කොළඹ නගර සභා මැතිවරණය හා වත්කම් බැරකම් නීතිය

October 9, 2011
Publication:
The crafty and comical way the assets and liabilities law works at elections was shown again at the Colombo municipal poll. The law matters at an election because it gives voters the right to know the background of the candidates' assets and liabilities — and they get that right only if candidates file their declarations with their nomination papers.

මැතිවරණවලදී වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක වන සටකපට හා විකට ස්වරූපය කොළඹ මහ නගර සභා ඡන්දයේදී ද හොඳින් පෙන්නුම් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේ නායකයා තමන් ඇතුළු තමන්ගේ මුළු කණ්ඩායම වත්කම් බැරකම් ප්‍රකාශ කරන බව ප්‍රකාශ කරමින් එම ප්‍රකාශන එකතුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රදානය කළේය. ජනමාධ්‍ය කණ්ඩායම් නායක මුසම්මිල් මහතාගේ ඒ ක්‍රියාවට හොඳ මාධ්‍ය ආවරණයක් ද ලබා දුන්නේය. ඒ නිසා මහජනයාට ඇතිවූ හැඟීම වූයේ එජාපයෙන් තරග කරන කණ්ඩායම නීතියට අනුව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලද බවය. එහෙත් ඇත්තටම සිදුවූයේ කුමක්ද? වත්කම් බැරකම් නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාටය. එහෙත් මෙම කණ්ඩායම සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාර දුන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට නොව සිය පක්ෂ නායකයාටය. පක්ෂ නායකයා ඒවා තමා වෙත භාරගත්තා මිස වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු නිසි බලධාරියා තමා නොව ඒවා මැතිවරණ කොමසාරිස්වරයාට භාරදිය යුතු බව ඔවුන්ට කියා දුන්නේ නැත. ජනමාධ්‍යවේදීහු ද මෙම විකට රංගනයේ හරි ඇත්ත මහජනයාට වාර්තා නොකළෝය.

සන්ධානයෙන් තරග කරන කණ්ඩායම් නායක මිලින්ද මොරගොඩ ඇතුළු අපේක්ෂක කණ්ඩායම ද ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට භාර නුදුන්නේය. මිලින්ද මොරගොඩ ලබාදී තිබෙන පොරොන්දු අතර තිබෙන එක වැදගත් පොරොන්දුවක් වන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කළහොත් නගර සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයාට ලබාදෙන බවය. නගර සභිකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු ද එම තොරතුරු අයිතියට ඇතුළත්ය.

වත්කම් බැරකම් නීතියට අදාළව මිලින්ද කර තිබෙන අර්ථකථනය ඔහුගේ ගෞරවයට හේතු නොවන බව කිව යුතුය. ඔහු ඒ ගැන නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියා තිබෙන්නේ තමා ජනාධිපති උපදේශකයකු වශයෙන් ජනාධිපති ලේකම්වරයාට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතත්, මැතිවරණවලදී කවදාවත් මැතිවරණ කොමසාරිස්වරයාට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති බවය. වත්කම් බැරකම් නීතිය ගැන ඔහු කර තිබෙන අර්ථකථනයද වැරදිය. ඔහු කියන්නේ නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට හෝ නගර සභාවේදී නම් පළාත් පාලන ලේකම්වරයාට ලබාදිය යුතු බවය. දිනුවොත් තමා පළාත් පාලන ලේකම්ට වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදෙන බවය. මිලින්ද මොරගොඩගේ අර්ථකථනය අනුව ඡන්ද අපේක්ෂකයකු මැතිවරණ කොමසාරිස්වරයාට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමෙන් වැළකී ඔහු තේරී පත්වුවහොත් පමණක් පළාත් පාලන ලේකම්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම ප්‍රමාණවත්ය.

එහෙත් වත්කම් බැරකම් නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා අවස්ථාවේදී හෝ ඔහු මැතිවරණය ජයගතහොත් දිවුරුම්දීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතුය. පරාජිත අපේක්ෂකයන් ද තුන් මාසයක කාලයක් තුළ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදිය යුතුය.

පරණ මැතිවරණ කොමසාරිස්වරයා විශ්‍රාම ගොස් එම තනතුරට අලුත් මැතිවරණ කොමසාරිස්වරයකු පත්වී ඇතත්, මෙම විෂයයේදී ගමන්ගනිමින් තිබූ බොරුකාර හා නීතියට පටහැනි මාවතෙන් අත්මිදී මැතිවරණ අපේක්ෂකයන්ට බලපාන වත්කම් බැරකම් නීතිය හොඳින් ක්‍රියාවට නගන මාවතකට යොමුවීමට නව කොමසාරිස්වරයා ද සමත්ව තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඔහු ඒ පිළිබඳව පළකර තිබෙන අදහස් සැලකිය හැක්කේ පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් ලෙසය.

