ගාන්ධි නූතන ශ්‍රී ලංකාවට කැඳවා ගෙන ඒම (3)

March 20, 2011
Publication:
Gandhi's analysis of the crisis modern Sri Lanka faces and of the way to overcome it comes with his commentary on Sri Lankan history, and this instalment is his reading of the Portuguese and Dutch periods: the conversions, the Karava and Salagama communities, the Malays, and the taking of the Kandyan kingdom.

ගාන්ධි වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එය ජයගත යුතු මාර්ගය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව කැරෙන විවරණයත් සමගය. පෘතුගීසි හා ලන්දේසී යුගය ගැන ඔහු කරන විග්‍රහය මෙසේය.

ජී.සී. මෙන්ඩිස්ට අනුව ලංකාව කෙරෙහි පැවති දකුණු ඉන්දියානු බලපෑම වළකා ලංකාව යුරෝපීය බලපෑමට ලක්කරන ලද්දේ පෘතුගීසීන්ය. ඒ ගැන එමසන් ටෙනන්ට් කර තිබෙන නිරීක්ෂණයද වැදගත්ය. ඔහු කියන්නේ පෘතුගීසීන් නියම කාලයට නාවේ නම් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙනුවට ලංකාවේ ඇතිවන්නට තිබුණේ මුස්ලිම් රාජ්‍යයක් බවය. පෘතුගීසීන්ට පෙර මෙම මුහුදු කලාපයේ ආධිපත්‍යය තිබුණේ අරාබීන්ටය.

පෘතුගීසීන්

පෘතුගීසි යුගය ලෙස සැලකෙන 1505 සිට 1658 දක්වා වන අවුරුදු 153න් මුල් අවුරුදු 46ම පෘතුගීසීන් ක්‍රියාකර ඇත්තේ කෝට්ටේ රජවරුන්ගේ ආධාරකාර මිතුරන් ලෙසය. ඊළඟ අවුරුදු 16 කෝට්ටේ රාජ්‍යය ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට පත්විය. ඉන්පසුව කෝට්ටේ රාජ්‍යයද, පසුව යාපනේ රාජ්‍යයද අල්ලා ගත්තේය. එම රාජ්‍යයන් දෙකට අයත් ප්‍රදේශ පෘතුගීසීන් අතින් පාලනය වූයේ ඉතිරි අවුරුදු 61දී පමණය.

පළමුව පෙඩරල් පක්ෂය විසින් ද පසුව දෙමළ සටන්කාමී සංවිධාන විසින් ද ඔවුන්ගේ වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහස යුක්තිසහගත කිරීම සඳහා ඉදිරිපත් කැරුණු ප්‍රධාන තර්කයක් වූයේ පෘතුගීසි යුගය දක්වාම දෙමළ ජනතාව තමන්ගේම වන වෙනම රාජ්‍යයක් මගින් පාලනය වී ඇති බවත්, උතුරු නැගෙනහිර පළාත් දෙක එම රාජ්‍යයේ භූමි ප්‍රදේශය වූ බවත්ය. එහෙත් එදා පැවති ඇත්ත තත්ත්වය ඊට වෙනස්ය.

යාපනේ රාජ්‍යය අඛණ්ඩව ස්වාධීන තත්ත්වයක් හිමි කරගෙන තිබූ රාජ්‍යයක් නොවීය. එය සිය පැවැත්මෙන් වැඩි කාලයක් පැවත ඇත්තේ විටින් විට බලවත් වූ දකුණේ රාජ්‍යයන්ට කප්පම් ගෙවන තත්ත්වයකය. අනෙක් අතට එම රාජ්‍යය පාලනය කළ සියලු රජවරු දෙමළ නොවූහ. ඊළඟ වැදගත් දේ වනුයේ එය බොහෝ කාලයක් යාපනය අර්ධද්වීපයට පමණක් සීමාවූ රාජ්‍යයක තත්ත්වයක තිබීමය. වන්නිය පවා යාපනයේ රාජ්‍යයේ ඍජු පාලනයට නතු ප්‍රදේශයක් නොවීය. එහි ජීවත් වූවෝ වන්නිවරුන් ලෙස සැලකුණු විශේෂ අනන්‍යතාවක් සහිත ජන කොටසකි. වන්නියේ පාලකයෝ එක්කෝ යාපනේ රාජ්‍යයට නැතිනම් දකුණේ කිසියම් බලවත් රාජ්‍යයකට කප්පම් ගෙවමින් ස්වාධීන පාලනයක් පවත්වාගෙන ගියෝය. මඩකළපුව මුහුදු තීරයේ ජීවත් වූ දෙමළ ජනයා ද යාපනේ රාජ්‍යයට අයත් නොවූහ. ත්‍රිකුණාමලයේ වරාය ද යාපනේ රාජ්‍යයට අයත් නොවීය. රජරට මුල් කරගත් වියළි කලාපයේ පැවති මැලේරියා කලාපයද යාපනේ රාජ්‍යයට දේශ සීමා පුළුල් කරගැනීමට තිබුණු ඉඩ අහුරා තිබුණි.

