ග්‍රීස් යකුන් පිළිබඳ ඇත්ත කුමක්ද?

August 21, 2011
Publication:
The grease devil story pushed people in some areas into acting on impulse. It was said at first to be the work of mental patients — which cannot be, since the work of mental patients does not happen in various parts of the country in the same period. Rumour may have played its part, and there is evidently something in the stories, because in several areas people caught men who were then arrested.

ග්‍රීස් යක්කු පිළිබඳ කතාව සමහර ප්‍රදේශවල මහජනයා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට තල්ලු කළේය. මුලදී ප්‍රකාශ වූයේ මෙය මානසික රෝගීන් කරන වැඩක් බවය. මානසික රෝගීන්ගේ වැඩක් නම් ඒවා එකම කාලවකවානුවක රටේ විවිධ ප්‍රදේශවල සිදුවන දෙයක් බවට පත්විය නොහැකිය. කටකතාද කිසියම් වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නට ඇතත්, මේ කතාවල මොනයම් හෝ සත්‍යයක් තිබෙන බව පෙනෙන්නේ ප්‍රදේශ ගණනාවකින් මහජනයා අල්ලා දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක්ද සිදුවී තිබෙන නිසාය. මෙය ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා කිසියම් සංවිධානාත්මක පිරිසක් පවත්වාගෙන යන ව්‍යාපාරයක් වන බව ආණ්ඩුවේ මතය වන විට මෙය මොන මොන හේතු නිසා හෝ ආණ්ඩුව දැනුවත්ව පවත්වාගෙන යන ව්‍යාපාරයක් බව සිතන අයද මහජනතාව අතර සිටිති.

ග්‍රීස් යකා පිළිබඳ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවද එය මහජනයා අතර ඇති කළ ප්‍රතිවිපාක ඉතාමත් නරකය. වතුකරයේ පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් කපා කොටා මරා දැමුණාහ. තවත් ස්ථාන ගණනාවක සැකයට හේතුවූ පුද්ගලයෝ පහරදීම්වලට ලක්වූහ. නැගෙනහිර ප්‍රදේශයේ සංවිධානාත්මක මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ඇතිවූ අතර කින්නියා නාවික හමුදා කඳවුර මහජනයා විසින් වටලන ලදි. තවත් තැනක ප්‍රධාන හමුදා නිලධාරියකුද දිසාපතිවරයකුද මහජනයා නිවාස අඩස්සියේ තබා ගත්තේය. සමහර ස්ථානවල ඇතිවූ මහජන උද්ඝෝෂණ මැඬලීම සඳහා දරන උත්සාහයක් තුළ උද්ඝෝෂකයන්ට පහර දෙන්නට හා වෙඩි තබන්නට සිදුවූ අතර ඒ නිසා ඇතිවූ ගැටුම්වලින් දෙපක්ෂයේ කිසියම් විශාල පිරිසක් තුවාල ලැබුවේය.

ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නැත. නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නම් මේ සිද්ධීන්ට ආරක්ෂක හමුදාවල සම්බන්ධයක් ඇතැ”යි කියා දැඩි ලෙස විශ්වාස කළේය. ඔවුන්ගේ චෝදනාව වී තිබුණේ අල්ලා ගන්නා ලද පුද්ගලයන් වහාම බේරාගැනීමට හමුදාව ඉදිරිපත් වුවත් එසේ අල්ලා දෙන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවූ බවත්ය. ඒ ප්‍රදේශවල පිරිමි රාත්‍රි කාලයේ කණ්ඩායම් වශයෙන් ගමේ සැරිසරන විට කාන්තාවන් තෝරාගත් නිවෙස් කිහිපයක කණ්ඩායම් වශයෙන් ජීවත් වන තත්ත්වයක් ගොඩනැගී තිබුණි.

මහජනයා අතර නීතියේ පාලනය පිළිබඳව සැකයක් ඇතිවන්නට ඉඩ හැරීම නරකය. එවිට ඔවුන් කෝපයට පත්වී නීතිය අතට ගන්නා තත්ත්වයකට පත්වන්නේය. මේ අවස්ථාවේදී පොලීසියට හා යුද හමුදාවට මහජනයාගේ විශ්වාසයට හේතුවන කාර්යභාරයක් ඉටු කිරීමට නොහැකි වූයේ ඇයිද යන්න සොයා බැලිය යුතුය.

දැනට අත්අඩංගුවට ගෙන සිටින අය පදනම් කොටගෙන මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය හැකිය. මෙවැනි සංවිධානාත්මක ව්‍යාපාරයක් රටේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වී නම් එම වැඩපිළිවෙළ පිටුපස සිටියේ ආණ්ඩුව අපහසුතාවට ලක්කිරීමේ අදහසින් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක්ද, නැතිනම් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරයක්ද එත් නැතිනම් ඒ දෙකටම නැති වෙනත් පිරිසක් ද යන්න සොයා බැලීම ආණ්ඩුවේ යුතුකමක් හා වගකීමක් වේ.

සාමාන්‍ය මිනිසුන් සැකයෙන් හා භීතියෙන් ජීවත් වන තත්ත්වයකට පත් වන්නට ඉඩ නොදිය යුතුය. දැන් යුද්ධය අවසන්ය. එල්ටීටීඊයක්් රටේ නැත. වෙනත් නීති විරෝධී සන්නද්ධ දේශපාලන ව්‍යාපාරද රටේ නැත. දැන් මහජනයාට සැකයෙන් හා බියෙන් තොරව ජීවත්වීමට පුළුවන්කම තිබිය යුතුය. ඒ අයිතිය යුද්ධය පැවති ප්‍රදේශ ලෙස සැලකිය හැකි උතුරු නැගෙනහිර ජනතාවට ද ලැබිය යුතුය.