පිටකොටුවේ පිහිටි සාන්ත ජෝන් මාළු වෙළෙඳ සැල හා මැනිං වෙළෙඳපොළ කොළඹ පිටකොටුවෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන තිබුණු තීරණය අනුව සාන්ත ජෝන් මාළු වෙළෙඳසැල සඳහා විකල්ප මාළු තොග වෙළෙඳසැලක් පෑලියගොඩ ඉදිකරන ලදි. සාන්ත ජෝන් වෙළෙඳසැලේ මාළු වෙළෙදාමේ යෙදී සිටි සියලුදෙනාට අලුතෙන් පෑලියගොඩ ඉදිකළ විකල්ප වෙළෙඳපොළෙන් මාළු අලෙවි කරන කුටි නොලැබුණේය කියන දුක්ගැනවිල්ලක් තිබියදී පෑලියගොඩ විවෘත කැරුණු නව වෙළෙඳපොළ් මාළු වෙළෙඳුන්ගෙන් කප්පම් ලබාගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක් ගැන වාර්තා විය.
මෙම කප්පම් වැඩපිළිවෙළ ගැන ප්‍රකාශ වූ වහාම කප්පම් කල්ලි අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ඉතාමත් යහපත්ය. එහිදී ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය අනුව පොලීසිය 14 දෙනකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අතර පෑලියගොඩ නගර සභාවේ උපසභාපතිවරයකුද, කැලණිය සමුපකාර සමිතියේ උප සභාපතිවරයාද සිටින බව පුවත්පත් වාර්තා කර තිබුණි.
රටේ පවතින කප්පම් සංස්කෘතිය පෑලියගොඩ මාළු වෙළෙඳසැලට පමණක් සීමාවී නැත. රේගුවේ සිදුවන වාහන වෙන්දේසි සඳහා ද බලහත්කාරී ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. වෙන්දේසිවලට සහභාගිවීමේ බලය ලැබී තිබුණේ කප්පම් කල්ලියකට පමණය. මෝටර් රථයක් වෙන්දේසියේ මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට ඒ මිලදී ගැනීම කළ යුතුව තිබුණේ එම කප්පම් කල්ලිය හරහාය. ඒ මගින් එම කප්පම් කල්ලිය හැම වෙන්දේසියකින්ම අතරමැදියන් ලෙස ක්‍රියා කොට දැවැන්ත ආදායමක් උපයා ගත්තේය. මීට සමාන ක්‍රමයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුවන වාහන වෙන්දේසිවලදීද ක්‍රියාත්මක විය.
රේගු වෙන්දේසිය පාලනය කළ කප්පම් කල්ලි දර්ශනයෙන් ඉවත් කරන ලද්දේද ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙනි. ඔහුගේ අවධානය බස්රථවලින් කප්පම් ගන්නා කල්ලි වෙතද යොමුවිය යුතුය. හැම පෞද්ගලික බස්රථයකින්ම බස්නැවතුම් පොළවල්වලදී කප්පම් ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපතිගේ තක්සේරුව අනුව කප්පම්කරුවන් පෞද්ගලික බස්රථවලින් ලබාගන්නා කප්පම්වල මාසික වටිනාකම රුපියල් ලක්ෂ 800කි. පෞද්ගලික බස්රථ අය කරන මගී ගාස්තුවට ඔවුන් කප්පම්කරුවන්ට ගෙවන කප්පම් මිලද ඇතුළත්ය.
කප්පන් ද අල්ලසේම ප්‍රභේදයකි. රටේ මාර්ග නීති ක්‍රියාත්මකවන්නේ රිය පදවන්නන් පීඩාවට ලක් කැරෙන ආකාරයටය. තිබෙන මහා මාර්ග පළල් කොට ඒවා නවීන කැරෙන්නේ සාධාරණ වේගයකින් ගමන් බිමන් යෑමේ හැකියාව ලබාදීම සඳහාය. එහෙත් සංවර්ධනය කැරෙන මාර්ග සඳහා ක්‍රියාත්මක කැරෙන්නේ නවීකරණය කරන ලද මාර්ගවලට උචිත අලුත් වේග නීති නොව, පැරණි මාර්ග සඳහා ක්‍රියාත්මක වූ වේග නීතිය. උසාවියට තිබෙන නඩු අසාගන්නට බැරිතරමට නඩු ගොඩ ගැසී ඇතත්, මාර්ග නීති කඩන්නන්ද උසාවියට ඉදිරිපත් කැරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. වෙනත් රටවල් එවැනි සරල වැරදිවලට දඩ ගසනවා මිස චූදිතයන් උසාවි යවන්නේ නැත. මෙහිදී නඩු පැවරීමට රථවාහන පොලීසියට ලැබී තිබෙන අභිමත බලය පොලිස් නිලධාරීහු බොහෝ විට වැරදි ලෙස ප්‍රයෝජනයට ගනිති. උසාවි යෑමෙන් සිදුවන රස්තියාදුව හා ඒ වෙනුවෙන් කරන්නට සිදුවන විශාල වියදම සලකා උසාවි යනවා වෙනුවට පොලිස් නිලධාරියාගේ සතුටට හේතුවන තරමේ අල්ලසක් ගෙවා ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නට චෝදනාලාභීන්ගෙන් වැඩි පිරිසක් කැමැත්තක් දක්වති.
මාර්ග නීති කඩන අයට දඩ ගෙවන ක්‍රමය සරල නොකරන්නේ ඇයි? පොලීසියට දඩ මුදල් සඳහා බැංකු ගිණුමක් ආරම්භ කළ හැකිය. එවිට මාර්ග නීති උල්ලංඝනයකට හසුවන පුද්ගලයකුට තැපැල් කන්තෝරුවකට හෝ සුපිරි මාර්කට්ටුවකට ගොස් ඒ දඩය ගෙවා ඊට ලැබෙන ලදුපත පොලිස් නිලධාරියාට දී ගමන් බලපත්‍රය වහාම ලබාගත හැකිය. ඒ මගින් මෙම විෂයේදී අල්ලස්වලට ලැබී තිබෙන වැදගත්කම අඩු කළ හැකිය.