පෘතුගීසීන් කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගැනීමට උපරිම ශක්තිය යොදා ක්‍රියා කළ ද ඔවුන්ට කන්ද උඩරට රාජ්‍යයත්, එම රාජ්‍යය විසින් හිමිකම් කියන ලද උතුරින් පැරණි රජරට ප්‍රදේශයවත් (එහි පැවති මැලේරියා තත්ත්වය පෘතුගීසීන් කෙරෙහිද බලපෑවා විය හැකිය) නැගෙනහිරින් බෙංගාල බොක්ක දක්වා විහිදුණු ප්‍රදේශයවත් අල්ලා ගැනීමට හැකිවූයේ නැත.

පෘතුගීසි කාලයේ සිදුවූ කෙළවරක් නැති යුද්ධ එම යුද්ධ පැවති ප්‍රදේශ කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය. එම යුගය ආර්ථික, සමාජයීය හා සංස්කෘතික යන අංගවල පරිහානියක් මිස දියුණුවක් ඇති කළ යුගයක් ලෙස සැලකිය නොහැකිය. තිබුණු පාලන ක්‍රමයේද ඔවුන් අතින් වැදගත් වෙනසක් සිදුවූයේ නැත. එහෙත් බාහිර දේවල් කෙරෙහි ඔවුන්ගේ බලපෑම අද දක්වා කැපී පෙනෙන තත්ත්වයක පවතී.

ජනේලය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ඔවුන්ය. සිංහල උළු වශයෙන් හැඳින්වෙන වටකුරු උළු වර්ගය හඳුන්වා දෙන ලද්දේ ද ඔවුන්ය. වර්තමානයේ පවා සිංහල භාෂා ව්‍යවහාරයේ බහුල ලෙස පාවිච්චි කැරෙන මේසය, අල්මාරිය, කමිසය, කලිසම, සපත්තුව, මේස්, ලේන්සු, අල්පෙනෙත්ති, බොත්තම් යනාදී වචන ලැබුණේ ද ඔවුන්ගෙනි.

වර්තමානයේ පවා සිංහල ජනයා අතර බහුල වශයෙන් පාවිච්චි වන වාසගම් කෙරෙහි අවධානය යොමු කරන විදේශිකයකුට ශ්‍රී ලංකාව පෙනෙනු ඇත්තේ ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ පැවති යටත්විජිතයක් ලෙස නොව, පෘතුගීසී යටත්විජිතයක් ලෙසය. පහතරට සිංහලයන් අතර, ද සිල්වා, ප්‍රනාන්දු, පීරිස්, ෆොන්සේකා, පෙරෙයිරා හෝ පෙරේරා යන වාසගම් පාවිච්චි කරන්නන් බහුලය. බී.එච්. ෆාමර්ගේ මතය වී ඇත්තේ ඔවුන් එසේ කරන්නට ඇත්තේ ඒ මගින් අමුතු නම්බුවක් ලැබෙනු ඇතැ”යි සලකාය. නැත්නම් වාසගමින් හෙළිවන කුලය වසන්කිරීමේ අභිප්‍රායෙනි. පෘතුගීසි වාසගම් නොගත් ඇතැම් පහතරට සිංහලයෝ දොන් යන නාමය සිය වාසගමට එකතු කරගත්තෝය. පෘතුගීසීන් කෝට්ටේ රජු බෞතිස්ම කරන ලද්දේ දොන් ජුවන් ධර්මපාල යන නමිනි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රතාපවත් නායකයා ලෙස සැලකිය හැකි අනගාරික ධර්මපාලගේ වාසගමටද දොන් නාමය ඇතුළත්ව තිබුණි. ලංකාවේ ප්‍රථම අගමැති දොන් ස්ටීවන් සේනානායක වන විට නූතන සිංහල ගැමි තරුණ පරපුරේ කැරලිකාර නායකයාගේ නම දොන් නන්දසිරි විජේවීර විය. එහෙත් පෘතුගීසි නම් භාවිත කරන බොහෝ දෙනෙක් බෞද්ධයන් මිස කතෝලිකයෝ නොවෙති. එහෙත් පහතරට සිංහල සමාජය ගිලගත් මෙම රැල්ලට යාපනේ දෙමළ සමාජය හසු නොවීය. ඔවුන් අතර පෘතුගීසී වාසගම් භාවිත කරන්නන් ඇත්තේම නැති තරම්ය.

