මා මෙම ලිපියෙන් විග්රහ කිරීමට අපේක්ෂා කරනුයේ බලය අල්ලා ගැනීම සඳහා කැරෙන ආයුධ සන්නද්ධ අරගලයක් තුළ, සටන් කරන දෙපාර්ශ්වයම කරට කර සිටින තත්ත්වයකදී ඇතිවන නග්න ස්වරූපයකින් ක්‍රියාත්මක වන ද්වන්ද්ව බලයකදී එම ද්වන්ද්ව බලයට මැදිවී මිරිකී ජීවත් වන්නට සිදුවන සමාජයට මුහුණ දෙන්නට සිදුවන සදාචාර අර්බුදය ගැනය. මා එහිදී සලකා බලන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල ක්‍රියාත්මක වූ කාලයේදී එම තත්ත්වය දකුණේ සිංහල සමාජය කෙරෙහි බලපෑ ආකාරය ගැනය. ඉන්දු-ලංකා ගිවිසුම ඇති කරගත් දිනය ජේවීපී දෙවැනි කැරැල්ල ආරම්භ කැරුණු දිනය වශයෙන් හා විජේවීරගේ මරණය එම කැරැල්ල අවසන් වූ දිනය ලෙසත් සැලකුවහොත් ජේවීපී කැරැල්ල ආශ්රයෙන් දකුණේ ද්වන්ද්ව බලයක් පැවති කාලය දින 800ක් පමණ වීයැ”යි කිව හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ සිය නැගී සිටීම සඳහා තෝරාගත් හේතු පාඨය ඉතා බලවත්ය. ඔවුහු සටනට අවතීර්ණ වූවෝ ඉන්දියානු ආක්රමණිකයා පරාජය කොට රට බේරාගැනීමට සටන් කරන දේශප්‍රේමී සටන් ව්‍යාපාරයක් ලෙසය. ඔවුහු බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන පාලනය රටට හඳුන්වා දුන්නෝ රට ඉන්දියාවට පාවා දුන් ද්‍රෝහී ආණ්ඩුවක් ලෙසය.
ඉන්දු-ලංකා ගිවිසුම හා එය කරළියට පැමිණි උද්වේගකර ස්වරය තුළ එය ජනතාව අතර විශාල කුකුසක් ඇති කළ සංසිද්ධියක් වී තිබුණේය. ආණ්ඩුව යාපනේ අල්ලා ගැනීම පිණිස 1987 මැයි අවසානයේ දියත් කරන ලද දැවැන්ත හමුදා මෙහෙයුම ජයග්‍රාහී තැනකට ගමන් ගනිමින් තිබියදී එය අත්හරින්නට ආණ්ඩුවට සිදුවී තිබුණේ ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් නිසාය. අරන්තලාව සමූහ භික්ෂු ඝාතනය සිදුවූයේද ඒ කාලයේදීය. යාපනේ ජනයාට සහනාධාර රැගත් ඉන්දියානු බෝට්ටු ආපසු හරවා යැවීම හා ඉන්පසු බලහත්කාරී ආකාරයකින් ඉන්දියාව ගුවනින් යාපනේට සහනාධාර හෙළීම වැනි සිද්ධීන් ද ඉන්දු-ලංකා ගිවිසුම උද්වේගකර දේශපාලන සංසිද්ධියක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. මෙම ව්‍යාකූල තත්ත්වය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මහජනයා උපරිම ලෙස භීතියට පත්කිරීමට හේතුවන ආකාරයේ කුරිරු කැරැල්ලක් කරළියට ගනිමින් රාජ්‍ය බලය අල්ලා ගැනීම ජේවීපීයේ අරමුණ විය.
තමන් පුංචි ව්‍යාපාරයක් නොව, හැම තැනකටම අඬුපඬු විහිදුණු බලවත් ව්‍යාපාරයක් බව පෙන්නීමේ අරමුණින් පිටකොටුවේ බෝගහ අසළ ජූලි 28 වැනිදා ගිවිසුම් විරෝධී දේශපාලන පක්ෂ විසින් ක්‍රියාවට නගන ලද විරෝධතා ව්‍යාපාරය අවස්ථාවක් කරගනිමින් මුළු රටටම පෙනෙන ලෙස කොළඹ නගරයේ විශාල විනාශයක් ඇති කළේය. රට පුරා ඇති ආණ්ඩුවේ කාර්යාල, තැපැල් කාර්යාල හා ග්‍රාමෝදය මධ්‍යස්ථාන ගිනි තැබුවේය. රට පුරා ඇති ලයිට් කණු, දුරකතන කණු කඩා බිඳ දැමීය. ලංගම බස්රථ දහස් ගණනක් ගිනි තබා විනාශ කළේය. එය ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කැරුණු ආකාරයයි.
