විකෘති වී තිබෙන දේශපාලන සංස්කෘතිය ප්‍රකෘති කිරීමේ අවශ්‍යතාව

October 23, 2011
Publication:
Until the Kolonnawa tragedy on polling day, the political society saw the problems to be settled after the war as the visible ones — the disappeared, the displaced, the destroyed houses and infrastructure. What made them see that the great distortions the war worked on social life are a large problem too was what happened between Bharatha Lakshman and Duminda at Kolonnawa.

මැතිවරණ දිනයේ කොළොන්නාවේ ඇතිවූ ඛේදවාචකය තෙක්ම යුද්ධය නිමාවීමෙන් පසු විසඳා ගත යුතුව තිබෙන ප්‍රශ්න ලෙස දේශපාලන සමාජය දැක්කේ අතුරුදන්වූවන්, අවතැන්වූවන්, විනාශ වී තිබෙන ගෙවල් දොරවල් හා යටිතල පහසුකම් වැනි මතුපිටින් පෙනෙන්නට තිබුණු ප්‍රශ්න ගැන පමණය. යුද්ධය විසින් සමාජ ජීවිතයේ ඇති කර තිබෙන මහා විකෘති ද එය විසින් ඇති කර තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස දකින්නට ඔවුන් පොළඹවාලූ සිද්ධිය ලෙස සැලකිය හැක්කේ භාරත ලක්ෂ්මන් හා දුමින්ද මුල් කොටගෙන කොළොන්නාවේ ඇතිවූ ඛේදවාචකයයි.

සිංහල දකුණේත් දෙමළ උතුරේත් මොන මොන හේතු නිසා හෝ කිසියම් විශාල තරුණ පිරිසක් ආයුධ සන්නද්ධ අරගල මාවතකට යොමුවී තිබුණේය. ඔවුන්ගේ ප්‍රචණ්ඩ සටන් මැඬ පැවැත්වීම සඳහා එක් අතකින් ආරක්ෂක හමුදා ආයුධ අතට ගෙන සටන් කරන සංවිධානවලට එරෙහිව යොදාගැනීමට සිදුවූ අතර ඒ සඳහා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණයේද අතිවිශාල වර්ධනයක් ඇති කිරීමට සිදුවිය. මෙම ගැටුම තුළ ජීවත් වූ නිල දේශපාලනඥයන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතු කොටගෙන ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂක භට සංඛ්‍යාවක් ලබාදීමට රජය අපොහොසත්වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක කණ්ඩායම් පවත්වාගෙන යෑමේ අයිතිය ලබාදීමට රජයට සිදුවිය. පෞද්ගලික ආරක්ෂාව සඳහා යොදාගත හැකි හොඳම පිරිස ලෙස දේශපාලනඥයන්ට පෙනුණේ ප්‍රදේශයේ අපරාධකාරී පසුබිමක් ඇති මිනිසුන්ය. ඒ නිසා රටේ නීති සම්පාදකයන් ලෙස ක්‍රියාකරන දේශපාලනඥයන් හා නීතිය නොසලකා ක්‍රියාකරන අපරාධකරුවන් දේශපාලනඥයන්ට රැකවරණය ලබාදෙන විට දේශපාලනඥයන්ටද පෙරළා අපරාධකරුවන්ට රැකවරණය ලබාදීමට සිදුවිය. අපරාධකරුවෝ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා මනුෂ්‍ය ඝාතනවල යෙදෙන විට තමන්ගේ පුද්ගලික අපරාධකාරී අරමුණු අනුවද මනුෂ්‍ය ඝාතනවල යෙදුණෝය. දේශපාලන රැකවරණය ආවරණයක් කරගනිමින් කප්පම් ගත්තෝය. මංකොල්ල කෑවෝය. සමහරවිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දේශපාලනඥයන්ගේ නිල රථ හෝ ආරක්ෂක රථ ප්‍රයෝජනයට ගත්තෝය. මේ අපරාධකරුවන් විසින් සිදුකරන ලද සියලු අපරාධ ඔහු ආරක්ෂා කරන දේශපාලනඥයාගේ වුවමනාව හෝ අනුදැනුම ඇතිව කරන ලද දේවල් නොවීය. එහෙත් ප්‍රශ්නයක් ඇතිවූ විට තමන්ට සේවය කරන අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීමට දේශපාලනඥයන්ට සිදුවිය. මේ දෙපිරිස එම දීර්ඝ බිහිසුණු කාලපරිච්ඡේදය තුළ එකට එකතුවී ක්‍රියාකිරීමේ ප්‍රවණතාව කොතරම් ශක්තිමත් තත්ත්වයකට වර්ධනය වී තිබුණේද කියතොත් බිහිසුණු අපරාධකරුවන් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්වල පමණක් නොව රජගෙදර පවා ලැගුම් ගන්නා තත්ත්වයක් ක්‍රමයෙන් ගොඩනැගුණි. ජනාධිපති ප්‍රේමදාස සිය රජගෙදර බවට පත්කරගත් සුචරිතයේ දොරටු සොත්ති උපාලිට හැමවිටකම විවෘත වී තිබුණේය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගය තුළ බැද්දගාන සංජීව ඔහුගේ අපරාධ කටයුතු මෙහෙය වූයේ අරලියගහ මන්දිරය මූලස්ථානය කොටගෙනය. කොළොන්නාව ඛේදවාචකයෙන් මෙම ප්‍රවණතාව රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහිද විනාශකාරී ලෙස බලපා තිබෙන තරම පෙන්නුම් කරයි. දේශපාලනඥයන් විශාල ගණනකගේ ජීවිත ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් බිලිගන්නා තත්ත්වයක් තුළ දේශපාලනඥයන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේද ඔවුන්ගේ ජීවිත පිළිබඳව ඇති කරගත් මහා බියකින් යුතුවය. ප්‍රචණ්ඩ අරගල හා ඒවා මර්දනය කිරීම සඳහා දශක තුනක් තිස්සේ ක්‍රියාත්මක වූ යුද ව්‍යාපාරය, සමාජය විශාල ප්‍රමාණයේ මිලිටරිකරණයකට හා පාදඩකරණයකට තල්ලු කිරීමට හේතුවී තිබුණි. සන්නද්ධ කැරලිකරුවන්, රජයේ නිල හමුදා, අතුරු හමුදා හා ආයුධ සන්නද්ධ අපරාධකරුවන් වශයෙන් සමාජයේ ආයුධ අත ඇතිව සිටින අයගේ සංඛ්‍යාව අතිවිශාල ප්‍රමාණයකට (දළ වශයෙන් 60 ගුණයකින් පමණ) වර්ධනය වූයේයැ”යි කිව හැකිය.

