පොදු පෙරමුණු ආණ්ඩුවේ ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කර තිබෙන ප්රකාශය තුළ අන්ඩර දෙමළ ගතියක් ඇතත්, ඔහු ඒ මගින් කියන්නට යන්නේ අපට එම ව්යවස්ථා කෙටුම්පත පිළිබඳව බරපතල විවේචනයක් ඇතත්, පොදු පෙරමුණු ආණ්ඩුව එය තමන්ට තිබෙන එකම විසඳුම ලෙස සලකන තත්ත්වයක් ඉදිරියේ එම ව්යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට තම පක්ෂය අවහිර නොකරන බවය. ව්යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට තම පක්ෂය ඡන්දය දෙන බවට එහි සෘජු ලෙස ප්රකාශ කර නැතත්, ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ අසාර්ථක වුවහොත් තමන් ඇති කරන ආණ්ඩුක්රම ව්යවස්ථාවකට ද අවහිර නොකොට තමන් මෙන් ආධාර කරන ලෙස ඉල්ලා සිටීමෙන් පැටලිලි සහගත වුවත් අනියම් ලෙස ප්රකාශ කර ඇත්තේ නව ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි නම් එය සම්මත කරගැනීමට තම පක්ෂය සහාය දෙන බව මිස ඡන්දය නොදෙන බව විය නොහැකිය.
මෙය විපක්ෂ නායකයා ආණ්ඩුවේ ප්රධානියා වෙත යවන ලද ගුග්ලි පන්දුවකට සමානය. පන්දුයවන්නාගේ පන්දු යවන විලාශයේ පෙනුම අලංකාර නොවූවත්, පන්දු යැවීම බලවත්ය. ජනාධිපතිනිය එම පන්දුවට කවර ආකාරයකට මුහුණ දෙන්නට යන්නේ ද යන්න නොපැහැදිලිය.
ජනාධිපතිනිය හැමවිටමත් පුන පුනා කීවේ යුද්ධය විසඳාලීමට තමන්ට නොහැකි වූයේ තමන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට අවශ්ය තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්ය අඩු ඡන්ද ප්රමාණය ලබාදිමට රනිල් වික්රමසිංහ අපොහොසත්වූ නිසා බවය. ජනාධිපතිවරණයේදී ඇය ඉන් ඉදිරියට යමින් ජනාධිපතිවරණයේදී තමන් ලබන ජයග්රහණයකින් පසුව ජේ.ආර්. ජයවර්ධනගේ බහුබූත ව්යවස්ථාව කෑලි කෑලිවලට ඉරා දමා තමන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පතක් සම්මත කරගන්නා බවද ප්රකාශ කළාය.
ජනාධිපතිවරණයේදී ගැලරියේ ජනයා පිනවීමට ජනාධිපතිනිය එසේ කිව්වත් ජනාධිපතිවරණයෙන් පසුව ජේ.ආර්.ගේ බහුබූත ව්යවස්ථාව කෑලි කෑලිවලට ඉරීමක් ඈ අතින් සිදු නොවීය. තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්ය කරන ඉතිරි පිරිස පොදු පෙරමුණට එකතු කර දෙන බවට විකල්ප කණ්ඩායමේ නායකයා ලෙස ක්රියා කරන සරත් අමුණුගම පොරොන්දු වී තිබුණත්, එයද බලාපොරොත්තු වූ ආකාරයට සාර්ථක කරගැනීමට සමත් නොවීය.
එහෙත් එම ව්යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට අවශ්ය ඡන්ද සිය පක්ෂයෙන් ලබාදිමට තමන් සූදානම් බව එජාප නායකයා ප්රකාශ කර තිබෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවට අවශ්ය නම් දැන් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට පෙරාතුවම නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්මත කරගත හැකිය.
එහෙත් නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්මත කරගතහොත් ජනාධිපතිනිය විධායක ජනාධිපති ක්රමය අතහැර අගමැති ලෙස පාර්ලිමේන්තුවට යා යුතුය. තිබෙන වැදගත්ම ප්රශ්නය ජනාධිපතිනිය විධායක ජනාධිපති ක්රමය අතහැර අගමැති ලෙස පාර්ලිමේන්තුවට ඒමට සූදානම් ද යන්නයි.
රටේ පවතින විධායක ජනාධිපති ආණ්ඩු ක්රමය තුළ විධායක ජනාධිපති හය අවුරුදු කාලසීමාවක් සඳහා වන ඒකාධිපති පාලකයකුට සමානය. ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවේ අසුන් නොගනී. පාර්ලිමේන්තුවේ මතු කෙරෙන ප්රශ්නවලට ද පිළිතුරු දිමට බැඳී නොසිටින්නේය. ජනාධිපති ආණ්ඩුවේ ප්රතිපත්තිවල උල්පත ලෙස ක්රියා කළත්, පාර්ලිමේන්තුවට ජනාධිපති විවේචනය කළ නොහැකිය. මොනම වරදක් සඳහාවත් නිල කාලය තුළ මැතිවරණ පෙත්සමකදි හැර වෙනත් කවර කාරණයක් සඳහාවත් අධිකරණයට ද යටත් නැත. ඉතාමත් බරපතල වරදකදි වුවත් ජනාධිපති ඉවත් කිරිමේ බලයක් පාර්ලිමේන්තුවට ද නැති තරම්ය. පාර්ලිමේන්තුවේ අසුන් නොගත්තත්, කැබිනට් මණ්ඩලයේ ප්රධානියා ලෙස ක්රියා කරන්නේ ද ජනාධිපතිය. කැබිනට් ඇමතිවරුන් පත්කරන්නේ ද ජනාධිපති විසිනි. එහිදී ජනාධිපතිට අවශ්ය නම් තමන් කැමති තරමක් කැබිනට් ඇමති ධුර තමන් වෙත ද පවරා ගත හැකිය.
පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් තුළ මේ චිත්රය මුළුමණින් උඩ යට පෙරළේ. අගමැතිවරයා ආණ්ඩුවේ ප්රධානියා වුවත් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවේ අසුන් ගත යුතුය. ඔහු හෝ ඇය විවේචනයට ලක් කළ හැකිය. වැරදිවලදි නඩු පැවරිය හැකිය. පාර්ලිමේන්තු විවාදවලට සහභාගිවෙමින් මතුවන ප්රශ්නවලට පිළිතුරු දිමට බැඳී සිටින්නේය. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් අගමැතිවරයා පරාජය කළ හැකිය. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට පමණක් වුවත් තම කණ්ඩායමේ බහුතර ඡන්දයකින් ආණ්ඩුවේ ප්රධානියා වෙනස් කළ හැකිය.
එක දිගට අවුරුදු 05ක කාලයක් ඒකාධිපති ජනාධිපති ක්රමය රස විඳ ඊට හුරු පුරුදු වූ නායිකාවක් ඒ සියල්ල අතහැර ඊට වඩා ඉතාමත් අඩු බලයක් ඇති, පෙරළා දැමීමකට පහසු, කර්කශ විවේචනයන්ට මුහුණ දියයුතු ක්රමයක් වෙත මාරුවීමට කැමති වනු ඇතැයි සිතිය නොහැකිය.
එහෙත් “අනේ අපොයි එවැනි ක්රමයකට මාරුවීමට නම් මා කැමති නැතැයි” ඇයට කිව නොහැකිය. විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට ඇය පුන පුනා මහජනතාවට පොරොන්දු වුවාය. පසුගිය ජනාධිපතිවරණයේදීත් ඇය ඒ බව පුන පුනා ප්රකාශ කළාය. දැන් මට බැහැයි කිවහොත් රටේ මහජනතාව අතර පමණක් නොව සිය පාක්ෂිකයින් අතර පවා ඇය දේශපාලන වශයෙන් කුපිතවීම නොවැළැක්විය හැකිය. ඇයගේ කැබිනට් ඇමතිවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම ද ඇය දැන් ඉන්නා මහේශාඛ්ය තැනින් පහළට බසිනවා දකින්නට කැමති වනු ඇති බවට සැකයක් නැත. ඒකාධිපති ජනාධිපති ක්රමය තුළ ඒ සියලු දෙනාට සිය පැවැත්ම රැකගැනීම සඳහා ආත්ම ගෞරවයක් නැති දේශපාලන ප්රවේණිදාස පිරිසක් ලෙස ක්රියාකිරීමට සිදුවී ඇත්තේය. දැන් පවතින ක්රමය අනුව කැබිනට් මණ්ඩලය තුළ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තුළ නිදහස් සංවාදයකට ඉඩක් නැත. ඉතාමත් බරපතල වැරදි සිදුවන අවස්ථාවක පවා සිය නායකයා විවේචනය කිරීමට ඉඩක් නැත. තමන් ඇද වැටී සිටින මෙම දේශපාලන ප්රවේණිදාස තත්ත්වයෙන් නිදහස්වීමේ බලවත් කැමැත්තක් ඒ සියලුදෙනා තුළ නොතිබීමට හේතුවක් තිබිය නොහැකිය.
එවැනි වෙනසක් ඉදිරියේ රටේ ප්රජාතන්ත්රවාදී නිදහසේ ද පුළුල්වීමක් ඇතිවීමද නොවැළැක්විය හැකිය. ඒකාධිපති ජනාධිපති ක්රමයේ සෙවණැල්ල මුළු මහත් සමාජයත්, රාජ්ය සේවයත් වසාගෙන තිබෙන අතර, ජනාධිපතිවරයාගේ කැමත්තට පටහැනි කිසිවකට රටේ ඉඩක් නැති තත්ත්වයක් පවතී. එහෙත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් තුළ සමස්ත චිත්රයම උඩ යට පෙරළෙනු නොඅනුමානය. රටේ බලවත් ලෙස මතුවන මහජන මතයක් පාර්ලිමේන්තුව කෙරෙහි බලපාන අතර එය පාර්ලිමේන්තුවේ සිටින රාජ්ය නායකයා කෙරෙහි ද බලපායි. කර්කශ විවේචනයන්ට ලක්වීමෙන් තොරව සිටීමේ හැකියාව ඒ සමග අවසන් වන අතර මුක්තියට මුවාවී අන්යයන් පීඩාවට පත් කිරිමේ හැකියාවද සීමාවන්නේය.
එහෙත් දැන් තිබෙන මූලික ප්රශ්නය එවැනි පරිවර්තනයකට ජනාධිපතිනිය කැමතිවේද යන ප්රශ්නයයි. නව ව්යවස්ථා කෙටුම්පතට එජාප සහාය දෙන්නට යන පිළිවෙත තුළ ජනාධිපති ක්රමය අත්හැරිමට තමා සූදානම් නැතැයි ප්රකාශ කළහොත් ඇය මහජනයා ඉදිරියේත්, තම කැබිනට් ඇමතිවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්, පාක්ෂිකයින් ඉදිරියේත්, රටේ සුළු ජාතීන් ඉදිරියේ හා ජාත්යන්තර ප්රජාව ඉදිරියේත් ඉතාමත් හාස්යජනක තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
රනිල් වික්රමසිංහ සිය ගුග්ලි පන්දුවෙන් අරමුණු කරන්නට ඇත්තේ ද එයම විය හැකිය.