ඒ සියල්ලෙන් ජවිපෙ අපේක්ෂා කළේ ඉන්දු-ලංකා ගිවිසුම ඇති කර තිබුණු උද්වේගකර තත්ත්වය උපරිම මට්ටමකට ගෙනයන අතර ජනතාව අතර කැරලිකරුවන් පිළිබඳව ආස්වාදයක් හෝ භීතියක් ඇති කිරීමය.
නග්න ද්වන්ද්ව බලය
ඔවුහු ග්‍රාම නිලධාරීන්, වගා නිලධාරීන්, පළාත් පාලන ආයතනවල නියෝජිතයන් වැනි තෝරාගත් පිරිසකට සිය තනතුරුවලින් ඉවත් වී ඒ බව බැනරයක් එල්ලා මහජනයාට දැනගැනීමට සලස්වන ලෙස නියෝග කළෝය. කඩසාප්පු වසා දැමිය යුතු දින, රක්ෂා කටයුතුවලට හෝ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධවීමෙන් වැළකී සිටිය යුතු දින නියම කළෝය. එම නියෝග නොපිළිපදින අයට අනුකම්පා විරහිතව හා සමහරවිට ඉතා කෘෘර ලෙසද දඬුවම් දුන්නේය. දඬුවම් වශයෙන් මරා දමන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාර ගැනද ඔවුන් විධිවිධාන ඇති කර තිබුණේය. එවැනි විධිවිධාන නොපිළිපදින අයටද ඔවුහු දඬුවම් දුන්හ. තමන් දෙන අණ අකුරටම පිළිපදින තත්ත්වයක ජනතාව තබාගැනීමට “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” නමින් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වූ අතර ජවිපෙ දෙන අණ නොපිළිපදින හා තමන් දෙන අණ පමණක් පිළිපදින තත්ත්වයක ජනතාව තබාගැනීමට ආරක්ෂක හමුදාවලට අවශ්‍ය වී තිබුණේය. ඒ තත්ත්වය දිනාගැනීම සඳහා ආරක්ෂක හමුදා ද ජවිපෙ දෙන අණ පිළිපදින්නන්ට දඬුවම් කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය.
මහජනයා කෙරෙහි වන සිය ආධිපත්‍යය සඳහා මෙම දෙපක්ෂය අතර පැවති තරගය තුළ එම නග්න ද්වන්ද්ව බලයට මැදිවී විනාශ වූ ජීවිත සංඛ්‍යාව පිළිබඳව අදහස් ඇති කරගැනීමට දැක්විය හැකි නිදර්ශනයන් මෙසේය. 1988 ජූනි මාසයේදී ජවිපෙ සම්බන්ධ ලංගමයේ කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් රුපියල් 2500ක වැටුප් වර්ධකයක් ඉල්ලා ලංගම බස් වර්ජනයක් ඇති කළේය. වර්ජනයට සම්බන්ධ නොවී වැඩ කරන බස් සේවකයන්ට ජේවීපීය දඬුවම් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට වර්ජනයට සම්බන්ධ වන සේවකයන්ට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් ආරක්ෂක හමුදා පවත්වාගෙන ගියේය. මසකට වැඩි කාලයක් පැවති මෙම අරගලය නිමාවන විට මේ දෙපක්ෂය අතින් මරණයට පත්ව සිටි මුළු ලංගම සේවක සංඛ්‍යාව 115කි.
ජේවීපී කැරැල්ල ආශ්රයෙන් රටේ ගොඩනැගී තිබුණු මෙම නග්න ද්වන්ද්ව බලය රටේ උගත් මතධාරී සමාජය ද විශාල සදාචාර අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබුණි. මේ සියලු දේ අස්සේ ජවිපෙ තමන්ගේ අදහස් නොපිළිගන්නා හා පිළිනොගන්නා බව පෙනෙන උගත් මතධාරීන් මරා දමන පිළිවෙතක් අනුගමනය කළේය. මේ නිසා මතධාරී සමාජයේද දෙකඩවීමක් ඇතිවිය. එක් කණ්ඩායමක් ජවිපෙට එකතුවීම මගින්, නැතිනම් ඍජු ලෙස එකතු නොවී පක්ෂවීම මගින් හෝ සමහරවිට ඔවුන්ට ඔත්තු සැපයීම මගින් හෝ සිය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කළේය. ඒ පිරිස ආරක්ෂක හමුදාවල හෝ අතුරු හමුදාවල දඩයමට ලක්විය. අනෙක් අතට ඊළඟ පිරිස ජවිපෙට එකතු නොවී ආරක්ෂක හමුදාවලට හෝ අතුරු හමුදාවලට එකතුවීම මගින් හෝ ජවිපෙට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන තැනකට යෑම මගින් සිය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කළේය. ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දඩයමට ද ලක්විය.
