මැතිවරණ දූෂණවලට විසඳුමක් නැද්ද?

January 23, 2000
Publication:
The editorial notes that armed ballot-stuffing began under the UNP with the Jaffna Development Council poll, while elections from 1991 to 1994 were free and fair. The People's Alliance promised to empower the Elections Commissioner but has presided over corrupt polls, notably the 1999 North Western provincial election, and never appointed the promised inquiry committee. It calls for an all-party reform of the electoral machinery before the parliamentary election.

සැප්තැම්බර්වලට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුව තිබුණත්, ආණ්ඩුව නොවැදගත් අනන් මනන් කතා කරමින් සිටිනවා මිස මැතිවරණ දූෂණ පිළිබඳව දිගින් දිගට එල්ලවෙමින් තිබෙන චෝදනා සඳහා සලකා මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය හා ගෞරවය තහවුරු කිරීමට හේතුවන ඉක්මන් ක්‍රියාමාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවක් පෙනෙන්නට නැත.

ආයුධ සන්නද්ධව බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදි මහා පරිමාණයෙන් ඡන්ද කොල්ලකන ක්‍රමයක් රටට හඳුන්වා දෙන ලැබුවේ යූඑන්පී යුගයේදිය. එය ආරම්භ කෙරුණේ යාපනයේ සංවර්ධන සභා ඡන්දයෙනි. ඉන්පසු 1989 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පැවති හැම මැතිවරණයකදිමත් එවැනි කොල්ලකෑම් අඩු වැඩි වශයෙන් සිදුවුවත් ඒ ක්‍රියාවලියට එරෙහිව මතුවූ විවේචන ඉදිරියේ එවැනි දඩබ්බර ක්‍රියාවලියෙන් වැළකී සිටින තැනකට යූඑන්පී ආණ්ඩුව පවා යොමු වූ බව ද කිව යුතු ය.

යූඑන්පී ආණ්ඩුව යටතේ 1991 පැවති පළාත් පාලන මැතිවරණයේ සිට ඉන්පසු පැවති පළාත් සභා මැතිවරණයත්, 94 පැවති පාර්ලිමේන්තු මැතිවරණයත් නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවැත්වුණි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදි ළග ළග තරගයකින් පොදු පෙරමුණට බලය ලබාගත හැකිවූයේ ද එම මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයකින් පැවති නිසාය.

පාලන බලයේ සිටින පක්ෂයට අවශ්‍ය ලෙස මැතිවරණ ප්‍රතිඵල ලබාගත හැකි මැතිවරණ ක්‍රමය මහජනයාගේ අව්‍යාජ කැමැත්ත ප්‍රකාශ වීමට ඉඩ ලැබෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කරන බවටත්, ඒ සඳහා අවශ්‍ය සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදිම පිණිස නොපමාව ක්‍රියාකරන බවටත් පොදු පෙරමුණ මහජනයා ඉදිරියේ පොරොන්දු වී තිබුණේ ය. එහෙත් බලයට පැමිණීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයාට අවශ්‍ය බලතල ලබාදිමෙන් වැළකී සිටියා පමණක් නොව පාලක පක්ෂයේ අනුග්‍රහයෙන් කෙරෙන මැතිවරණ දූෂණ උපරීම තත්ත්වයකින් ක්‍රියාවට නගන පරිසරයකට ද ඉඩ දුන්නේ ය.

පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ මෙතෙක් පවත්වා ඇති හැම මැතිවරණයක්ම දූෂිත විය. 1997 පළාත් පාලන මැතිවරණයේදි රට පුරා දූෂණ සිදු නොවූවත්, ඇතැම් කලාපවල ඉහළම මට්ටමින් දූෂණ සිදුවිය. ඉන්පසු 1999 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණය තරම් දූෂිත මැතිවරණයක් මෙතෙක් පවත්වා නැති තරම්ය. ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට පවා පිළිගන්නට සිදුවිය. ඊට වගකිවයුතු අය සොයා බලා දඬුවම් කිරීම පිණිස කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බවට ජනාධිපතිනිය ජාතිය අමතා ප්‍රකාශ කළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේවත්, ඒ ගැන සොයා බැලීමක් කළේවත් නැත. ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් ලෙස සැලකිය හැකි ජනාධිපතිවරණයට ද බරපතල දූෂණ චෝදනා එල්ල විය. හොරට නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට ඇති බවටද චෝදනාවක් පවතී.

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට යන්නට ප්‍රථම මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට හේතුවන ලෙස ක්‍රියා නොකළහොත් සමස්ත මැතිවරණ ක්‍රමය කෙරෙහි මහජනයා අතර පවත්නා විශ්වාසය බිඳ වැටෙනු නොවැළැක්විය හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසියම් ප්‍රමාණයක හෝ හැගීමක් ආණ්ඩුවේ නායකයන් තුළ ඇත්නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ප්‍රථම ගොරෝසු ලෙස හෝ සියුම් ලෙස ඡන්ද මංකොල්ලකෑම්වලට ඉඩක් නොලැබෙන ක්‍රමයක් ඇති කරගත යුතු ය. එවැනි ක්‍රමයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එය ආණ්ඩු පක්ෂය විසින් තනිව කරන ක්‍රියාවක් බවට පත් නොකර ගනිමින් සියලු පක්ෂ එකතුව ඇතිකර ගන්නා ක්‍රියාමාර්ගයක් බවට හරවා ගැනීමෙන් පමණ ය. මේ විෂයයට විසර්ම් සොයා ගැනීම නොපමාව කළයුත්තක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට පෙර එවැනි විසඳුමක් සොයා ගැනීමට අප අසමත් වුවහොත් සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයම මහජනයාගේ හාස්‍යයට හේතුවන දෙයක් බවට පත්වනු නොවැළැක්විය හැකි ය.