කතෝලිකාගම

කතෝලිකාගම පෘතුගීසීන්ගෙන් ලැබුණු ලොකුම දායාදය ලෙස සැලකිය හැකිය. එය පතළ කරන ලද්දේ ද ධර්මයේ බලයෙන් නොව, කඩුවේ බලයෙනි. 1569දී ඔවුන්ගේ බලප්‍රදේශය තුළ බුද්ධාගම හෝ හින්දු ආගම ප්‍රසිද්ධියේ ඇදහීම තහනම් කරන ලදි. ඔවුන්ගේ යුද්ධ ව්‍යාපාර පැවති ප්‍රදේශවල බෞද්ධ විහාර හා හින්දු දේවාල විනාශ කරන ලදි. ඔවුන්ගේ පාලන ප්‍රදේශවල ජීවත් වූ බෞද්ධ භික්ෂූන්ට සිවුරු අත්හැරීමට හෝ කන්ද උඩ රාජ්‍යයට පලායෑමට හෝ සිදුවිය.

මුස්ලිම්වරුන් සමග පෘතුගීසීන්ට තිබුණු ලොකුම මතභේදය වූයේ ඔවුන් ඇදහූ ආගමට වඩා මුස්ලිම්වරුන්ද වෙළෙඳ ප්‍රජාවක් වීමය. පෘතුගීසීන් නිසා ලංකාවේ මුස්ලිම්වරුන් එතෙක් පවත්වාගෙන ගිය වෙළෙඳ ඒකාධිකාරය ඔවුන්ට අහිමි වූ අතර පෘතුගීසි ආධිපත්‍යයට එරෙහිව පළමුව බලවත් ලෙස නැගී සිටි ජන ප්‍රජාව වූයේද මුස්ලිම්වරුය. ඔවුහු 1517දී පෘතුගීසීන්ගේ කොළඹ බලකොටුව වටලා පහර දුන්නෝය. ඉන් අවුරුදු 100කට පමණ පසුව පෘතුගාලයේ රජුගේ ආඥාවක් අනුව පෘතුගීසීහු සිය පාලන ප්‍රදේශවලින් මුස්ලිම්වරුන් පලවා හැරියෝය. ඔවුන්ට ආරක්ෂාව සඳහා කන්ද උඩරට රාජ්‍යයට පලායන්නට සිදුවූ අතර කන්ද උඩරට රාජ්‍යයේ රජතුමා ඔවුන්ගෙන් කිසියම් පිරිසක් උඩරට ප්‍රදේශවල පදිංචි කරවා තවත් පිරිසක් මඩකළපුව දිස්ත්‍රික්කයේ පදිංචි කරවන ලදි. නැගෙනහිර විශාල මුස්ලිම් ජනගහනයක් සහිත ප්‍රදේශයක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය බොහෝ දුරට ජනශූන්‍ය තත්ත්වයක පැවති වියළි කලාපය නැවත ජනාවාස කිරීමට දරන ලද පුරෝගාමී උත්සාහය ලෙසද සැලකිය හැකිය.