මේ අර්බුදයේදී ජවිපෙ විසින් තමන් මරා දමනු ඇතැ”යි විශ්වාස කළ මතධාරී සමාජයේ කැපී පෙනෙන සැලකිය යුතු පිරිසක් ආරක්ෂාව සඳහා ආයුධ අතට ගන්නා තැනකට ගියේය. එසේ ආයුධ අතට ගත් අයගෙන් ද කිසියම් පිරිසක් ජේවීපීය අප මරා දමන්නට පෙර අප ඔවුන් මරා දැමිය යුතුයැ”යි කියන විශ්වාසය මත පිහිටා ප්රතිඝාතක කණ්ඩායම් ලෙස ක්‍රියාකරන තැනකටද තල්ලු විය. මේ තත්ත්වයට යොමුවූ අය අතර දියුණු අදහස් දරන උගත් වාමාංශික පක්ෂවල ක්‍රියාධරයන් සේ ම උදාර අරමුණු වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාධරයෝ ද වූහ. මුලදී ජනතා විමුක්ති පෙරමුණේ කිහිලිකරුවේ එල්ලී බලයට පත්විය හැකියැ”යි විශ්වාස කළ ශ්‍රීලනිප නායකයන් ඒ ක්‍රියාවලියට එකතුවීමෙන් වැළකී සිටියද ඒ සිහිනය බොරුවීමෙන් පසුව ශ්‍රීලනිපයේ නායකයන්ගෙන් කිසියම් පිරිසක් ද ඍජු ලෙස හෝ අනියම් ලෙස ජේවීපී කැරැල්ල පරාජය කරන වැඩපිළිවෙලට එකතු වූහ. නග්න ස්වරූපයේ ද්වන්ද්ව බලයක් පැවති එම කාලයේදී ප්රතිඝාතන කණ්ඩායම් ඇතිවී ඒවා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් රාජන් හූල්ගේ “බලයේ මහන්තත්වය” නමැති දැවැන්ත කෘතියට ඇතුළත්ය
ඝාතන කණ්ඩායම් ඇතිවීම
එදා පැවති එම තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් උපුටා ගැනීමක් මෙසේය.
තමන් කෙරෙහි ජවිපෙ තුළ පැවති එදිරිය වටහාගත් හිටපු ජවිපෙ සාමාජිකයන් කිහිපදනෙකු දේශපාලන සරණාගතයන් ලෙස යුරෝපයට පැන ගිය බව කියන හූල් වැඩිදුරටත් මෙසේ කියයි(
“ස්වාධීන ශිෂ්‍ය සංගම් නායක දයා පතිරණ 1986 දෙසැම්බරයේ ඝාතනය කිරීම එළඹෙන්නට තිබූ තත්ත්වය පිළිබඳ පෙර නිමිත්තක් විය. අඩු තොරතුරු ඇත්තේ වාස් තිලකරත්නට අත්වූ ඉරණම පිළිබඳවය. 1988දී ඔහු ද ඵ ද ඍ ද පක්ෂයෙන් නෙරපනු ලැබූහ. මොවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට තීන්දුව ගනු ලැබූ රැස්වීමට සහභාගි වූ පක්ෂයේ ප්රමුඛ සාමාජිකයකු විස්තර කළ පරිදි ඉහත සඳහන් කළ තිදෙනාම විජේවීරට ඉතා සමීපව සිටියා පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ අයද වෙති. අතීතය ආවර්ජනය කරමින් ඔහු තවදුරටත් පැවසුවේ වයසට යෑමත් සමග පැන නගින සාමාජිකයන්ගේ යම් යම් මානුෂික අවශ්‍යතා පක්ෂය විසින් සැලකිල්ලට ගනු නොලැබූ බවය. පවුලේ වගකීම් සහිතව පක්ෂ කටයුතුවලට උරදී සිටි සාමාජිකයන්ට ඒවාට මුහුණදීම සඳහා කිසිදු ගෙවීමක් නොකැරුණි. ඍ විනෝදකාමියකු ලෙස ද හඳුන්වනු ලැබීය. ජවිපෙ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වූ සමයෙහි එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුව සිටිමින් එවකට පැවති ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමග කතාබහක යෙදී සිටි ඔවුහු ජවිපෙ අභ්‍යන්තරය ගැන මනා ලෙස දැන සිටියහ.