මෙම ක්‍රියාවලියට (මිලිටරිකරණය හා පාදඩකරණය) හා ඒ ආශ්‍රයෙන් ගොඩනැගී තිබුණු සමාජ වටාපිටාව සමාජ මානසිකත්වයේද මහා විකෘතියක් ඇති කිරීමට හේතුවී තිබේ. මිනිසුන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේ බියෙනි. එය මිනිසුන්ගේ ජීවිත පමණක් නොව, මනුෂ්‍ය වටිනාකම්ද ප්‍රදර්ශනාත්මක ආකාරයකින් බුල්ඩෝසර් කැරුණු බිහිසුණු කාලපරිච්ඡේදයක් විය. නිරන්තරයෙන්ම ඝාතනයට ලක්වන අඹු දරුවන් නගන විලාප හඬින් වාතලයේ ගිගුම් දුන් යුගයක් විය. මිනිසුන්ගේ ජීවිත හා දේපළ විනාශ කැරෙන බිහිසුණු පහරදීම් ඉතාමත්ම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. බිහිසුණු ක්‍රියාවන්හි යෙදෙන මිනිසුන්ගේ මනස් පමණක් නොව ඒවා දකින හා අසන මිනිසුන්ගේ මනස් ද විකෘති කිරීමට හේතුවී තිබුණි. ආචාර්ය දයා සෝමසුන්දරම් ඔහු විසින් උතුරේදී ප්‍රතිකාර කරන ලද මානසික රෝගීන් ආශ්‍රයෙන් ලියා පළකොට තිබෙනගීජ්රුා ඵසබාි. නමැති කෘතිය මෙම ගැටුම් වටාපිටාව තුළ උතුරේ දෙමළ සමාජ මනසේ ඇතිවී තිබෙන විකෘතියේ ස්වභාවය හා තරම පිළිබඳ කදිම චිත්‍රයක් ලබාදෙයි. ඒ චිත්‍රය දෙමළ උතුරට පමණක් නොව සිංහල දකුණට හා මුළු රටටම ද ගැළපෙන්නේය. සමාජ මනස තිබෙන්නේ ප්‍රතිකාර ලැබිය යුතු විකෘති වූ තත්ත්වයකය. විජේවීර හා ප්‍රභාකරන් පරාජය කර ඇතත්, ඔවුන්ගේ පැවැත්ම ආශ්‍රයෙන් කැරලිකරුවන් හා රජයේ හමුදා අතර ගැටුම් තුළ ජීවත්වෙමින් සිය ජීවිත ආරක්ෂා කරගැනීමට සමත් වූ වාසනාවන්තයන් ලෙස සැලකිය හැකි මිනිසුන් සිටින්නේ ද රෝගී තත්ත්වයකය. මේ ගැටුම් නිසා මියගිය අය භෞතික වශයෙන් මියයන විට ජීවතුන් අතර සිටින අය සිටින්නේද ආධ්‍යාත්මික වශයෙන් මියගිය තත්ත්වයකය.