කොළඹ මහ නගර සභාවට තරග වදින කිසිදු අපේක්ෂකයකු ඒ දක්වා ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර නැති බව ඔහු පිළිගනී. ඒ සමග ඔහු කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණයට පෙර ලබාදීම අනිවාර්ය කර නැති නිසා මැතිවරණයට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයැ”යි බලපෑම් කළ නොහැකි බවය. මැතිවරණයට අවසන් වී මාස 3ක් ගතවීමට මත්තෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු එහි කියා තිබුණි. දින 30 නීතිය බලපාන්නේ පරාජිතයන්ට පමණය. නීතිය අනුව ජයග්‍රාහකයන් ද, ඔවුන්ගේ දිවුරුම්දීමට පෙර, මැතිවරණ කොමසාරිස්වරයාට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුය. මාස තුනේ සීමාව ඔවුන්ට අදාළවන්නේ නැත.

මැතිවරණ කොමසාරිස්වරයා මේ ප්‍රශ්නය දකින්නට උත්සාහ කරන ආකාරය වත්කම් බැරකම් නීතියේ දර්ශනයට පමණක් නොව, නිදහස් හා සාධාරණ මැතිවරණ දර්ශනයට ද පටහැනිය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට අදාළව වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. හැම විශේෂ නීතියකටම එම නීතියෙන් අපේක්ෂා කරන අරමුණු සඳහා වන දර්ශනයක් තිබෙන අතර එම දර්ශනයේ අරමුණු බෙලහීන කරන අඩුපාඩුකම් නීති කෙටුම්පතට අන්තර්ගත වන අවස්ථාවලදී නීති සංශෝධනයක් මගින් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගන්නා අර්ථකථනයක් මගින් ද එම වැරදි හෝ අඩුපාඩුකම් ජයගත හැකිය. මැතිවරණ කොමසාරිස්වරයාට නම් ඒ කාර්යය අධිකරණයෙන් ලබාගන්නා අර්ථකථනයකින් තොරව පවා සිදු කිරීමේ බලය ඇත්තේය. ඔහු රටේ මැතිවරණ විෂය භාර ප්‍රධාන බලධාරියාය. මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන බලය හා ඔහු විසින් ඉටු කළ යුතුව තිබෙන වගකීම් හා යුතුකම් පිළිබඳව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ අර්ථකථනයන් පවා ලබාදී ඇති බවද කිව යුතුය. එහෙත් ඉතාමත්ම අවාසනාවන්ත දේ වනුයේ මැතිවරණ කොමසාරිස්වරුන් තමන්ට ලැබී තිබෙන ඒ බලය ක්‍රියාත්මක කිරීමට මැලිවීමය.

මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම ඔහු වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීමකි. විශාල බලතල සහිතව ඉතාමත් සුවිශේෂ තනතුරක් නිර්මාණය කර තිබෙන්නේ ඒ සඳහාය.

ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස, අදහස් පළකිරීමේ නිදහසේම කොටසක් බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කර තිබේ. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුවක් අනුව මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළයුත්තේ කාටද යන්න තීන්දු කිරීමට පෙර තරග කරන අපේක්ෂකයන්ගේ පසුබිම් තොරතුරු දැනගැනීමේ අයිතිය ඡන්දදායකයාට තිබිය යුතුය. ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ එහිදී ඡන්දදායකයන්ට ප්‍රයෝජනයට ගැනීමට තිබෙන එක් වැදගත් ලේඛනයකි. ඡන්ද අපේක්ෂකයන් සිය නාමයෝජනා භාර දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව, ඔවුන්ට නඩුහබ තිබේ නම් ඒ පිළිබඳව විස්තර ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ද නාමයෝජනා සමග මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතු බවත්, ඒ ලේඛන දෙකේම සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය ඡන්දදායකයන්ට තිබිය යුතු බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම නඩුවට පාදක වී තිබුණු කාරණය වුයේ මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමග භාරදිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් පනවන ලද නියෝගයකි. මෙම නියෝගයට එරෙහිව කිසියම් පාර්ශ්වයක් අධිකරණය ඉදිරියට ගිය අතර වත්කම් බැරකම් නීතියේ නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව සඳහන් නොවන නිසා මැතිවරණ කොමිසම පනවන ලද එම නියෝගය නීති විරෝධී බවට මහාධිකරණය තීන්දු කළේය. මහාධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත දක්වන ලද අර්ථකථනය කරන ලද්දේ එම නඩු විභාගයේදීය. ඉන් පෙනෙන්නේ මෙම විෂයයෙහි පවතින අවිධිමත්භාවය විධිමත් කිරීමේ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන බවය. ඒ සඳහා වන පූර්වාදර්ශ ද තිබෙන බවය. එසේ තිබියදීත් මැතිවරණ කොමසාරිස්වරයා ඉන්නේ මේ විෂයයේදී අඳුරේ අතපතගාන තැනකය.

මැතිවරණවලදී වත්කම් බැරකම් නීතිය වැදගත්වන්නේ තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ පසුබිම් තොරතුරු දැනගැනීමේ අයිතිය ඡන්දදායකයන්ට ලැබෙන නිසාය. ඒ අයිතිය ඔවුන්ට ලැබෙන්නේ ඔවුන් නාමයෝජනා සමග තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම් පමණය. මැතිවරණයක නිදහස් හා සාධාරණ බව කෙරෙහි මේ සාධකයද බලපායි. ඡන්දදායකයන්ට හරි තීන්දුවක් ගැනීම සඳහා අපේක්ෂකයන් පිළිබඳ සියලු තොරතුරු ලබාදීම පිණිස ක්‍රියාකිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.