මර්වින් සිල්වාගේ ගව මස් තහනම

September 18, 2011
Publication:
The minister of public relations and public affairs told the Lankadeepa that the sale of beef in the butchers' shops of the Gampaha district would be banned from next week — that killing and eating an animal which does such great service to agriculture is a great sin, and that the ban is meant to set the country an example from Gampaha in protecting the cattle resource.

ගම්පහ දිස්ත්‍රික්කයේ මස් කඩවල ගවමස් විකිණීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන එවැනි සතකු මරා මස් කෑම මහා පාපකර්මයක් බවද ගව සම්පත ආරක්ෂා කිරීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රටට ආදර්ශයක් ගෙනදීම සඳහා මෙම තහනම පනවන බවද ඔහු වැඩිදුරටත් එම පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.

ගවමස් විකුණන්නේ ගවමස් විකිණීමට සීමාවූ මස් කඩවල පමණක් නොවේ. සුපර් මාර්කට්වල පමණක් නොව ශීතකරණ පහසුකම් ඇති වෙනත් වෙළෙඳ සැල්වලද ගවමස් පමණක් නොව, ගවමස් යොදා සකස් කළ සොසේජස් වැනි ආහාර වර්ග විකුණයි. සත්ව ඝාතනය පාපයක් ලෙස සැලකෙන ආගම් සේ ම සත්ව ඝාතනය පාපයක් ලෙස නොසැලකෙන ආගම්ද පවතී. ආගමික විශ්වාසයන් එසේ තිබියදී විශේෂයෙන්ම ළමා කාලයේ කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය සඳහා සත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පෝෂණ විද්‍යාවේදී උගන්වනු ලැබේ. ජනවර්ග සංස්කෘතීන් හා බැඳුණු ආහාර සංස්කෘතීන් ද පවතී. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජනයා ඌරු මස් ආහාරයට නොගන්නා මුත් හරක් මස් ආහාරයට ගනී. හින්දු ආගම අදහන ජනයා හරක් මස් ආහාරයට ගන්නේ නැතත්, එළුමස් හා කුකුළු මස් වැනි වෙනත් මස් වර්ග ආහාරයට ගනී. බෞද්ධයන් අතරද මුළුමනින් මස් මාළු කෑමෙන් වැළකී සිටින අයගේ ප්‍රමාණය විශාල නැත. කොරියන් ජනයා සුනඛ මස් සලකන්නේ රස ආහාරයක් ලෙසය. තායිලන්තය බෞද්ධ රටකි. එහෙත් ඒ රටේ ජනයා නයි පොළොඟුන් වැනි විසකුරු සතුන් ද ආහාරයට ගනිති. ප්‍රංශ ජාතිකයන් ගෙම්බන් ආහාරයට ගන්නා අතර චීන්නු ගොළු බෙල්ලන් ආහාරයට ගනිති. ජපානයේ මිල අධිකම මස් වර්ගය ලෙස සැලකෙන්නේ ගව මස්ය. ජපන්නු නොපිසූ අමු මාළු ද ආහාරයට ගනිති. වියට්නාම ජාතිකයෝ මෙරුන්, කැරපොත්තන් වැනි කෘමි සතුන් ද ආහාරයට ගනිති. ඉන්දියාවේ එක සමාජ කණ්ඩායමක් මීයන් සලකන්නේ රස ආහාරයක් ලෙසය.

විවිධ ජාතීන්ට හා ජනවර්ගවලට ඇති ආහාර පුරුදු විවිධය. එහෙත් ඒ ආහාර පුරුදු ඔවුන්ගේ උස් පහත් බව තීරණය කරන සාධක ලෙස ක්‍රියාකරන්නේ නැත. ජපනුන් අමු මාළු ආහාරයට ගන්නා නිසාද, ප්‍රංශ ජාතිකයන් ගෙම්බන් කන නිසාද, ජපනුන් ගොළුබෙල්ලන් කන නිසාද, කොරියානුවන් සුනඛ මස් කන නිසාද, තායිවරුන් සර්පයන් කන නිසාද ඔවුන් ම්ලේච්ඡ ජාතීන් ලෙස සැලකෙන්නේ නැත.

ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි බෞද්ධ රජවරු ද දඩයම් කළහ. දඩමස් කෑවෝය. පුරාණ ගම්වල හැම ගමකටම වැවක් තිබුණේය. වැවේ මාළු, ගමේ සියලුදෙනා අතර බෙදා ගැනුණි. ගමේ පන්සලට හිමි පංගුවද ලබා දුන්නේය.

අනවශ්‍ය ලෙස මිනිසුන්ගේ ආහාර පුරුදු කෙරෙහි අතගැසීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි දේවල් විවිධ ආහාර පුරුදුවලට පුරුදු වී සිටින ජන කණ්ඩායම් කෙරෙහි පීඩාකාරී බලපෑමක් ඇති කළ හැකිය.

අනෙක් අතට කෘෂිකර්මයේදී සැලකිල්ලට ගතයුතු ආර්ථික සාධකයක්ද පවතී. බිත්තරවලට පමණක් කුකුළන් ඇති කළ නොහැකිය. කිරිවලට පමණක් එළුවන් ඇති කළ නොහැකිය. කුුකුළු ගොවිපොළ කර්මාන්තය ආර්ථික වශයෙන් ඵලදායී කර්මාන්තයක් බවට පත්වන්නේ බිත්තරවලට අතිරේකව උන් මසට ද විකුණන්නේ නම් පමණය. මේ සාධකය ගව පට්ටි පාලනයට ද අදාළය. ඉන්දියාවේ හින්දුන් ගව මස් කන්නේ නැත. එහෙත් ඉන්දියාවේ ගව පට්ටි පාලනය ආර්ථික වශයෙන් ඵලදායී කර්මාන්තයක් බවට පත්ව ඇත්තේ එරට ගව මස් කන ජනතාවක් ද සිටීම නිසාය. ගව ඝාතනය පිළිබඳව නිදහස් අරගලය පැවති කාලයේදීද මහා වාද විවාද සිදුවිය. එහිදී ගාන්ධි හින්දුන් කුලප්පු කරන ප්‍රතිපත්තියකට ගියේ නැත. ගව මස් ආහාරයට ගැනීම හින්දු ආගමට පටහැනි වුවද ඉස්ලාම් ආගමට පටහැනි නොවන නිසා එම ආහාර පුරුද්ද පවත්වාගෙන යෑමේ අයිතිය මුස්ලිම්වරුන්ට තිබිය යුතු බව ගාන්ධිගේ මතය විය.

ශ්‍රී ලංකාව ද විවිධ ජනවර්ග හා ආගම් කෙරෙහි බලපෑ හැකි සංකීර්ණ ප්‍රශ්නවලදී ගිනි ඇවිලෙන දේවල් කිරීමට ඉඩදීමෙන් වැළකිය යුතුය. බුද්ධාගම අන්තවාදී හා ආධානග්‍රාහී ආගමක් නොව, ප්‍රඥාවෙන් පරිපූර්ණ ආගමකි. එය අන්තවාදී තැනකට තල්ලු නොකළ යුතුය.