1986 වන විට වාස් ඝාතන ප්රයත්න දෙකකින් පණ ගලවාගෙන සිටියේය. 1987 නන්දන මාරසිංහ ඝාතනය තවදුරටත් කැරුණු අනතුරු ඇඟවීමක් විය. පක්ෂයේ මහත් ගරුත්වයට හේතුවූ මාරසිංහ 1981දී ජවිපෙ සමග භේද වී විජේවීර නායකත්වයේ විවේචකයකු වී සිටියේය. සමාජ සේවකයෙක් ද, සංස්කෘතික කටයුතු පිළිබඳ උද්යෝගිකයෙක් ද වූ ඔහු අනුරාධපුර පුරවැසි කමිටුවේ ලේකම්වරයා බවටද පත්ව සිටියේය. සිය බිරිඳ හා දරුවන් රැක බලා ගැනීම සඳහා ඔහු පොළවල් ගානේ තොරොම්බල් බඩු වෙළෙඳාමේ යෙදිණ. 1987 නොවැම්බරයේදී ජවිපෙ තැරැව්කාරයකු විසින් අනුරාධපුර පොළේදී වෙඩි තබා මරා දමනු ලැබීය.
ඍ එකල වාස්ට සමීපව සිටියේය. ඍට අනුව බලයට ඇති කෑදරකම නිසා සියලු දේ විනාශ කරන්නටද සියලු විරුද්ධවාදීන් ඝාතනය කරන්නටද සූදානම්ව සිටි විජේවීරගේ නායකත්වය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවට වාස් තීන්දු කළේය. අනෙක් තහංචිවලට අමතරව ආරක්ෂක අංශවල ජවිපෙ හිතවතුන් සිටි හෙයින් රාජ්‍යය සමග සහයෝග වීම අනාරක්ෂිත බවද වාස් කල්පනා කළේය. ඔහු හෘදයාබාධයකින් අසීමිත වේදනා විඳ මිය ගියේය. ජවිපෙ තමා සොයමින් සිටින බැව් ඍ දැන සිටියේය. ඔහු ගම්පහ සිට අම්පාරට පලා ගියේය. ජවිපෙ ඔහු ලුහුබැඳ එහි පැමිණි අතර ඔහු මගහැර ගියෙන් ඔහුට රැකවරණය දුන් තැනැත්තා අති අමානුෂික ලෙස මරා දැමිණ.
වාස්ගේ හැඟීම් ගැන කල්පනා කළ ඍ තමාට තෝරා ගැනීමට ඉතිරි වී ඇත්තේ එකම මගක් බව නිශ්චය කරගනී. කොළඹට ගිය ඔහු 1989 ආරම්භයේදී පමණ කර්නල් ං නමැත්තා සමග චරපුරුෂ ඒකකයක වැඩ ආරම්භ කළේය. තම අභිප්‍රාය සමග සමාන අදහස් දැරූ යුරෝපයේ සරණාගතව සිටි හ මහතා සමග ඍ සබඳතා ඇතිකර ගත්තේය. තමා සතියක් ඇතුළත පැමිණෙන බවද මුල්කාලීන ජවිපෙ සමග සබඳතා පිහිටුවා ගන්නා ලෙසද, තොරතුරු එක්රැස් කරගන්නා ජාලයක් පිිහිටුවා ගන්නා ලෙසද, ප්රමුඛ පෙළේ ජවිපෙ සාමාජිකයන්ගේ නාමලේඛනයක් පිළියෙළ කරන ලෙසද හ මහතා ඍට දැනුම් දුනි.
ඍගේ ආරක්ෂණවාදී තර්කය වූයේ ඔවුන් ආරක්ෂක හමුදා හා අනෙකුත් කණ්ඩායම් මෙන් අහිංසක තරුණයන් රොතු බුරුතු පිටින් ඝාතනය නොකිරීමය. ඔවුන්ගේ අරමුණ වූයේ ජවිපෙ අස්ථාවර කොට නායකත්වය පැහැර ගැනීමය. මේ අරබයා දේශපාලන මූලෝපාය සැලසුම් කළ හ මහතා ක්‍රියාවට නැගූ ප්‍රථම කටයුත්ත වූයේ විජේවීර නමින් පත්‍රිකාවක් නිකුත් කිරීමය. හ මහතා විජේවීර ගැනත්, ඔහුගේ ශෛලිය ගැනත් ඉතා හොඳින් දැන සිටියේය. එකී පත්‍රිකාවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව විජේවීර ප්‍රකාශ කිරීමෙන් දින දෙකක් ඇතුළත හ මහතා මෙරටට පැමිණ ඇති බව ඔවුහු තහවුරු කරගත්හ.
