ජපානයට සිදුවී තිබෙන මහා විපත ලෝක ආර්ථිකය කෙරෙහි සේ ම ශ්‍රී ලාංකික ආර්ථිකය කෙරෙහිද අඩු වැඩි වහයෙන් හානිදායී ලෙස බලපානු නොවැළැක්විය හැකිය.
සංවර්ධනයේදී ස්වභාව ධර්මය කෙරෙහි සංවේදී වීමේ අවශ්‍යතාව ජපාන ඛේදවාචකයෙන් අපට උගත හැකි ලොකුම පාඩම ලෙස සැලකිය හැකිය. ඇතිවිය හැකිව තිබෙන ස්වාභාවික විපත් කෙරෙහි අප මීට වැඩි අවධානයකින් ක්‍රියා කරන තැනකට යායුතුය.
ස්වාභාවික විපත් ලෝකයට අලුත් දෙයක් නොවූවත් අතීතයේ පැවති තත්ත්වයට වෙනස් ආකාරයකින් ස්වාභාවික විපත් චක්‍රය කැරකෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් ශ්‍රී ලංකාවට විශාල ජීවිත හානියක්ද දේපළ හානියක්ද සිදුවිය. ඉන්පසු 2011 ඇතිවූ ගංවතුරෙන් එදා සුනාමියෙන් ඇතිවූ දේපළ හානියට වැඩි දේපළ හානියක් රටට සිදුවිය. විශාල දේශගුණික විපර්යාසයකට අප රට පමණක් නොව, මුළු ලෝකයද ගොදුරු වෙමින් තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගෝලීය උණුසුම අසාමාන්‍ය ආකාරයකින් ඉහළයමින් තිබෙන බව තේරුම් ගැනීමට එම සංකීර්ණ විෂය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් ඇති කරගැනීම අවශ්‍ය වන්නේ නැත. එය අප හැම කෙනකුගේම ඇඟපතට දැනෙන යථාර්ථයකි.
උත්තර ධ්රුවයේ උෂ්ණත්වය වැඩිවීම, හිමතලය අඩුවීම, සාගර ලවණ සාන්ද්‍රණය වෙනස්වීම, වායුගෝලයේ වාෂ්ප ඝනත්වය, වායු සංසරණ රටාව වෙනස්වීම යනාදී කාරණා වර්තමාන විද්‍යාඥයන්ගේ නොමඳ අවධානය දිනාගත් කාරණා බවට පත්වී තිබේ.
දැඩි නියඟ තත්ත්වයන් ඇතිවීම, ධාරාණිපාත වර්ෂා, නිරන්තර ගංවතුර, දැරිය නොහැකි උෂ්ණය, හිතුවක්කාරී ඍතු විපර්යාස සාහසික සුළි සුළං, ළැව්ගිනි වැනි ස්වාභාවික විපත් හා ඉහළ යන ගෝලීය උණුසුම අතර පැහැදිලි අන්තර් සම්බන්ධයක් ඇති බවද විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව වී තිබෙන්නේ මනුෂ්‍ය වර්ගයා වායුගෝලයට එකතු කැරෙමින් තිබෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයේ විශාලත්වයයි. එය ස්වභාව ධර්මයේ සමතුලිතභාවය අභියෝගයට ලක් කරන බලවත් සාධකයක් වී තිබේ.
අපේ රටේ ඉතිරි වී තිබෙන වනාන්තර අප ආරක්ෂා කරගත යුතුය. කැලෑ කැපීම දේශපාලන අනුග්‍රහය මත සමහර ව්‍යාපාරිකයන් මහා පරිමාණයෙන් ධනය උපයන මාර්ගයකි. වනාන්තර ආරක්ෂා කරගැනීම රජයට පමණක් සීමාවූ වගකීමක් බවට පත් නොකොට එය මහජනයා විසින් මහජනයා සතු වගකීමක් බවට පත්කරගත යුතුය.
පොදු ප්‍රවාහන සේවා විධිමත් හා කාර්යක්ෂම කොට පෞද්ගලික වාහන පරිහරණය අධෛර්යමත් කළ යුතුය. දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ගෙවන කප්පමක් බවට පත්ව ඇති රේගු බදු විරහිතව වාහන සඳහා දෙනු ලබන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ යුතුය. පුස් බයිසිකලයෙන් කැරෙන ගමනාගමනය ධෛර්යමත් කළ යුතුය.
කඳුකරයේ ඉදිකර තිබෙන මහා පරිමාණයේ ජලාශ පිළිබඳව නැවත සලකා බලන තැනකට යායුතුය. මුහුදු මට්ටම නොකඩවා ඉහළයමින් තිබෙන බව හා එයින් වෙරළබඩ ජනතාවට අනාගතයේ ඇතිවිය හැකි අභියෝග කෙරෙහි දැන් සිටම අවධානය යොමු කළ යුතුය.
ගල් අඟුරු බලාගාර වායුගෝලයට කාබන් එකතු කරන වැදගත්ම මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඒ නිසා දැනට හදමින් තිබෙන ගල්අඟුරු බලාගාරය හැර අලුත් ගල්අඟුරු බලාගාර හදන තැනකට අපි නොයා යුතුුය. ඩීසල්, දැවි තෙල් හා ගල්අඟුරු වෙනුවට න්‍යෂ්ටික බලාගාරවලට මාරුවිය යුතුයි කියන අදහස ද නැවත සලකා බලන තැනකට යායුතුය.
න්‍යෂ්ටික බලාගාර ඉතාමත් භයානක ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව දැනටමත් ජපානයේ අත්දැකීම් විසින් සනාථ කර තිබේ. න්‍යෂ්ටික බලයෙන් විදුලි බලය නිපදවන රටවල් ගණනාවක් විසින්ද එම ඛේදවාචකයෙන් පසුව ඔවුන් තෝරාගත් මාර්ගය ගැන නැවත සලකා බලන තැනකට දැනටමත් යොමුවී තිබේ.
මේ තත්ත්වය ඉදිරියේ අපට තෝරාගැනීමට ඉතිරි වී තිබෙන විකල්පය වනුයේ ගෘහස්ථ විදුලි පරිභෝජනය අවම කරන අතර ස්වභාව ධර්මය කෙරෙහි විනාශකාරී ලෙස බලනොපාන විකල්ප හරිතබල ශක්ති ප්රභවයන්ට මාරුවීමය.