කලාකරුවොත් මරණ බියෙන්

January 30, 2000
Publication:
After the presidential election thugs burned down the house of actress Anoja Weerasinghe for campaigning for the UNP, and later raided the Mattegoda home of singers Rookantha and Chandralekha, holding a pistol to Rookantha's mouth, cutting the couple's hair and robbing them. Threats have also reached Dharmasiri Bandaranayake and Upulshantha Sannasgala. The piece quotes Weerasinghe likening herself to Hecuba and asks what Vijaya Kumaratunga would have said.

පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සහයෝගය නොදිමේ වරදට, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දින තුනකදි රැස්වීම් හතක කතාකිරිමේ වරදට රටේ ප්‍රකට කලාකාරියක් ලෙස සැලකෙන අනෝජා වීරසිංහගේ නිවස මුළුමණින් අළු බත් කළේ ය. ඒ වරදට ම ඒ මැරයින් පිරිස 27 වැනිදා රාත්‍රී රූකාන්ත හා චන්ද්‍රලේඛා යන කලාකරුවන් යුවළට ද දඬුවම් කිරීමේ අරමුණ ඇතිව මත්තේගොඩ පිහිටි ඔවුන්ගේ නිවස ද සොයා ගෙන ගියහ. රූකාන්තගේ කටට පිස්තෝලයක් තබා තර්ජනය කොට ඒ දෙදෙනාගේ කොණ්ඩය කපා දෑමුවේ ය. ඔවුන් දෙදෙනාගේ ඇගේ තිබුණ රත්තරන් බඩු, නිවසේ තිබූ මිල මුදල් හා රත්තරන් බඩු ද රැගෙන අනෝජාගේ නිවසට කළා සේ පෙට්‍රල් යොදා නිවස ගිනි තැබීමට උත්සාහ කළත්, මිනිසුන්ගේ මැදිහත්වීම නිසා ඒ දේ පමණක් ඔවුන්ට කළ නොහැකි වුයේ ය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමග රට මේ යන්නට යන්නේ කොතැනට ද? විරුද්ධ මත දරන කලාකරුවන් වෙත යොමුවී තිබෙන වෛරයේ ගිනිදෑල් තවමත් අවසන් වී නැත. ධර්මසිරී බණ්ඩාරනායක වෙතත්, උපුල්ශාන්ත සන්නස්ගල වෙතත් තර්ජන එල්ලවෙමින් තිබෙන බව ද දෑනගන්නට තිබේ.

දැන් අනෝජා වීරසිංහ ඉන්නේ විදේශ ගතව ය. රූකාන්ත හා චන්ද්‍රලේඛාට ද එම කණගාටුදායක ඉරණමට මුහුණ දෙන්නට සිදුවූයේ ආරක්ෂාව සඳහා විදේශ ගතව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණ පළමු දිනයේ ය.

නිවස ගිනි තැබීමෙන් අනෝජාට සිදුකර තිබෙන මූල්‍ය අලාභය රුපියල් දශ ලක්ෂ 3කි. එහෙත් ඒ ගැන ඇය කණගාටු නොවේ. ඇය වැළපෙන්නේ තමන්ට මුදලින් මිලදි ගත නොහැකි කෞතුකාගාරයක් ගොඩනැගීමේ අභිලාෂය ඇතිව තමන්ගේ කලාකාර ජීවිතයට අදාළව එක් රැස් කර තිබූ සමස්ත කෞතුක එකතුව ගිනිබත් කොට විනාශ කිරීම ගැන ය.

තමන්ට සිදුකර තිබෙන අතිවිශාල විනාශය මැද, ඇය ප්‍රඥාවන්ත ගැහැණියක් ලෙස සියල්ල දකින්නට උත්සාහ දරා ඇති ආකාරය අන් අයට ද ආදර්ශයකි.

ඇය මෙසේ කියන්නීය.

්වචනයේ පරීසමාප්ත අර්ථයෙන් ම මම ට්‍රෝජන් කාන්තාවෝ හී “හේකබ්” වී සිටිමි. මාගේ රට ගිනිගෙන අවසන් ය. මා සතු සියලු දේ ගිනි බත්වී හමාර ය. මෙය දෛවයේ කුමන නම් හාස්කමක් ද? දෙවියන් කලාකාරියක ලෙස මා වඩාත් පන්නරයකට පත් කළා යයි මම සිතමි. අළු, දූවිලි මතින් නැගිටින හේකබ් ලෙසින්ම අනෝජා වීරසිංහ අළු දූවිලි මතින් නැගිටිනු ඇත. මේ විනාශකාරී යුද්ධයේ මේ බලලෝභී ජඩ දේශපාලනයේ ස්වභාවය මම මාගේ ශක්ති ප්‍රමාණයෙන් ලොවට කියා දෙමි. ජාතිකවත්, ජාත්‍යන්තරවත් මම ඒ පිළිබඳව මිනිසුන් දෑනුවත් කරමි. තානාපති කාර්යාලවලටත්, විදේශ ජනමාධ්‍යවලටත් දේශීයව දැනුම් දිය යුතු සැමටත් මම දෑනුම් දෙමි.”

අනෝජා වීරසිංහටත්, ඇයට මෙන් තර්ජන, ගර්ජනවලට මුහුණ දෙන්නට සිදුවී ඇති සියලුම කලාකරුවන්ටත් අළු දූවිලි මතින් නැගිටින හේකබ් ලෙසින් ම නැගී සිටීමට අවශ්‍ය ධෛර්යය ලැබේවා කියා අපි ද ප්‍රාර්ථනා කරමු.

මේ සියලු කලාකරුවන්ට මෙවැනි අමන තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ කලාකරුවන්ට මුළු හදවතින්ම ආදරේ කරන බව කියන, ඔවුන් හදවතින් ම ආරක්ෂා කරන බව කියන, රටේ හිටපු ජනප්‍රිය සිනමා නළුවකුගේ වැන්දඹු බිරිඳක් රටේ ජනාධිපතිනියව සිටින හා ප්‍රමුඛ සිනමා නළුවකු ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකයාව ක්‍රියාකරන තත්ත්වයක් ද රටේ තිබියදි ය. හිත හොඳ මිනිසකු ලෙස සැලකුණු විජය කුමාරතුංග ජීවතුන් අතර සිටියේ නම්, තමාගේ සහෝදර කලාකරුවන් පිරිසට එල්ල වී තිබෙන මේ භීෂණය ගැන ඔහු කුමක් කියනු ඇත් ද?