විජේවීර අල්ලා ගැනීම
රාජ්‍ය නොවන සංවිධාන කවයන් තුළ ගැවසෙන මාධ්‍යවේදී බුද්ධිමතුන් සමග මනා සබඳකම් පවත්වාගෙන ගිය තවත් ශූර මෙහෙයුම්කරුවකු වූ “ මහතා දේශපාලන චින්තන මඬුල්ලක් පිිහිටුවීය. ඔවුහු මසකට වතාවක් හෝ දෙවතාවක් මුණ ගැසුණු නමුත් තම කාර්යයන් තනිව කරගෙන යමින් විශාල කණ්ඩායම් ලෙස රැස්වීමෙන් වැළකී සිටියහ. ඔහු ජවිපෙ ගැනත් මුළු මහත් සමාජය මිලිටරිකරණය වීමේ අන්තරාය ගැනත් විශ්ලේෂණයන් ද විවේචනාත්මක ලිපි ද සම්පාදනය කළේය. මෙම කණ්ඩායම රහස් ඔත්තු හා හමුදාව මෙහෙයුම් පිළිබඳව වෙන් වෙන් වශයෙන් හා ස්වාධීනව කටයුතු කළහ. එහෙත් ඔවුන්ගේ නිපැයුම් ඍගේ ප්රචාරක ඒකකය වෙත යොමු කැරුණු අතර ප්රචාරක පත්‍රිකා, ලේඛන හා ගුවන්විදුලි ප්‍රචාරවලින් එළිදැක්විණි.
ඔවුන් කවර කටයුත්තක නියැලී සිටින්නේදැ”යි යන්න ගැන තමාට නිරන්තරයෙන්ම දැනුම් දිය යුතුය යන කොන්දේසිය මත කර්නල් ං ඔවුන්ට සිය කටයුතු කරගෙන යෑමේ පූර්ණ නිදහස ප්රදානය කළේය. ඔවුහු ගුවන්විදුලි මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කළහ. ජවිපෙ ව්‍යාකූලත්වයට පත්කිරීමේ අදහසින් ඔවුහු මින් එකක් ජවිපෙ නමින් ක්‍රියාත්මක කළ අතර අනෙක වාමාංශික විප්ලවවාදී හමුදාව නමින් ක්‍රියාත්මක කළහ. දෙවැන්න ජවිපෙ හා ආණ්ඩුව යන දෙකම සම්බන්ධයෙන් විවේචනශීලී විය. ඍගේ සුවිශේෂ හැකියාව වූයේ අල්ලා ගනු ලැබූ ප්‍රාදේශීය ජවිපෙ නායකයන්ට කතා කොට ඔවුහු ජවිපෙට එරෙහිව ක්‍රියාකරන්නන් බවට පරිවර්තනය කොට ඔත්තු සැපයීම සඳහා මුදාහැරීමය. ඍ ගැන හොඳින් දැන සිටි විජේවීර ජවිපෙ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැරීම ගැන භ්රාන්තියට පත්ව සිටි බව කියනු ලැබේ. ඔවුන්ගෙන් සමහරකු ජවිපෙ විසින් ඝාතනය කැරුණු බවද පැවසයෙි. තම රැකවරණය පතා පැමිණි ජවිපෙ සාමාජිකයන් ආරක්ෂා කිරීමට ඍ පියවර ගත් බවද කියනු ලැබේ.
වරෙක ඔවුහු විදුලිපංකා කිහිපයක්, රෙදි සෝදන යන්ත්‍රයක් හා ශීතකරණයක් සඳහා නිකුත් කළ කුවිතාන්සියක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගත්හ. ඒ භාණ්ඩ විජේවීර සඳහා මිලදී ගත් ඒවා බැව් ඔවුන්ට සොයාගත හැකිවිය. ඔවුහු මෙම සිද්ධියට අදාළ ප්‍රදේශය හඳුනාගෙන අනෙක් නායකයන් සිටින ස්ථානද අනාවරණය කරගැනීම සඳහා නිරන්තර සෝදිසියෙන් සිටියහ. මේ කාලයේදීම තවත් රැඳවියකුගෙන් විජේවීර පිළිබඳ තොරතුරු ටිකක් කර්නල් ජානක පෙරේරාට දත හැකිවිය. ඔහු උලපනේ ශාන්ත මේරි වතුයායේ බංගලාවක අත්තනායක නමින් ජීවත්වෙමින් සිටි විජේවීර අත්අඩංගුවට ගෙන කොළඹට ගෙන ආයේය. ඒ 1989 නොවැම්බර් 12 වැනිදාය. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා කොළඹදී ඍ හා හ මහතා කැඳවනු ලැබීය. ඔහුත් සමග තනිව සිටින්නට හ මහතාට අවශ්‍ය වූ බවද කෙටි කාලයක් ඇතුළත විජේවීර මානසිකව බිඳ වැටීමට පත්ව පිහිට පතා ඔහුට කන්නලව් කරන්නට වූ බවද කියනු ලැබේ. ඉක්බිති හ මහතා අනෙක් නායකයන් පිළිබඳව තමා වෙත තිබූ තොරතුරු හරිදැයි පරීක්ෂා කොට වීඩියෝ පටිගත කිරීමක් අබියස තම සගයන්ට අවි බිම තබන ලෙස ඉල්ලීමක් කරන්නැ”යි විජේවීරගෙන් ඉල්ලා සිටි බව කියනු ලැබේ.”
