අගවිනිසුරු ධුරයට අලුතෙන් පත්ව සිටින ශිරානි බණ්ඩාරනායක මැතිනියට අපි සුබ පතමු. මීට සමාන ආකාරයකට අධිකරණයට තිබූ ගෞරවය අහිමි කොට විශ්‍රාම ගිය සරත් නන්ද සිල්වා මහතාගෙන් පසු අගවිනිසුරු ධුරයට පත් අශෝක ද සිල්වා මහතාටද අපි එසේ සුබ පැතුවෙමු. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයේ සිටියදී අධිකරණයට කර තිබූ අතිවිශාල විනාශයට යම් පමණකින් හෝ අනුප්‍රාප්තික අගවිනිසුරුවරයා විසින් පිළියම් යොදනු ඇතැ”යි අපි අපේක්ෂා කළෙමු. එහෙත් එතුමා අතින් ඒ කිසිවක් සිදු නොවූ බව කියන්නට සිදුවී තිබෙන්නේ කනගාටුවෙනි.
බලවත් අසාධාරණයක් සිදුවූ අවස්ථාවකදී යන්නට තිබෙන එකම තැන අධිකරණයයි. රටක යුක්තිය ඉටුකිරීම සඳහා ඇති කර තිබෙන අධිකරණ සංවිධාන ක්‍රමය හා එය යුක්තිය පසිඳලන ආකාරය ඒ රටේ ශීලාචාරකමේ තරම පිළිබිඹු කරන බව කියා ඇත්තේ හැරල්ඩ් ලැස්කිය.
අපේ රටේ අධිකරණයද ඉතාමත් ක්‍රමවත් ලෙස හා සාධාරණව ක්‍රියාකරන යුගයක් තිබුණි. සමසමාජ පක්ෂයට හිතවත්ව ක්‍රියාකළ වතු පාලකයකු වූ මාක් ඇන්තනි බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයා දෙන ලද නියෝගයක් නීති විරෝධී බව ප්‍රකාශ කරන්නට තරම් ස්වාධීනව ක්‍රියාකළ යුගයක්ද අපේ අධිකරණයට තිබුණි. එහෙත් ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය. විශේෂයෙන්ම 1977 විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු විධායකය අධිකරණය කෙරෙහි වැඩි වැඩියෙන් බලපාන තත්ත්වයක් ඇතිවිය. එහිදී පවා උසස් අධිකරණයේ විනිසුරුවරුන් අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය රැකගැනීමට තිබෙන උනන්දුව අත්හැරියේ නැත. ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ඇතිව රට පාලනය කරන යුගයේ පවා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පාලක පක්ෂයේ සංතෝෂයට හේතු නොවන නඩු තීන්දු ලබාදීමට අධිකරණය මැලි නොවීය. ඒ නිසා අධිකරණය පාලකයන්ගේ බලවත් උදහසට ලක්වූ අවස්ථාද තිබුණි. එහෙත් අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින් ආපස්සට හැරවීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පවා නොහැකි විය.
එහෙත් 1999දී අගවිනිසුරු ධුරයට පත් සරත් නන්ද සිල්වා මහතා විසින් අධිකරණයේ ගමන් මග මුළුමනින් ආපස්සට හැරවීය. සීමාසහිතකම් තිබියදීත් එය හිමි කරගෙන තිබූ ස්වාධීනත්වය හා ගෞරවය නැත්තටම නැති කළේය. අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත් කළේය. එය විනයක් නැති, ක්‍රමයක් නැති, දූෂණයෙන් ඉහවහා ගිය අශීලාචාර බව රජ කරන තැනක් බවට පත්කළේය. තමන්ට පහසුවෙන් නැටවීමට බැරි බව පෙනෙන අධිකරණ නිලධාරීන් අධිකරණයෙන් පලවා හැර තමන්ට පහසුවෙන් නැටවිය හැකි අලුත් පිරිසක් අධිකරණයට ගෙනාවේය. අධිකරණ නිලධාරීන්ට සේ ම නීතිඥයන්ටද දූෂිතව ක්‍රියාකිරීමට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අධිකරණය අපරාධකරුවන් සමග කල්ලි ගැසී ක්‍රියා කරන ආයතන ක්‍රමයක් බවට පත් කළේය.
මේ තත්ත්වයේ වෙනසක් රට අපේක්ෂා කරයි. අධිකරණය නීතියට අනුකූලව යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන තැනක් බවට පත්විය යුතුය. යුක්තිය පසිඳලන අධිකරණ නිලධාරීන් නීතිය ගැන දන්නා නීතිගරුක හා විනයගරුක අය විය යුතුය. තම නිල තත්ත්වයෙන් අයුතු ඵල ප්‍රයෝජන නොලබන, බාහිර බලපෑම්වලට යට නොවන යහපත් පැවැත්මක් හා වෘත්තීය අභිමානයක් ඇති අය විය යුතුය. ඔවුන්ගේ හොඳ නරක නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් තිබිය යුතුය.
නීතිඥ සේවාව ද අධිකරණය සමග වෙන් නොකළ හැකි ලෙස එකට ගැටගැසී තිබෙන සේවාවකි. විනිශ්චයකාරවරුන් අතර හොඳ විනිශ්චයකරුවන් සේ ම නරක විනිශ්චයකාරවරුන් සිටින්නා සේ නීතිඥයන් අතරද වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගත් නීතිඥයන් සිටිනවා සේ ම ගෞරවය අහිමි කරගත් නීතිඥයන්ද සිටින්නේය.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති නරකම තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ වැරදි කරන අධිකරණ නිලධාරීන්ට හා වැරදිකරන නීතිඥයන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි ගැන සාධාරණව සොයා බලා හා බරපතළ වැරදි කර තිබෙන පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමය. අධිකරණ නිලධාරීන් අතර සේ ම නීතිඥයන් අතර ද දක්නට ලැබෙන සදාචාර පරිහානිය කෙරෙහි මේ කරුණ වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. මේ තත්ත්වයෙහි ඉක්මන් වෙනසක් මහජනයා අපේක්ෂා කරයි.
ඉතාම වැදගත් දේ ආණ්ඩුවට පක්ෂපාත හෝ ආණ්ඩුවට විරුද්ධ අධිකරණ ක්‍රමයක් මහජනයා අපේක්ෂා කරන්නේ නැත. මහජනයාට අවශ්‍ය ඒ දෙකටම නැති සාධාරණ අධිකරණ ක්‍රමයකි. යහපත් වෙනස්කම් නැතිව නිකම්ම ඉදිරියට යනවා වෙනුවට අධිකරණයේ ගෞරවය හා මහජන විශ්වාසය ඇති කිරීමට හේතුවන වෙනසක් සමග ඉදිරියට යෑමට නව අගවිනිසුරුවරියට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු!