කොළඹ නගර සංවර්ධන විවාදය

October 9, 2011
Publication:
Gotabaya Rajapaksa's Colombo development programme is heavily criticised by the opposition, and at first sight what Ivan sees is a good change that can be felt: the city is cleaner than it has ever been, the rubbish heaps along the main roads have stopped, and not only Colombo 7 where the rich live but Borella and Wanathamulla where the poor live are clean, with the traffic much eased.

ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ නගර සංවර්ධන වැඩසටහන විරුද්ධ පක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙන වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. එහෙත් බැලූ බැල්මට මට නම් පෙනෙන්නේ, කොළඹ නගරයේ දැනටමත් ඇතිකර තිබෙන වෙනස, ඇඟට දැනෙන යහපත් වෙනසක් බවය. දැන් කොළඹ නගරය මීට පෙර කවදාවත් නැති තරමට පිරිසිදුය. මොන හේතුවක් නිසා හෝ මහ පාරවල් අයිනේ කුණු ගොඩ ගැසීම නතර වී තිබේ. ධනවතුන් ජීවත් වන කොළඹ හත පමණක් නොව දුප්පතුන් ජීවත් වන බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශය පවා පිරිසිදුය. මාර්ග තදබදයද බොහෝ දුරකට ලිහිල් වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ කන්ටේනර ගමනාගමනය රාත්‍රී කාලයට පමණක් සීමා කළ හැකි නම් මාර්ග තදබදය තවදුරටත් ලිහිල් කළ හැකිය. කොළඹ නගරය ක්‍රමයෙන් අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ.

දැන් පදික වේදිකාවල පදික වෙළෙඳුන් නැත. ඔවුන්ට ඔවුන්ගේ වෙළෙඳාම සඳහා විකල්ප ස්ථාන ලබාදී ඇති අතර තතු දත් මැදිහත් සමහර අය කියන්නේ විකල්ප ස්ථානවල ඔවුන්ට ලැබී තිබෙන පහසුකම් පමණක් නොව ඔවුන්ගේ වෙළෙඳ පිරිවැටුම ද වඩා යහපත් බවය. පදික වේදිකාවන් ද සිමෙන්ති ගල් අල්ලා අලංකාර කර තිබේ. ගල් ඇල්ලීමේ කොන්ත්‍රාත්තුව එකම පුද්ගලයකුට ලැබී තිබෙන බවත්, ඒ වැඩපිළිවෙළ තුළ අත යට ගැහිලි ඇති බව කියන අයද සිටිති. ඒ කතාවල ඇත්ත නැත්ත කුමක් වුවත් පදික වේදිකා අලංකාරවෙමින් පවතී. කොටුව, ගාලුමුවදොර පිටිය, බේරේ වැව, නිදහස් චතුරස්‍රය දියවන්නා ඔය වැනි ප්‍රදේශවල අලංකාර හා යහපත් වෙනස්කම් ඇති කර තිබෙන බවද පෙනෙන්නට තිබේ. පෞරාණික වැදගත්කමක් ඇති ගොඩනැගිලි ඒවාහි පැරණි පෙනුම ආරක්ෂා කැරෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කැරෙමින් තිබෙන අතර ප්‍රතිසංස්කරණය කොට අවසන් කර ඇති සමහර එවැනි ගොඩනැගිලි නගරයට අලංකාර හා ප්‍රතාපවත් පෙනුමක් ලබාදීමටද හේතුවී තිබේ. කොටුවේ ලන්දේසි රෝහල, ඔරලෝසු කණුව හා චැතැම් වීදියේ ඇති පැරණි ගොඩනැගිලි ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන ලෙස සැලකිය හැකිය.

බේරේ වැව අවට ප්‍රදේශය වැනි කොළඹ නගරය තුළ ඇති සමහර ප්‍රදේශ සංවර්ධනය කිරීම ඉලක්ක කොටගත් වැඩසටහන් මීට පෙර ජනාධිපති ප්‍රේමදාස යුගයේදී හා මංගල සමරවීර නාගරික සංවර්ධන ඇමති ධුරයේ සිටියදී දියත් කරනු ලැබුවද ඒ එකුදු ව්‍යාපෘතියක්වත් යහපත් ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූයේ නැත. දැන් තෝරාගත් කොටස් වෙනුවට මුළු කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ මුළු එකක් වශයෙන් ගෙන ලොකු වෙනසක් ඇති කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඔහුගේ සංවර්ධන වැඩසටහන තුළ විවාදයට හේතුවන කාරණා ද තිබෙන්නේය. ඒවා ගැනද කතා කිරීමට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔහුගේ සංවර්ධන වැඩසටහන මුළු එකක් වශයෙන් ගත්විට කොළඹ නගරයේ ක්‍රමවත් බව වර්ධනය කොට ඊට ලස්සන පෙනුමක් ලබාදීමට හේතුවී තිබෙන හොඳ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.