(පිටු 332-333)
ප්‍රා ගැන
හූල්ගේ මෙම කෘතියට මහජන පක්ෂය හා වෙනත් වාම පක්ෂවල ක්‍රියාමාර්ගයන් ආශ්රයෙන් ප්‍රා හා ඒ සමාන ඝාතන කල්ලි ඇතිවී ඒවා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද විස්තරාත්මක තොරතුරු රැසක් ඇතුළත්ය. සමහර වාමාංශික පක්ෂවල නායකයන් මෙම කල්ලිවල කටයුතු සමග ඍජු ලෙස පැටලුණේ නැතත් ඔවුන් කරන දේවල් ගැන ඔවුහු දැන සිටියෝය. එසේම ඒ කටයුතු ඔවුහු ද අනුමත කළෝය. හූල් එහිදී මූලාශ්‍ර වශයෙන් පාවිච්චි කර ඇත්තේ ප්‍රා කණ්ඩායම පිළිබඳව පසුකලක හලාවත පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ජී. වයිමන් පෙරේරා විසින් කරන ලද පරීක්ෂණයේ වාර්තාය. ප්‍රා. කණ්ඩායම් නායකයාගේ පෞද්ගලික දිනපොතට ඇතුළත් දින සටහන් ද ඊට ඇතුළත්ය.
මෙම ඝාතන කල්ලි වයම පළාතේ ක්‍රියාත්මක වූයේ පුත්තලම දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය වශයෙන් දෙකකට බෙදාගෙනය. පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු එම දිස්ත්‍රික්කයේ ඇමතිවරයකුගේ අධීක්ෂණය යටතේ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටයුතු එම දිස්ත්‍රික්කයේ ඇමතිවරයකුගේ අධීක්ෂණය යටතේ ද ක්‍රියාත්මක විය. ඝාතන කල්ලි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූයේ වෙන්නප්පුව, හලාවත, පුත්තලම, නිකවැරටිය, කුරුණෑගල, කුලියාපිටිය, මහව යන ප්රදේශවලය. ඔවුන්ට සමහර බලවත් කැබිනට් ඇමතිවරුන් සමග සේ ම ආරක්ෂක හමුදාවල තෝරාගත් ප්‍රධානීන් සමගද සමීප සම්බන්ධකම් තිබුණි. ඔවුන්ගේ කටයුතුවලට අවශ්‍ය ආයුධ ලබාදී තිබෙන්නේ වයඹ පළාතේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියාකළ ජානක පෙරේරාය. මේ ඝාතන කණ්ඩායම්වලට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණවර්ධන, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ, කැරලි මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, සහකාර පොලිස් අධිකාරී රාජා ඩයස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෝලංග ආරච්චි, පොලිස් අධිකාරී ගුණතිලක හා පොලිස් අධිකාරී ගාමිණී ද සිල්වා යන අය සමග සම්බන්ධකම් තිබූ බවද හූල් කියයි.
මෙම කල්ලි විසින් කරනු ලබන හැම ඝාතනයකටම විශේෂ මිලක් ගෙවන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබේ. ඊට අතිරේකව ඔවුහු මුදල් සෙවීම සඳහා මංකොල්ලද කෑවෝය. කප්පම් ලබාගැනීමේ අරමුණින් පුද්ගලයන් ද පැහැර ගත්තෝය.
හෘදය සාක්ෂිය
දැන් අපට ජවිපෙ දෙවැනි කැරැල්ල ආශ්රයෙන් ගොඩනැගුණු ඉතාමත් නග්න ස්වරූපයකින් ක්‍රියාත්මක වූ ද්වන්ද්ව බලය විසින් සමාජය කෙරෙහි ඇති කර තිබුණු සදාචාර අර්බුදය වෙත යා හැකිය.