සිංහල බෞද්ධයන් හා දෙමළ හින්දූන් කතෝලිකාගමට හරවා ගැනීම සඳහා පැරණි ආගම් අතහැර කතෝලිකාගමට හැරෙන්නන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. එය බලහත්කාරී වැඩසටහනක් මගින් ආගමක් ව්‍යාප්ත කිරීමට ලංකාවේ දරන ලද පළමු ප්‍රයත්නය ලෙස ද සැලකිය හැකිය. ඊට පෙර බොහෝ දුරකට ජනවර්ග තුනකට සීමාවී තිබූ බුද්ධාගම, හින්දු ආගම හෝ මුස්ලිම් ආගම බලහත්කාරී ස්වරූපයකින් අන් වර්ග වෙත ව්‍යාප්ත කිරීමක් සිදු නොවීය. බෞද්ධයන් හා හින්දුන් ඇදහූ ආගම් අතර වෙනස්කම් තිබුණද මේ ආගම් දෙකේම සැදැහැවත්තු පොදුවේ කර්මය හා පුනරුත්පත්තිය විශ්වාස කළෝය. එහෙත් කතෝලිකාගම කර්මය හා පුනරුත්පත්තිය විශ්වාස නොකළ ඒකදේව ආගමක් විය. මොන මොන හේතු නිසා හෝ සිංහල බෞද්ධ ජනගහනයෙන් 9%ක් පමණද, දෙමළ හින්දු ජනගහනයෙන් 11%ක් පමණ ද කතෝලිකාගමට හරවා ගැනීමට පෘතුගීසීහු සමත් වූහ. ඒ මගින් බුද්ධාගමට සිංහල ජනතාව අතරද, හින්දු ආගමට දෙමළ ජනතාව අතරද තිබූ ආගමික ඒකාධිකාරය අහෝසිවීමක් ද සිදුවිය.

නව ආගම වැළඳ ගත්තවුන්ගෙන් වැඩිම පිරිස සිංහල සමාජයේ කරාව කුලය වශයෙන් ද, දෙමළ සමාජයේ කරයාර් කුලය වශයෙන්ද හැඳින්වුණු එකම කුලයකට අයත් වූවන්ගෙන් සමන්විත විය. මෙම කුලයට අයත් ජන කණ්ඩායම මසුන් මැරීම ජීවන වෘත්තිය කරගත් විටින් විට දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වී මුහුදුකරයේ ජීවත් වූ සිංහල හෝ දෙමළ වැඩවසම් ක්‍රමයට හොඳින් අනුගත නොවූ ජන කණ්ඩායමක් වන බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එම ජන කණ්ඩායමෙන් විශාල කොටසක් කතෝලිකාගම වැළඳ ගැනීම කෙරෙහි ද එම සාධක බලපා තිබෙන බව පෙනේ. සිංහල දෙමළ කුල ධුරාවලි ක්‍රමය තුළ ඔවුන්ට ලැබී තිබුණේ පහළ තත්ත්වයකි. බුද්ධාගමේ හා හින්දු ආගමේ මසුන් මැරීම සැලකුණේ පාපයක් ලෙසය. ඒ නිසා ඔවුන්ගේ ජීවන වෘත්තිය හා මේ ආගම් දෙක අතර නොගැළපීමක් තිබුණි. අනෙක් අතට මුහුද සමග ජීවත් වූ ජනතාවක් වශයෙන් මුහුදේ ආධිපත්‍යය පැවති පෘතුගීසීන් අදහන ආගමට යෑමෙන් මුහුදේ කැරෙන ඔවුන්ගේ කටයුතු පහසු කිරීමට හේතුවනු ඇතැ”යි ඔවුන් විශ්වාස කළා විය හැකිය. අනෙක් අතට ධීවර වෘත්තියට කතෝලික ආගමේ තිබුණු ඓතිහාසික සම්බන්ධයද එම ආගම කෙරෙහි වන ආකර්ෂණයට බලපෑවා විය හැකිය.

අදටත් මොරටුවේ සිට හලාවත දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන වැඩි පිරිසකගේ ආගම කතෝලිකාගමය. ඔවුන්ගෙන් අතිවිශාල බහුතරයක් කරාව කුලයට අයත්ය. උතුරේ දමිළ කතෝලිකයන්ගෙන්ද බහුතරයක් අයත්වන්නේ කරයාර් කුලයටය. මෙම පිරිස කතෝලිකාගම වැළඳගත් හේතු මොනවා වුවද ලන්දේසි පාලන යුගයේදී ඔවුන්ගේ පාලන ප්‍රදේශවල ජීවත් වූ කතෝලිකයන්ට එල්ල වූ දැඩි මර්දනයේදී ඔවුහු ආගම අත්නොහරින දැඩි පිළිවෙතක් පවත්වාගෙන ගියෝය. ඒ අවස්ථාවේදීද කතෝලිකාගමේ ප්‍රධාන ක්‍රියාධරයන්ට ආරක්ෂාව සඳහා පලා යන්නට සිදුවූයේ කන්දඋඩ රාජ්‍යයටය. මහනුවර රජතුමා භේදයකින් තොරව ඔවුන්ට රැකවරණය ලබා දුන්නේය.