මාගේ මෙම නිරීක්ෂණය සමහර අය දකිනු ඇත්තේ ගෝඨාභය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ සහෝදරයා වන නිසා ඒ පවුලේ අය සතුටු කිරීම සඳහා ලියන අවස්ථාවාදී විවරණයක් ලෙසය. එහෙත් මට ඒ ගැන කියන්නට ඇත්තේ මා මෙසේ ලියන්නේ එවැනි පටු අරමුණකින් නොව හොඳ දෙයක් කවුරුන් විසින් කළද එය අගේ කළයුතු නිසාය. මට ගෝඨාභය රාජපක්ෂට කිසිදු පුද්ගලික සම්බන්ධයක් නැත. මා ඔහු සමග සාකච්ඡා කර ඇත්තේ එක අවස්ථාවකදී පමණය. මට ඔහුගේ වැඩ ගැන කැමැත්තක් තිබෙනවා සේ ම විවේචනයක් ද ඇත්තේය. යුද්ධ කාලයේදී මා ඔහු විසින් ඉටු කරන ලද වැඩ කොටස අගය කළේද අවංක හැඟීමෙන් මිස පටු අරමුණකින් නොවේ. මට ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කරන විට රංජන් විජේරත්න ද මතකයට නැගෙන්නේය. රංජන් විජේරත්න ද සමහර මතධාරීන්ගේ දැඩි විරෝධයට හේතුවූ චරිතයකි. එහෙත් මට එකල පවා රංජන් විජේරත්න පෙනුණේ ඓතිහාසික අවශ්‍යතාවක් වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තබා මහත් ඇපකැපවීමෙන් ක්‍රියාකළ පුද්ගලයකු ලෙසය. සමාජීය අර්ථයෙන් මගේ නෑකම තිබුණේ රංජන් විජේරත්නට නොව රෝහණ විජේවීරටය. මා විජේවීරගේ දෙවැනි කැරැල්ල දැක්කේ දිගු කලක් අල්ලාගෙන සිටින්නට ඉඩ නොදී පරාජය කළ යුතුව තිබෙන කැරැල්ලක් ලෙසය. ඒ වගකීම කරට ගත් පුද්ගලයා වූයේ රංජන් විජේරත්නය. රංජන් විජේරත්න ලබාදෙන ලද නායකත්වය නොවන්නට විජේවීරගේ දෙවැනි කැරැල්ල පරාජය කිරීම දුෂ්කර වන්නට ඉඩ තිබුණි. කැරැල්ල මර්දනයේදී රන්ජන් විජේරත්න අතින් විනාශයක් සිදුවුවද කැරැල්ල ජයගත්තේ නම් ඊට වඩා මහා විනාශයක් වන්නට ඉඩ තිබුණි. සමාජීය අර්ථයෙන් මට නෑකමක් තිබුණේ විජේවීරට වුවත් විජේවීරගේ කැරැල්ල පරාජය කිරීම මා දැක්කේ යහපත් ඉදිරි පියවරක් ලෙසය. ඒ නිසා ඒ වැඩපිළිවෙළට නායකත්වය දුන් රංජන් විජේරත්න පිළිබඳව මට තිබුණේ ද ප්‍රසාදජනක ආකල්පයකි. රංජන් විජේරත්න ඝාතනයට ලක්වූ විට ඔහු අලුගෝසුවකු ලෙස සලකා සතුටු වූ පිරිසක් ද රටේ සිටියේය. එහෙත් ඔහු මියගිය අවස්ථාවේදී මම ඔහු අගය කරන කතුවැකියක් ලීවෙමි. එය ජනප්‍රිය දෙයක් නොවීය. එහෙත් ඒ මොහොත් ඒ දේ ලිවීමේ වගකීමක් ඇතැ”යි මම සිතුවෙමි.

ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීම මා දකින්නේද ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙසය. ප්‍රභාකරන් පරාජය කිරීමේදීද විනාශයක් ඇතිවිය. එහෙත් ඔහු පරාජය නොකළේ නම් ඇතිවිය හැකිව තිබුණු විනාශය වඩා විශාලය. ප්‍රභාකරන් පරාජය කිරීමේ ප්‍රධාන ගෞරවය තුන්දෙනකු අතර බෙදී යා යුතුය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජෙනරාල් සරත් ෆොන්සේකා යන තිදෙනා අතරය. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වීම මාගේ සතුටට හේතු වුවත් ඔහු සිරගත කොට තබාගැනීම ගැන නම් මට සතුටුවිය නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධයේදී ලොකු භූමිකාවක් රඟපෑවද සංවර්ධන කාර්යයකදී එවැනි සාර්ථක භූමිකාවක් රඟපෑමේ හැකියාවක් ඔහුට ඇතැ”යි මා මුලදී විශ්වාස කළේ නැත. එහෙත් ඔහු එම විෂයයටද දක්ෂයකු බව ඔහු විසින් දැනටමත් සනාථ කර තිබේ. හමුදා ඇසකින් සියලු දේවල් දකින්නට උත්සාහ කිරීම ඔහුට තිබෙන ශක්තිය සේ ම දුර්වලකම ලෙස ද සැලකිය හැකිය. පිරිසිදුකම නගරයක තිබිය යුතු වැදගත්ම ලක්ෂණයකි. එහෙත් පිරිසිදුකම මහජනයා බියගැන්වීමෙන් නොව මහජනයාට කරුණු තේරුම් කරදීමෙන් හා නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් ජයගත යුතුව තිබෙන ඉලක්කයකි. බියගැන්වීමෙන් ද ඒ ඉලක්කය ජයගත හැකි වුවත් එය තෝරාගැනීමට තිබෙන ප්‍රශස්ත මාර්ගය වන්නේ නැත. ආරක්ෂක ලේකම්වරයාට හොඳ සංවර්ධන නියමුවකු බවට පත්වීමට හැකිවනු ඇත්තේ හමුදා දෘෂ්ටි කෝණයකින් දේවල් බලන ආකල්පයෙන් අත්මිදී ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් දේවල් බලන තැනකට මාරුවීමෙනි.

ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ සංවර්ධන යෝජනා අතර දැන් වැඩියෙන්ම විවාදයට ලක්වී තිබෙන යෝජනාව වී ඇත්තේ පැල්පත්වාසීන් ඔවුන් ජීවත් වන පැල්පත්වලින් ඉවත් කැරෙන වැඩපිළිවෙළ ලෙස සැලකිය හැක. මා හිතන්නේ ඒ කාරණයේදීද ඔහු හරි බවය. පැල්පත්වාසී දුප්පතුන්ගේ පැත්තෙන් බැලුවද ඔවුන්ට අද ගතකරන්නට සිදුවී තිබෙන ජීවිතය කිසිසේත්ම යහපත් නැත. එය කොළඹ නගරයේ සේ ම රටේ යහපතටද හේතුවන්නේ නැත. මෙම පැල්පත්වල ජීවත් වන දුප්පතුන්ට ඔවුන්ගේ පාඩුවේ තවදුරටත් ඒ ආකාරයෙන් ජීවත් වන්නට ඉඩහැරිය යුතුයි කියා කිසිවකු කල්පනා කරන්නේ නම් එය යහපත් ඉදිරිගාමී කල්පනාවක් ලෙස සැලකිය නොහැකිය.

නිල සංඛ්‍යා අනුව කොළඹ නගරයේ වතු පැල්පත් හෝ මුඩුක්කුවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 66,000කි. එක පවුලකට වැටෙන පුද්ගලයන් සංඛ්‍යාව පහක් ලෙස සැලකුවද ඒ ගණයට වැටෙන ජනගහනයේ සංඛ්‍යාව 330,000කි. හඳුනාගෙන ඇති ඒ සියලුදෙනා ජීවත්වන භූමිවල මුළු වපසරිය අක්කර 142කි. එවිට එක පර්චසයක සිටින පවුල් සංඛ්‍යාව පවුල් 3කට ආසන්නය. පර්චසයක් වර්ග අඩි 273.5කට සමානය. පවුලක සිටින පුද්ගලයන් සංඛ්‍යාව 5ක් ලෙස සැලකුවහොත් එක පුද්ගලයකුට වැටෙන වර්ග අඩි ප්‍රමාණය 18.23කි. මුළු පවුලක්ම ජීවත් වන්නේ මිනිසුන්, ගොඩනැගිලි හා වැසිකිළි ද ඇතුළුව වර්ග අඩි 91.16ක භූමි ප්‍රමාණයකය. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ තත්ත්වය වෙනස් කළ යුතුය. එය නගරයේ යහපත සඳහා පමණක් නොව, මෙම දුප්පත් මිනිසුන්ගේ යහපත සලකා එසේ කළ යුතුය.