නග්න ද්වන්ද්ව බලයක් වෙනුවට තිබුණේ ඒකාධිපති බලයක් නම් ජනතාවට තෝරා ගැනීමට සරල මාර්ග දෙකක් තිබුණි. ඒකාධිපතිත්වයට පක්ෂවීම මගින් ජීවිතය ආරක්ෂා කරගැනීම හෝ විපක්ෂ වීම මගින් ජීවිතය නැතිකර ගැනීම හෝ වධ බන්ධනවලට ලක්වීමය. එහෙත් නග්න ද්වන්ද්ව බලයක් ඉදිරියේ එවැනි සරල තෝරා ගැනීමකට ඉඩක් නැත. ආරක්ෂාව සඳහා ජවිපෙට අවනත වූ විට ආරක්ෂක හමුදා අතින් ද, එසේ නැතහොත් ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාවන්ට අවනත වී නම් ජවිපෙ අතින් ද මැරුම් කන්නට සිදුවන්නේය. මෙය ඕනෑම විශේෂ දේශපාලන තත්ත්වයන් අතර තිබිය හැකි අශීලාචාරතම තත්ත්වය ලෙස සැලකිය හැකි අතර මුළු මහත් සමාජයට අශීලාචාර තත්ත්වයකට ඇද දමන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. බර්ට්‍රන්ඩ් රසල් අරාජක තත්ත්වයකට හෝ නග්න ද්වන්ද්ව බලයට වඩා ඒකාධිපතිත්වයක් පවා යහපත් බව කියා ඇත්තේ ඒ නිසාය.
මෙවැනි අවස්ථාවකදී මෙම අශීලාචාර තත්ත්වය ජයගැනීම පිණිස කළ හැකි එක දෙයක් වන්නේ එක බලයක් පරාජය කිරීම සඳහා අනෙක් බලයට සහාය දීමය. දකුණේ සමාජය අවසානයේදී තෝරා ගත්තේ ද ඒ මාර්ගයයි. ජවිපෙ කැරැල්ල පරාජය කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර සේ ම ආගමික සමාජය හා උගතුන් අතර ද පොදු ඒකමතිකභාවයක් අවසානයේ ගොඩනැගී තිබුණේයැ”යි කිව හැකිය. කැරැල්ල පරාජය කිරීමේ ක්‍රියාවලියට සමාජයද විවිධාකාරවලින් දායක වූහ. සමහරෙක් ඒ වෙනුවෙන් අලුගෝසු කාර්යභාරයක් ඉටු කළෝය. තවත් සමහරෙක් ඒ ආකාරයෙන් ඊට සම්බන්ධ නොවූවද ඔවුන් කරන ක්‍රියාවන්ට විරුද්ධ නොවීමෙන් හෝ අනුමැතිය දීමෙන් ඊට හවුල් වූහ.
එය සාම්ප්‍රදායික යුද්ධයක් නොවූ අතර නීතියට අනුකූලව කැරෙන සටනකින් ජයගත හැකි යුද්ධයක් ද නොවීය. ධෛර්යවන්ත අය විවිධ හේතු මත ජවිපෙ කැරැල්ල පරාජය කිරීමේ කාර්යයට ඍජු ලෙස දායක වූහ. සමහරවිට ඔවුන් එහිදී රඟපෑ භූමිකාව අවලස්සණය. මානව විරෝධීය. බලයේ සිටි සාම්ප්‍රදායික දේශපාලනඥයන් හොරුන් බොරුකාරයන් හා තක්කඩින් විය හැකිය. එහෙත් ඔවුහු වෙනස් මත දරන එකඟ නොවන සියලුදෙනා බුරුතු පිටින් මරා දමන තරම් අන්තවාදී තැනකට ගිය අශීලාචාරයෝ නොවූහ. සමහරවිට කැරලිකරුවන් හොරුන් බොරුකාරයන් හා තක්කඩියන් නොවන අවංකයන් වූවා විය හැකිය. එහෙත් ඔවුන් තමන්ට එකඟ නොවන, තමන් අකමැති, සියලුදෙනා බුරුතු පිටින් මරා දැමීමට සූදානම් මිනීමරුවන් වීයැ”යි කිව හැකිය. ඒ තත්ත්වය ඉදිරියේ ජනතාවට තෝරාගැනීමට තිබුණු සාධාරණ විකල්පය වූයේ ධාර්මික මිනීමරු විප්ලවවාදීන්ගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කොට තිබුණු බොරුකාරයන්ගේ හොරුන්ගේ හා තක්කඩින්ගේ ආධිපත්‍යය පිිළිගැනීමය. දේශපාලන අර්ථයෙන් ගත්විට තිබුණු ක්‍රමය හොඳ ශීලාචාර ක්‍රමයක් නොවූවත් කැරලිකරුවන් බලහත්කාරයෙන් පටවන්නට ගිය ක්‍රමය වඩා අශීලාචාරය. ඒ අර්ථයෙන් ජනතාව තමන් ඉදිරියේ තිබුණු අශීලාචාර ක්‍රම දෙක අතුරෙන් වඩා ශීලාචාර ක්‍රමය තෝරා ගත්තේය. ඒ තෝරා ගැනීම සඳහා ජවිපෙ කැරැල්ල පරාජය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර එය ශීලාචාර සටන් ක්‍රමවලින් පරාජය කළ හැකි කැරැල්ලක් නොවීම හේතු කොටගෙන එය අශීලාචාර සටන් ක්‍රම මගින් ජය ගත්තේය. ඒ තුළ විශාල ජීවිත විනාශයක්ද සිදුවිය. එය වඩා විශාල ජීවිත විනාශයක් ඇතිවීම වැළකීම සඳහා ගෙවන ලද වන්දියක් ලෙස සැලකිය හැකිය.