කරාව හා සලාගම ප්‍රජාව

මොරටුවේ සිට හලාවත දක්වා වන මුහුදු තීරයේ කරාව කුලයේ බහුතරයක් කතෝලිකාගම වැළඳ ගත්තද පානදුරේ සිට තංගල්ල දක්වා වන මුහුදු තීරයේ ජීවත් වූ කරාව කුලයේ ජනයා කතෝලිකාගම වැළඳ ගත්තේ නැත. ඔවුන් තවදුරටත් තමන් ඇදහූ ආගමේ (බුද්ධාගමේ) රැඳී සිටියා පමණක් නොව, ඉංග්‍රීසි යුගයේ ඇතිවන බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ කොඳු නාරටිය ලෙස ක්‍රියාකරන්නේද ඔවුන්ය. මේ දෙපිරිස මාර්ග දෙකක් තෝරා ගත්තේ ඇයිද යන්න නොපැහැදිලිය. ආගම් භේදයකින් තොරව බ්‍රිතාන්‍ය යුගයේදී විවර වන ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත් ජන කණ්ඩායම වූයේද කරාව කුලයේ ජනයාය. ඒ මගින් ඔවුන් අනෙක් කුලවලට සාපේක්ෂව ධනවත්කමෙන් සේම උගත්කමෙන්ද ඉදිරියෙන්ම සිටින ජන කණ්ඩායම බවට පත්විය.

වෙළෙඳාමේදී පෘතුගීසීන්ට වඩාත්ම වැදගත් වූයේ කුරුඳුය. ලෝකයේ ඉස්තරම්ම කුරුඳු තිබුණේද ලංකාවේය. වෙළෙඳාමේදී ලන්දේසීන්ට වැදගත් වූයේද කුරුඳුය. පහතරට මුහුදුබඩ කුලයක් ලෙස සැලකෙන සලාගම කුලය කුරුඳු කර්මාන්තයට සම්බන්ධ කුලය බවට පත්ව තිබුණේය. ඔවුන්ද දකුණු ඉන්දියාවෙන් සිංහල රජු විසින් ගෙන්වා ගන්නා ලද පේෂකාර්මිකයන්ගෙන් පැවත එන ජන කණ්ඩායමකි. මෙම ජන කණ්ඩායම කුරුඳු තලන්නන් බවට පත්කළේ ඇයිද යන්න නොපැහැදිලිය. ඔවුහු පෘතුගීසි කාලයේ පෘතුගීසීන් සමග සේ ම ලන්දේසි කාලයේදී ලන්දේසීන් සමග ඉතාමත් සමීපව ගනුදෙනු කළ ජන කණ්ඩායමක් වුවද ඔවුන් පෘතුගීසි කාලයේදී කතෝලිකාගමට හෝ ලන්දේසි කාලයේදී ලන්දේසි රෙපරමාදු ආගමට මාරු නොවූහ. සිංහල බුද්ධ ශාසනය තුළ ක්‍රියාත්මක වූ කුලභේදයට එරෙහිව බලවත් ලෙස නැගී සිටි ජන කණ්ඩායම වනුයේද ඔවුන්ය. උපසම්පදාව ගොවිගම කුලයෙන් මහණවන්නන්ට පමණක් සීමා කැරුණු තත්ත්වයක් තිබියදී ඊට අභියෝග කරමින් ගොවිගම නොවන භික්ෂූන්ටද උපසම්පදාව ලබාගත හැකි අලුත් නිකායක් (අමරපුර) ඇතිකර ගන්නා ලද්දේද ඔවුන් විසිනි. ක්‍රිස්තියානි පූජකයන් සමග ආගමික විශ්වාසයක් පිළිබඳව ප්‍රසිද්ධියේ වාද කරන තැනකට යමින් එම ප්‍රසිද්ධ වාදවලින් ක්‍රිස්තියානි පූජකයන් පරාජය කරමින් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට මගහෙළි කළ ඒ යුගයේ භික්ෂූන් වහන්සේලා අතර සිටි වර්ණවත්ම චරිතය ලෙස සැලකිය හැකි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අයත්වන්නේද එම කුල ප්‍රජාවටය.