ඊට තිබෙන විසඳුම තට්ටු නිවාස බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් පවුල් 66,000කට තට්ටු නිවාස ලබාදීම සරල හෝ පහසු දෙයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වියදමෙන් කිසියම් විශාල ප්‍රමාණයක් දැන් ඔවුන්ගේ පැල්පත් තිබෙන ඉඩම් එකට යාකළ විශාල ඉඩම් ලෙස විකිණීමෙන් උපයාගත හැකිය. දැනට ඒ සඳහා හඳුනාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර 142ක් බවත්, පර්චසයක් විකිණිය හැකි මිල ලක්ෂ 20ක් බවත් කියනු ලැබේ. එවිට අක්කර 142 විකිණීමෙන් උපයාගත හැකි ආදායම රුපියල් මිලියන 45,440කි. එය පවුල් සංඛ්‍යාවෙන් බෙදූ විට එක පවුලකට වැටෙන මිල රුපියල් ලක්ෂ 6.88කි. එක පවුලකට ප්‍රමාණවත් ඉඩකඩ හා මූලික පහසුකම් ඇති නිවසක් ලැබෙන ආකාරයේ තට්ටු නිවාස සංකීර්ණයක් ඒ මුදලින් පමණක් ඉදිකළ හැකියැ”යි සිතිය නොහැකිය. එහෙත් ඉඩම් විකිණීමෙන් ලැබෙන ආදායම එවැනි තට්ටු නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට යන මුළු වියදමෙන් 70%ක් පමණ විය හැකිය. ඉතිරි 30% රජයට ප්‍රදානය කළ හැකි නම් ඔවුන්ට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමේ පහසුකම් ඇති තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකිය. එම යෝජනා ක්‍රමයට එකතුවන්නට කැමති නැති අය සිටිත් නම් ඔවුන්ට වන්දි ගෙවන ක්‍රමයක් ද ඇති කළ හැකිය. එවැනි වැඩපිළිවෙළකින් කොළඹ නගරයේ තිබෙන පැල්පත් පිළිබඳ ප්‍රශ්නය ජයගත හැකි අතර එම පැල්පත්වල ජීවත් වන ජනතාවගේ ජීවිතවල යහපත් වෙනසක් ඇති කරන අතර කොළඹ නගරය පැල්පත්වලින් තොර අලංකාර නගරයක් බවට ද පත්කළ හැකිය.

කොළඹ නගරයේ තිබුණු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම රළු ගොරෝසු ස්වරූපයකින් සිදුවුණා විය හැකිය. එය කවදා හෝ කවුරුන් විසින් කළ යුතුව තිබුණු දෙයකි. හැමදාමත් සිදුවූයේ ඒ ගැන හරි තීරණයක් නොගෙන සිටීම නිසා තිබෙන අනවසර ඉදිකිරීම්වලට අලුත් අනවසර ඉදිකිරීම් එකතුවෙමින් නගරය අවුල් ජාලාවක් බවට පත්වීමය. මේ සමග නගරයේ අනවසර ඉදිකිරීම් ඇති කිරීමේ සම්ප්‍රදායයද නවතිනු ඇත.

ධනපති ක්‍රමය භංග කොට කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි කාල් මාක්ස් පවා ධනපති ක්‍රමයේ අධම ලක්ෂණයන්ට පමණක් සීමා නොවී එය ඉටුකරමින් තිබෙන ප්‍රගතිශීලී කාර්යභාරය ගැනද කතා කළේය. සංවර්ධන විෂයේදී අපේ රටේ මාක්ස්වාදී විචාරයන් තුළ දක්නට නැත්තේද ඒ ගුණයයි.

##