එහෙත් කැරැල්ල පරාජය කිරීමෙන් පසු නැවත තවත් සදාචාර අර්බුදයකට මුහුණ දෙන්නට සමාජයට සිදුවිය. හෘදය සාක්ෂියේ වික්ෂෝභය කරළියට එන්නේ කැරැල්ල පරාජය කිරීමෙන් පසු අතුරුදන්වූවන්ට සම්බන්ධ පවුල්වලින් නැගෙන විලාපය ඉදිරියේය. ඒ සමග කැරැල්ලේ යථාර්ථය හා එය පරාජය කිරීමට තමන් ඍජු ලෙස හා අනියම් ලෙස ලබාදෙන දායකත්වය අමතක කොට හෘදය සාක්ෂිය සකසා ගැනීම පිණිස සියලු වැරදි පැටවීම සඳහා සමාජය හොඳ විත්තිකරුවකු සොයා ගත්තේය. ඒ කැරැල්ල පරාජය කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දුන් ආණ්ඩුව හා කැරැල්ල මර්දනය කළ ආරක්ෂක හමුදාවන්ය. එක තීරණාත්මක මොහොතක අතුරුදන් කරන පිළිවෙතට පක්ෂව ක්‍රියා කළ සමාජයම තවත් මොහොතක අතුරුදන්වූවන් වෙනුවෙන් හඬ නගන සමාජයක් බවට පත්විය. කැරැල්ල පරාජය කිරීමට ඍජු ලෙස දායක වූ අත්වල ලේ තවරා ගත් උගත්තු පවා අතුරුදන්වූවන් වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවන නායකයන් බවට පත්වූහ.
මගේ මතය අනුව පොතේ තිබෙන නීතියට අනුව ජේවීපී කැරැල්ල පරාජය කරන්නට උත්සාහ කළේ නම් ජය ලැබෙන්නට ඉඩ තිබුණේ කැරලිකරුවන්ටය. එය එසේ සිදුවී නම් ඒ නිසා සිදුවන්නට ඉඩ තිබුණු විනාශය දැවැන්තය. කැරැල්ල පරාජය කිරීමේ තීරණාත්මක කාර්යභාරය ඉටු කරන ලද්දේ කැරැල්ලේ ඇට ලේ මස් සමග ගනුදෙනු කළ පුද්ගලයන්ය. ඔවුන්ගේ භූමිකාව ඉතාමත් සාහසික හා අවලස්සණ විය හැකි වුවත් සමාජය භුක්ති විඳිමින් සිටි සීමිත නිදහස හෝ ආරක්ෂා වූයේ ඔවුන් නිසාය. ඔවුන් රඟපෑ භූමිකාව ලස්සණ නැත. ඔවුන්ගේ අත්වලින් මිනිස්සු මැරුණෝය. ඔවුන් විසින් මරා දමන ලද ඒ මිනිසුන් ද දෘෂ්ටිමය වශයෙන් නොමග ගිය පිරිසක් වුවද අපේ රටේ දූ දරුවෝය. නැතිවූ ඔවුන්ගේ ජීවිත ගැන අප කනගාටු විය යුතු වුවත් ඔවුන් ජයගත්තේ නම් වඩා විශාල ජීවිත විනාශයක් ඇතිවීමට ඉඩ තිබුණු බව මුළුමනින් අමතක කොට ඔවුන් වෙනුවෙන් හඬා වැළපෙන ප්‍රතිපත්තියක් සාධාරණ නැත. ඇතිවූ මෙම අශෝභන හා විනාශකාරී තත්ත්වයට අසාධාරණය ජයගැනීමට ආයුධ අතට ගැනීමට ඔවුන් පොළඹවාලූ මෝඩ දේශපාලන දර්ශනයන්ද වගකිව යුතුය.