පෘතුගීසීන් ආගමේදී හා වෙළෙඳාමේදී දරදඬු ගති පැවතුම් ඇති ජාතියක් වුවත් ඔවුහු ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් මෙන් ස්වදේශිකයන් පහත් කොට නොසැලකූහ. පෘතුගීසි නිලධාරීන්ට හා හේවායන්ට ස්වදේශීය ස්ත්‍රීන් විවාහ කොට ගැනීමට අනුබල දුන්නෝය. ඒ මගින් ඇතිවූ කුඩා ජනවර්ගයක් වන පෘතුගීසී, බර්ගර්වරුන් සිංහල දෙමළ යන ස්වදේශිකයන් පමණක් නොව, ලන්දේසීන් හා බ්‍රිතාන්‍යයන් ද පහත් කොට සලකනු ලැබූ ජනවර්ගයක් විය. ඔවුන්ට විවර වී තිබූ රැකියාද (සපත්තු සෑදීම, රෙදි විවීම හා කම්මල් වැඩ යනාදී) සිංහල, දෙමළ කුල මිම්මෙන් පහත් තත්ත්වයක් හිමි කරගත් කුලවලට වෙන්වූ රැකියා වූයේය.

ලන්දේසීන්

පෘතුගීසීන් පලවා හරිනු පිණිස උඩරට රජවරු ලන්දේසීන්ගෙන් පිහිට පැතූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලන්දේසීන් විසින් පෘතුගීසීන් පලවා හැර පෘතුගීසීන් පාලනය කළ බලප්‍රදේශය ඔවුන් සියතට ගත්තේය. එහෙත් ඔවුන් පාලනය කළ භූමි ප්‍රමාණය පෘතුගීසීන් පාලනය කළ භූමි ප්‍රමාණයට වඩා කුඩා විය. නිරිතදේශ ප්‍රදේශයෙන් ලන්දේසි පාලනයට අයත් වූයේ මහඔයේ සිට වලවේ ගඟ දක්වා සැතපුම් 20කට වඩා ගොඩ අතට නොවිහිදුණු මුහුදට ආසන්න බිම් තීරුවකි. උතුරින් ඔවුන් පාලනය කළේ යාපනය අර්ධද්වීපයත්, මන්නාරම් ප්‍රදේශයත් පමණය. ඔවුන් අනුමත නොකළ ආගමික වත්පිළිවෙත් නගරවල තහනම් කිරිම හැර ඔවුන් ස්වදේශිකයන්ගේ සිරිත්විරිත්වලට හා ජීවන ක්‍රමයට ඇඟිලි ගැසුවේ නැත. කතෝලිකාගම හා මුස්ලිම් ආගම මර්දනය කිරීමේදී පමණක් ඔවුහු දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. ඔවුහු රටේ පැවති වැඩවසම් ක්‍රමය පවත්වාගෙන ගියෝය. ඔවුහු පෘතුගීසීන් මෙන් නොකඩවා යුද්ධ කළ ජාතියක්ද නොවූහ. යුද්ධයට ගියේ ඔවුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වූ අවස්ථාවලදී පමණය. ඒ නිසා ලන්දේසි යුගය සාපේක්ෂ වශයෙන් සාමකාමී යුගයක් විය. සෑම ගෙයකම කෝපි, ගම්මිරිස්, කරඳමුංගු, පුවක්, පොල් වැනි වෙළෙඳ වගාවන් කිරීමට ඔවුහු ජනතාව පෙළැඹූහ. ඉබේ වැවෙන කුරුඳුවලට සීමා නොවී කුරුඳු වගා කිරීම ආරම්භ කළෝද ඔවුහුය. ඔවුහු වී ගොවිතැනද දියුණු කළෝය. වාරිමාර්ග අලුත්වැඩියා කළෝය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇළ මාර්ග ගණනාවක් ඇති කළෝය. ඔවුන් ගෘහනිර්මාණ ශිල්පයට දක්වන ලද උනන්දුව නිසා ගෘහ නිර්මාණ ශිල්පය දියුණු විය. යුරෝපයේ තනවන ලද ආකාරයට විශාල බලකොටු ගණනාවක් ගොඩ නැංවූහ. ඉස්තෝප්පුව, සොල්දරේ, තරප්පුව යන වචන සිංහල භාෂාවට එකතු වූයේ ඔවුන්ගෙනි. මොරටුවේ වඩු කර්මාන්තයත්, කැලණියේ උළු කර්මාන්තයත් ඇති කරන ලද්දේ ඔවුන් විසිනි. ලන්දේසි රෙපරමාදු ආගම ප්‍රචලිත කිරීමට උත්සාහ කළද ඔවුන්ට එම ආගමට හරවාගත හැකිවූයේ ඉතාමත් සුළු පිරිසක් පමණය. වර්තමානයේ පවා භාවිත කැරෙන රෝම ලන්දේසි නීතිය ද ලන්දේසි උරුමයකි.