එක් අතකින් දේශපාලන ක්‍රමය විසින් ද, අනෙක් අතට එම දේශපාලන ක්‍රමය තුළ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් නිසාද විකෘති වී තිබෙන දේශපාලන සංස්කෘතිය යළි ප්‍රකෘති තත්ත්වයකට ගැනීම අවශ්‍ය වී තිබෙන්නා සේ ම රටේ පැවති ප්‍රචණ්ඩ වටාපිටාව විසින් සමාජ මනසේ ඇති කර තිබෙන විකෘතිය ප්‍රකෘතිමත් කිරීමට ද අවශ්‍ය වී තිබේ. එහෙත් එය සරල හෝ පහසු කාරියක් විය නොහැකිය. එය යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ප්‍රශ්න විසඳනවාටත් වඩා හා ජනවර්ග ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදෙනවාටත් වඩා දුෂ්කර දෙයක් විය හැකිය. පක්ෂ භේදයෙන් තොරව දේශපාලනඥයන් හා පාතාල ලෝකයේ අපරාධකරුවන් අතර ගොඩනැගී ශක්තිමත් ලෙස තහවුරු වී තිබෙන සම්බන්ධය කඩා බිඳ දමා දේශපාලන සංස්කෘතිය යටත් පිරිසෙයින් පෙර පැවති තත්ත්වයට ගත යුතුව තිබේ. එහෙත් අපරාධකරුවන් පෙර සිටි තත්ත්වයට යෑමට කැමති වනු ඇතැ”යි සිතිය නොහැකිය. දැන් යුද්ධයක් නැති බැවින් ශ්‍රී ලංකාවට සංඛ්‍යාවෙන් මෙතරම් විශාල ආරක්ෂක හමුදාවක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් ඔවුන්ගේ පිළිගැනීමට හේතුවන විකල්ප රැකියා ලබාදීමකින් තොරව ඔවුන් ආපසු ගෙදර යැවීමේ හැකියාවක් නැත. යුද්ධය ලස්සන දෙයක් නොවූවද යුද සේවය ග්‍රාමීය සමාජයේ දුප්පතුන් අතරට ආදායම් ගලා ගිය ප්‍රධාන මාර්ගය විය. යුද සේවය එහි නිරත ගැමි දුප්පත් තරුණ තරුණියන් හා ඔවුන්ගේ පවුල්වල දිළිඳුබවේ බර සැහැල්ලු කළේය. යුද්ධයක් නැතිව රටේ ප්‍රමාණයට නොගැළපෙන තරම් විශාල ආරක්ෂක හමුදාවක් නඩත්තු කිරීමේ හැකියාව රටට නැත. අනෙක් අතට විකල්ප රැකියා හෝ විකල්ප ආදායම් මාර්ග ලබාදීමෙන් තොරව ආරක්ෂක හමුදාවල සේවය කරන සෙබළුන්ගෙන් කිසියම් විශාල පිරිසක් ආපසු ගෙවල්වලට යැවීමේ හැකියාවක් ද නැත.

විකෘති වී තිබෙන සමාජ මනස ප්‍රකෘති කිරීම ද සරල හා පහසු දෙයක් වන්නේ නැත. දෙපැත්තේ ආයුධ අතට ගෙන සටන් කළ අය කෙරෙහි පමණක් නොව, ඉන් පරිබාහිර අය කෙරෙහිද මෙම විකෘතිය බලපා තිබේ. සමාජයේ සියලුදෙනාම සිටින්නේ මානසිකව ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයකය. එහෙත් ඒ සියලුදෙනා තනි තනිව ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. අවශ්‍යව ඇත්තේ සමාජය මුළු එකක් වශයෙන් ගෙන ප්‍රතිකාර කිරීමය. ඒ සඳහා තෝරාගත යුතු ක්‍රමය කුමක්ද?

දේශපාලන සංස්කෘතියේ කිසියම් හෝ යහපත් වෙනසක් ඇති කරගැනීමට හැකිවනු ඇත්තේ ඒ සඳහා ඉතා බලවත් ක්‍රියාකාරී සමාජ-පීඩනයක් දේශපාලන තලය වෙත යොමුකළ හැකි නම් පමණය. අපරාධකාරයන් හා දේශපාලනඥයන් අතර තිබෙන සම්බන්ධය මහජනතාව අනුමත නොකරන බව මහජනතාව දේශපාලනඥයන්ට පෙනෙන්නට සැලැස්විය යුතුය. එසේම අපරාධකාරී පසුබිමක් ඇති අයට දේශපාලනයට එකතුවීමට තිබෙන ඉඩ ඇහිරීමට හේතුවන නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද ඔවුන්ට හඬ නැගිය හැකිය. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයටද මෙය අවස්ථාවක් කරගත යුතුය. දේශපාලන පක්ෂවලට හා දේශපාලනඥයන්ට කළු සල්ලි ලැබෙන මාර්ග වැසිය යුතුය. මැතිවරණවලදී තරගකරන අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට එම මැතිවරණ කටයුතු සඳහා වැය කළ හැකි වියදම්වලට සීමා පනවන නීති ඇති කළ යුතුය. ඒ සඳහා මහජනයා බලපෑම් කරන තැනකට යායුතුය.