අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය නැවත උණුසුම් සංවාදයකට හේතුවන මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනාගේම (ටිරන්ත වලලියද්ද හා විජේදාස රාජපක්ෂ) “අධිකරණ ස්වාධීනත්වය” ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබේ. එහෙත් ඔවුන් දෙදෙනා ඉන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් මෙම තරගකරුවන් දෙදෙනා මීට පෙර කිසියම් විශේෂ දායකත්වයක් ලබාදී ඇත්නම් ඒ කෙසේද යන්නද ඔවුන් දෙදෙනාම පැහැදිලි කර තිබෙන බවක්ද පෙනෙන්නට නැත.
අධිකරණය විධායකයේ ඇඟිලිගැසීම්වලින් තොර තත්ත්වයක තිබිය යුතුය. අධිකරණයට කැරෙන දේශපාලන ඇඟිලිගැසීම්වලට නීතිඥයන් පමණක් නොව, විනිසුරුවරුන්ද විරුද්ධ විය යුතුය. දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර තත්ත්වයක් ඇති කරගැනීමෙන් පමණක් අධිකරණය ස්වාධීන වන්නේ නැත. ස්වාධීනත්වය හා ගෞරවය අධිකරණය සිය පැවැත්ම හා ක්‍රියාකාරීත්වය තුළින්ම ලබාගත යුතුව තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ කෙරෙහි නීතිඥ වෘත්තියේ ක්‍රියාකාරීත්වය හා පැවැත්මද බලපායි. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නීතිඥයන් හෝ මහජනයා හඬ නැගුවේ නැත. ඇඟිලිගැසීම් තිබියදීත් ස්වාධීන හා ගෞරවයට හේතුවන අධිකරණයක් පවත්වාගෙන යෑමට විනිසුරුවරු දුෂ්කර අරගලයක නිරත වූහ. විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට මැරවරයන් උද්ඝෝෂණය කරන තත්ත්වයක් තිබියදීත් විනිසුරුවරු එම ප්රවණතාවට යට නොවී මහජනයාගේ ගෞරවයට හේතුවන ලෙස නීතිය පසිඳලූහ.
අධිකරණය පවත්වාගෙන ගිය එම යහපත් සම්ප්රදාය කනපිට හරවන ලද්දේ විවාදයට හේතුවී තිබෙන සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුවය. දේශපාලනඥයකුගෙන් ලබාගන්නා ලියුම් කැබැල්ලකින් තොරව මහජනයාට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා යා හැකිව තිබුණු එකම තැන ලෙස සැලකිය හැක්කේ අධිකරණයයි. ඒ තත්ත්වය නැති කළේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. ජනමත විචාරණ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලෙන විමර්ශනයේදී හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනයට පටහැනිව යන කිසිවක් නීතිගත කිරීමට අධිකරණය ඉඩ දුන්නේ නැත. ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීමේ විමර්ශන තීන්දුවද ඒකමතික නොවීය. පස්දෙනකු ඊට පක්ෂපාත වන විට අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඇතුළු සිව්දෙනෙක් ඊට විරුද්ධ වූහ. ඉතාම වැදගත් දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නීති විමර්ශනවලදී ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බහුතර පිරිසක් විනිශ්චය මණ්ඩලවලට සම්බන්ධ කරගැනීමය. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සහභාගි කරවා ගැනීමෙන් තොරව තුන්දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නඩු විමසන තත්ත්වයක් ඇති කළේද අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ යුගයේදීය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත් කළේය. මුළු දේශපාලන ක්රමයම විකෘති කිරීමට හේතුවූ පක්ෂ මාරුවට නීත්‍යනුකූල පදනමක් ලබාදෙන ලද්දේද ඔහු විසිනි. ඔහුගේ කාලයේදී අධිකරණය පාර්ලිමේන්තුවේ කතානායකට තහනම් නියෝග පනවන තරම් අන්තවාදී තැනකට ගෙන ගියේය. ඔහු තමාගේම නඩු තමා විසින්ම අසා ඔවුන්ට දඬුවම් කළේය. ඔහු අධිකරණයේ ශීලාචාරකමද නැති කළේය.
ඒ දේවල් සිදුවන විට අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන හඬ නගන නාමධාරී නීතිඥයන් කළේ කුමක්ද? ඔවුන් නිශ්ශබ්දව බලා සිටියේ නැතිනම් අගවිනිසුරුට උඩගෙඩි දුන්නේය. ඒ හැර අධිකරණයේ ස්වාධීනත්වය හෝ ගෞරවය වෙනුවෙන් එකම වචනයක් හෝ කතා කර තිබේද?
හිටපු අගවිනිසුරුට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සුදුසු නොවේය කියා මොහොතකට කල්පනා කළද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ කාලයේ සොයා බැලීමට තරම් කිසිදු බරපතළ වරදක් සිදුවී නැතැ”යි කීමට ඔවුන්ට හැකියාවක් තිබේද? ඔවුන් විරුද්ධ වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පමණක් නම් ඒ කාලයේ සිදුවූ බරපතළ වැරදි ගැන සොයා බැලීමට අන් විකල්ප ක්‍රමයක් යෝජනා කිරීමෙන් තොරව එයට විරුද්ධවන්නේ ඇයි?
නීතිඥයන්ට අදාළ මේ මෑත දිනකදී පැවති රාත්‍රී සාදයකදී සරත් නන්ද සිල්වා ආශ්රයෙන් මතුවූ කතාවක් මත නීතිඥයකු විසින් රාජ්පාල් අබේනායකට පහර දී තිබේ. රාජ්පාල් නීතිඥයකු වනවා සේ ම පුවත්පත් කතුවරයෙක් ද වේ. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කැරුණු අවස්ථාවේදී ඔහුගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනෙන් එකක පෙත්සම්කරු වූයේද රාජ්පාල් අබේනායකය. රාජ්පාල්ට පහරදීමේ සිද්ධිය ගැන නීතිඥ සංගමය හෝ කර්තෘ සංසදය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් කර නැත.
රාජ්පාල් ලියන ලද කොලමක එන විස්තර අනුව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලය තුළ සිදුවූ වැරදි සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනවාට එරෙහිව නීතිඥ පිරිසක් ඉදිරිපත් කළ යෝජනාව නීතිඥ සංගමයේ විධායක කාරක සභාවේ අනුමත වී තිබේ. රාජ්පාල්ට අනුව මේ ව්‍යාපාරය මෙහෙයවා ඇත්තේ නීතිඥ ජේ.සී. වැලිඅමුණ හා උපුල් ජයසූරිය විසිනි. රාජපාල් ලියා ඇත්තේ සත්‍යයක් නම් ඔවුන් දෙන පණිවුඩය පරස්පර විරෝධී බව කිවයුතුය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී දූෂණ චෝදනා මත ඔහුට එරෙහිව පාර්ලිමේන්තු පරීක්ෂණයක් සහිත දෝෂාභියෝගයේ මුල් කෙටුම්පත සකස් කරන ලද්දේ උපුල් ජයසූරිය හා වැලිඅමුණ විසිනි. එදා පාර්ලිමේන්තු පරීක්ෂණයක් හොඳ වී නම් එය අධිකරණයේ ස්වාධීනත්වය හීන කරන ක්‍රියාවක් නොවී නම් අද පාර්ලිමේන්තු පරීක්ෂණයක් නරක් වන්නේ කෙසේද? එය අධිකරණයේ ස්වාධීනත්වය හීන කරන දෙයක් වන්නේ කෙසේද?