මැලේ ප්‍රජාව

ලන්දේසි පාලනයේ මුල් යුගයේ ඇතිවූ යුද්ධ නිසා කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වූ ජනයා එම ප්‍රදේශ අතහැර ගිය අතර කොළඹ නගරයේ ගොඩනැගිලි තනා දියුණු කරන්නට හා එහි වගා කටයුතු සඳහා ඔවුන් ටැන්ජෝරයෙන් වහලුන් ගෙන්වා ඔවුන් කොළඹ දූපත් ස්වරූපයේ බිම් ප්‍රදේශයක පදිංචි කළේය. ස්ලේව් අයිලන්ඩ් යන නම එම ප්‍රදේශයට ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් ගෙන්වන ලද මෙම වහලුන් පසුව වහල්භාවයෙන් නිදහස් කරන ලද අතර කාලයාගේ ඇවෑමෙන් එම කණ්ඩායම ද ඔවුන්ගේ පැරණි අනන්‍යතාව හඳුනා ගැනීමට බැරි ලෙස සිංහල හා දෙමළ සමාජයන් තුළ ගිලී ගියේය.

ලන්දේසීහු ජා ඇතුළු ඉන්දුනීසියානු වර්ගයන්ට අයත් මිනිසුන් හේවායන් වශයෙන් ලංකාවට ගෙනාවෝය. ලංකාවේ මැලේ ජන කණ්ඩායම ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මැලේවරුන් කොළඹ කොම්පඤ්ඤ වීදියේද තවත් කුඩා කොටසක් හම්බන්තොටද පදිංචි කරන ලදි. මෙම කුඩා ජනවර්ගය අන්‍ය වර්ග සමග කොතරම් මිශ්‍ර විවාහ ඇති කරගෙන තිබුණද මුස්ලිම් ආගම සමග සිය වර්ගයාට ආවේණික විශේෂ ලක්ෂණ රැකගැනීමට සමත් වූ ජනවර්ගයක් ලෙසද සැලකිය හැකිය.

ලන්දේසීන් ස්වදේශිකයන් සමග විවාහ නොවීය. ඔවුහු විවාහ වූවෝ ලන්දේසීන් සමග නොවේ නම් විදේශිකයන් සමගය. ඉංග්‍රීසීන් ලංකාව අල්ලා ගැනීමෙන් පසු ලංකාව අතනොහැර ගිය ලන්දේසීන් සුළු පිරිසක්ද රටේ සිටියෝය. ලන්දේසි, බර්ගර් වශයෙන් හැඳින්වෙන ජනවර්ගය සමන්විත වන්නේ ඒ සියලුදෙනාගෙනි. ඉංග්‍රීසි යුගය තුළ ඔවුහු ලන්දේසි භාෂාව අතහැර ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනවර්ගයක් බවට පත්වූහ. ශ්‍රී ලංකාවට ලිබරල්වාදී හා රැඩිකල්වාදී චින්තනය හඳුන්වා දුන් පුරෝගාමීන් වූවෝද ඔවුහුය.

1796දී බ්‍රිතාන්‍යයෝ ලන්දේසීන් යටතේ තිබූ ලංකාවේ පහතරට ප්‍රදේශ අල්ලා ගත්තෝය. ඉන්පසු 1815දී කන්දඋඩ රාජ්‍යයද අල්ලා ගැනීම නිසා ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටත් විජිතයක් බවට පත්විය.

