ලංකාවේ දෙමළ ජනයාගේ ප්රශ්නය, ඒ ගැන තමිල්නාඩුවට තිබූ සංවේදීතාව, කලාපයේ භූ දේශපාලන යථාර්ථය නිවැරදි ලෙස තේරුම් ගැනීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අසමත්වීම නිසා ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එසේම එල්ටීටීඊ ව්‍යාපාරය ගැන සාධාරණ ඇගැයීමක් නොතිබීම නිසා ඒ වෙනුවෙන් ඉන්දියාවටද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය.
එල්ටීටීඊයට එරෙහිව කැරුණු යුද්ධයේදී එය වැළකීමට ඉන්දියාවෙන් බරපතළ බලපෑම් එල්ල වූයේ නැත. තමිල්නාඩු ආවේගයන් ඉන්දියාව පාලනය කළේය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබූ සහසම්බන්ධය යුද්ධ කාලයේදී මනා ලෙස කළමනාකරණය වීයැ”යි කිව හැකිය.
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන්නට සමත් වුවද යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවිය හැකිව තිබූ වියවුල් ඒ සමාන දක්ෂතාවකින් කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නැත.
එල්ටීටීඊය පරාජය කැරුණේ එල්ටීටීඊයට ආධාර කළ දෙමළ ඩයස්පෝරාවක ක්‍රියාකාරී පැවැත්ම ඉතිරිව තිබියදීය. ප්‍රධාන කොට ඔවුන්ගේ ආධාර මත ලංකාවේ ක්‍රියාත්මක වූ සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම ඔවුන්ගේ කෝපයට හේතුවීම හා ශ්‍රී ලංකාවෙන් පළිගැනීම සඳහා උපරිම ශක්තිය යොදා ක්‍රියාකරන තැනකට තල්ලුවීමද අස්වාභාවික නැත. ජාත්‍යන්තර තලයේ ඔවුන්ට විශාල ශක්තියක් තිබුණි. ඔවුන්ගේ ප්රශ්නය දෙස අනුකම්පාවෙන් බලන ජාත්‍යන්තර ප්රජාවක්ද සිටින්නේය.
එහෙත් යුද්ධය අවසන් කිරීමෙන් පසු යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි අයගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාකරන අතර දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ඇති කරගැනීම සඳහා බර තබා ක්‍රියාකරන තැනකට ආණ්ඩුව යොමුවී නම් සමහරවිට මේ තරම් උත්සන්න වූ අවුල්සහගත තත්ත්වයක් ජාත්‍යන්තර තලයේ ඇති නොවන්නට ඉඩ තිබුණි. විපතට පත්වූවන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට ගැනීම සඳහා ආණ්ඩුව බොහෝ දේ කර තිබෙන බව සැබෑවකි. ඒ සමග ඒ ප්‍රදේශවල ජනතාවගේ සිත් පාරන දේවල් ද සිදුවිය. ඒවා ආණ්ඩුව ඍජු ලෙස නොකළා විය හැකි වුවත් ඔවුන්ගේ සිත් පාරන බලවත් දේවල් සිදුවන්නට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට ආණ්ඩුව සමත් වී නැත.
දෙමළ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණ පැවැත්වීම ඉතා හොඳ දෙයකි. එහෙත් එය යුද්ධයකට පසුව පවත්වන පළාත් පාලන මැතිවරණයක් ලෙස සලකා ආණ්ඩුව ඒ කලාපයට බරපතළ ලෙස මැදිහත් නොවී දෙමළ ජනයාට ඔවුන් කැමති නියෝජිත පිරිසක් තෝරා ගන්නට ඉඩ දුන්නේ නම් ඒ මැතිවරණවලින් කවුරු දිනුවද අවසාන ගෞරවය ලැබෙන්නට ඉඩ තිබුණේ ආණ්ඩුවටය. ආණ්ඩුව බරපතළ ලෙස මැදිහත් වන තත්ත්වයක් තුළ ඒ වෙනුවට සිදුවූයේ දෙමළ ජනයා විසින් ආණ්ඩුව පරාජය කිරීමය. එයින් සිදුවූයේ ආණ්ඩුව පරාජය කිරීමට දෙමළ ජනයාට අවස්ථාවක් ලබාදීමය. පොදුවේ ගත් විට උතුරේ පැවති මැතිවරණය, ඡන්ද මංකොල්ලයක් බවට පත්වූයේ නැතත් එම මැතිවරණයට ලැබිය යුතු ප්රජාතන්ත්රවාදී වැදගත්කම හීන කරන නරක සිද්ධීන් ගණනාවක් සිදුවිය. උතුරේ දෙමළ ජනයා සිටින විශේෂ තත්ත්වය තුළ අවශ්‍ය තරම් සංවේදීතාවක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත්ව නැති බව ඉන් ද පෙනීයයි.
ඔවුන්ගේ ප්‍රශ්නවටල විසඳුමක් දෙන තෙක් යටත් පිරිසෙයින් අවලස්සණ සිද්ධීන් ඇති වන්නට ඉඩ නොදී ඒ කලාපයේ ජනතාවට නිදහසේ හා පාඩුවේ ඉන්නට ඉඩදිය යුතුය. උදයන් ප්රවෘත්ති කර්තෘවරයාට පහරදීමේ සිද්ධිය නැවත උතුර ගැන ඇති කරන චිත්‍රය අයහපත්ය. එය කුමන බලවේගයක් කළා වවුද එහි නරක නාමය යන්නේ ආණ්ඩුවේ ගිණුමටය. මෙවැනි දේවල් ඇතිවීම වැළැක්වීමට ගත හැකි එක් වැදගත් පියවරක් වන්නේ උතුරේ ආයුධ අත ඇතිව සිටින සියලු දේශපාලන කණ්ඩායම් නිරායුධ කිරීමය. ආරක්ෂක හමුදා බැරැක්කවලට යවා පොලීසියට හිමි වගකීම පොලීසියට භාරදීමය. උතුරේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වී සිටින දෙමළ නියෝජිතයන්ට නිදහසේ සිය කටයුතුවල යෙදිය හැකි වාතාවරණයක් සහතික කරදීමය. පක්ෂ භේදයකින් තොරව එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු කරගෙන යෑමට එම පළාත් පාලන ආයතනවලට විශේෂ ප්‍රතිපාදන ලබාදීමය. එහි කැරෙන විශාල සංවර්ධන ව්‍යාපාරවලදී පවා ඔවුන්ද සම්බන්ධ කරගැනීමය. දෙමළ සන්ධානය දෙමළ ජනයාගේ නියෝජිතයන් ලෙස සලකා ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යෑමය.