑ නිවට හා තකතීරු භූමිකාව බව දැන දැනත් අපට මුහුණ දෙන්නට සිදුවිය හැකි අවදානම ගැන නොසලකා අපට පෙනෙන ඇත්ත නොවලහා අපි රටට ප්රකාශ කළෙමු.
ජනාධිපතිවරණයේ දි ජනාධිපතිනිය ඉන්නේ ජයගත නොහැකි අසීරු තැනක බවට අප විසින් කරන ලද පුරෝකථනය වැරදුණේ යැයි අපි විශ්වාස නොකරමු. බෝම්බ සිද්ධිය මත ගොඩනැගුණු අනුකම්පාව මත ඇයට ඡන්දය නොදිමට තීන්දු කර සිටි කිසියම් පිරිසක් තමන් දරන අදහස් වෙනස් කරමින් ඇයට ඡන්දය දුන්නා විය හැකි ය. එහෙත් ඇය ලැබූ ජයග්රහණය පිරිසිදු ජනවරමකින් ලැබූ ජයග්රහණයක් ලෙස අපි නොසලකමු. වයඹ දියත් කෙරුණු වැඩ පිළවෙළට වෙනස් වඩා සියුම් වැඩ පිළිවෙළක් මගින් ඇයට වාසිදායක ප්රතිඵලයක් ලබාදිමට හැකි වී ඇතත් ඒ සියල්ල එසේ නොවන්නට ඇය ජයග්රාහී තත්ත්වයක නොසිටියේය යන්න අපගේ විශ්වාසයයි. බෝම්බ සිද්ධිය මත රටේ ගොඩනැගී තිබුණු ආවේගාත්මක පරිසරය සියුම් කොල්ලයක් දියත් කිරීමට අවශ්ය වාසිදායක වටාපිටාවක් ලබාදුන්නේ ය. එම ආවේගාත්මක පරිසරය සිහි නුවණින් හා විචාරවත්ව ඡන්ද ප්රතිඵලය සලකා බැලීමට බැරි තත්ත්වයක්ද ඇතිකර තිබුණේ ය. එහෙත් සිදුවූ දේවල් කොතරම් සියුම් වුවත් එය සදා සැගවිය නොහැකි ය. පොදු පෙරමුණෙන් ඍජු ලෙස හෝ අනියම් ලෙස යැපෙන ආචාර්ය මහාචාර්යවරුන් හා විචාරකයින් හිතට විරුද්ධව අප ගත් මග ගැන මොනවා කිව්වත් අප ගත් මග නිවැරදි බව ඉතිහාසය විසින් ඉක්මණින් සනාථ කරනු නොඅනුමාන ය.