සාධාරණ බව පෙනෙන්නටද තිබිය යුතුය

October 23, 2011
Publication:
The investigation into the tragedy arising from the clash between the member Duminda Silva and the president's trade union adviser Bharatha Lakshman Premachandra is a criminal investigation that puts the working of the law in Sri Lanka to the test. In a criminal case the working of the law begins with the police investigation.

මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හා ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අතර ඇතිවූ ගැටුම ආශ්‍රයෙන් සිදුවී තිබෙන ඛේදවාචකය පිළිබඳව කැරෙන පරීක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය උරගා බැලීමකට ලක් කැරෙන අපරාධ පරීක්ෂණයක් ලෙස සැලකිය හැකිය. අපරාධ සිද්ධියකදී නීතිය ක්‍රියාත්මකවීම ආරම්භවන්නේ ඒ සඳහා පොලීසිය කරන අපරාධ පරීක්ෂණයෙනි.

බැලූබැල්මට පෙනෙන්නට තිබෙන දේ වනුයේ දුමින්ද සිල්වා ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායමක් භාරත ලක්ෂ්මන් ගමන් ගනිමින් සිටින වාහනයේ ගමන් මග හරස්කොට එම වාහනය නවතා වාහනයෙන් පිටතට පැමිණ භාරත ලක්ෂ්මන්ට පහරදී ඔහුට වෙඩි තැබූ බවය. මෙම කණ්ඩායම නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගෙන ඇති බව හා මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඒ ගිනි අවි පාවිච්චි කර තිබෙන බවද පැහැදිලිය. භාරත ලක්ෂ්මන්ට වෙඩි තැබීමෙන් පසු ඔහුගේ ආරක්ෂක භටයකු විසින් තබන ලද වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා ද බරපතළ තුවාල ලබන තත්ත්වයකට පත්වීම ඔහු මෙම සිද්ධියේ වගඋත්තරකරුවකු වීම වළකන්නේ නැත.

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම රෝහල් ගතවී සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් කරන ලද දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යවරයා කර තිබෙන පැහැදිලි කිරීම පිළිගත හැකිය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සෞඛ්‍ය ඇමතිවරයාගේ එම ක්‍රියාව ප්‍රශංසාවට ලක්කිරීමෙන් පෙනීයන්නේ මේ දෙක අතර සම්බන්ධයක් නැති බවය.

එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක දුමින්ද සිල්වා මෙම සිද්ධියේ චූදිතයකු නොවන බවට කර තිබෙන ප්‍රසිද්ධ ප්‍රකාශය බරපතළ ප්‍රශ්න ඇති කරන බව කිවයුතුය. දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයට අනුගත කර සිටි මන්ත්‍රීවරයකු බවට එල්ල වී තිබෙන චෝදනාව සත්‍යයක් වේ නම් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක කර තිබෙන ප්‍රකාශයේ බරපතළකම තීව්‍ර කරයි. පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රශ්නයේදී නිදහස්ව හා සාධාරණව ක්‍රියානොකරන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇතැ”යි සිතන්නේ කෙසේද?

මෙම ප්‍රශ්නයේදී කැබිනට් ඇමතිවරයකු වන වාසුදේව නානායක්කාරගෙන් ප්‍රශ්න කරන තැනකට යෑමද හරි දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඔහුට මහජන මන්ත්‍රීවරයකු වශයෙන් අදහස් පළකිරීමේ නිදහස තිබිය යුතු අතර ඔහු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් අල්ලාගෙන ඔහු ප්‍රශ්න කරන තැනකට යෑම ආණ්ඩුවේ ගෞරවයට හේතුවන්නේ නැත. සිදුකැරෙන පරීක්ෂණ අපක්ෂපාත විය යුතුවා සේ ම අපක්ෂපාත බව පෙනෙන්නටද තිබිය යුතුය.

ඇතිවූ මෙම ඛේදවාචකය අවශ්‍ය නම් දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනස්කම් ඇති කිරීම සඳහා යොදාගත හැකිය. මෙම ප්‍රශ්නය මහජන සංවාදයකට ලක්විය යුතුව තිබෙන්නේ ඒ අර්ථයෙනි.

අපරාධකාරී පසුබිමක් ඇති අය දේශපාලනයට එකතුවීම වැළකිය හැක්කේ කෙසේද? එය නීති මගින් කළ යුතුද? නැතිනම් මහජනයා විසින්ම කළ යුතු දෙයක්ද? දේශපාලනයේදී සල්ලිවලට ලැබී තිබෙන විශාල වැදගත්කම පාලනය කළ යුත්තේ කෙසේද? එහිදී කළු සල්ලි පරිහරණය වැළකිය යුත්තේ කෙසේද? දිස්ත්‍රික්කය පදනම් කොටගෙන ක්‍රියාත්මක වන අනුපාතික ඡන්ද ක්‍රමය අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම ඉහළ දමන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. පැවති ආසන ක්‍රමය තුළ තරග කරන අපේක්ෂකයන්ගේ බල ප්‍රදේශය ඉතා කුඩා විය. එහෙත් දැන් තිබෙන ක්‍රමය අනුව මුළු දිස්ත්‍රික්කයම බල ප්‍රදේශය ලෙස සලකා ක්‍රියාකරන්නට අපේක්ෂකයන්ට සිදුවී තිබේ. මෙම ක්‍රමය හා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා ඇමති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලද අතර එම තේරීම් කාරක සභාව ඇති කළයුතු වෙනස්කම් පිළිබඳව දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ද ඇති කර ගත්තේය. එම තේරීම් කාරක සභාවේ නිර්දේශ ප්‍රමාද කිරීමකින් තොරව ක්‍රියාවට නගන තැනකට යායුතුය.