කන්ද උඩරට අල්ලා ගැනීම

1815දී බ්‍රිතාන්‍යයන් කන්දඋඩ රාජ්‍යය අල්ලා ගන්නා තෙක්ම, රට ඊට පෙර එම රාජ්‍යය අල්ලා ගැනීමට පෘතුගීසීන් ලන්දේසි හා ඉංග්‍රීසීන් දරන ලද හැම උත්සාහයක්ම ව්‍යර්ථ කිරීමට කන්දඋඩ රාජ්‍යය සමත් විය. 1803දී බ්‍රිතාන්‍යයන් කන්දඋඩ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා දියත් කරන ලද දැවැන්ත ආක්‍රමණයක් ව්‍යර්ථ කරමින් ආක්‍රමණිකයාට දැවැන්ත හානියක් ඇති කිරීමට කන්ද උඩරට රාජ්‍ය සමත්ව තිබුණි. එහෙත් 1815දී බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගන්නා ලද්දේ බලවත් යුද්ධ ව්‍යාපාරයකින් නොව සටකපට වැඩපිළිවෙළක් මගිනි. ඔවුන්ට උඩරට අල්ලා ගැනීමට එක වෙඩිල්ලක් හෝ පත්තු කිරීමට අවශ්‍ය වූයේ නැත.

කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍යය දියත් කළ සටකපට වැඩපිළිවෙළේ මොළකාරයා ලෙස ක්‍රියා කළේ ජෝන් ඩොයිලිය. කේම්බ්‍රිජ් උපාධිධාරියකු වූ තරුණ ඩොයිලි ලංකාවට පැමිණ ඇත්තේ 1801දීය. ඉක්මනින් සිංහල භාෂාව ඉගෙන ගනිමින් සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් ඇති පුද්ගලයකු බවට පත්ව තිබේ. ඔහු සිංහල උගතකු වූ කරගොඩ ධම්මාරාම හිමි හා සිංහල කිවිඳියක වූ ගජමන් නෝනා ද ඇසුරු කළේය. 1805දී ඩොයිලි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයාද කොළඹ දිසාපතිද විය. 1811දී රොබට් බ්‍රවුන්රිග් ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් පසු කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගැනීමේ අරමුණ ඇතිව ඒ සඳහා වාසිදායක වටාපිටාවක් ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වගකීම ඩොයිලි වෙත භාරදෙන ලදි.

ඩොයිලි උඩරට රදළ නායකයන් සමගත් එහි ප්‍රධාන සංඝ නායකයන් සමගත් සමීප සම්බන්ධකම් ඇති කර ගත්තේය. රජු හා රදළයන් අතරත්, රජු හා සංඝයා අතරත් ඇතිව තිබූ භේද උග්‍ර කිරීම සඳහා ක්‍රියා කළේය. රජු අධික ලෙස මත්පැන් පරිහරණය කරන්නකු බවට පත් කළේය. රජු බැහැ දැකීමට යන අමුත්තන් අත රජුට විවිධ වර්ගයේ මත්පැන් වර්ග යැවීය. මහනුවර රාජ්‍යයේ අවසාන රජු රදළයන්ට හිස නොනැමූ මහජන හිතකාමී පුද්ගලයකු වුවද ඔහුට ක්‍රියාකරන්නට සිදුවූ පීඩාකාරී වටාපිටාව තුළ රජු අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූ විකෘති ස්වරූපයකින් ක්‍රියාකරන හිතුවක්කාරී හා කෘෘර පාලකයකුගේ තත්ත්වයට පත්විය. ඩොයිලි අපේක්ෂා කළ ඉලක්කය වූයේද එයයි. උඩරට රාජ්‍ය අස්ථාවර කොට එහි බලය අල්ලා ගැනීම සඳහා ඩොයිලි ක්‍රියාවට නගන ලද සටකපට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඩොයිලිට ඉතාමත්ම සමීපව ක්‍රියාකළ ස්වදේශිකයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ මී මුණුපුරන් නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් බවට (එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන) පත්වූ අතර අනෙක් පුද්ගලයාගේ මී මුනුපුරන් දෙදෙනා (පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාචලම්) කැපී පෙනෙන දේශපාලන නායකයන් බවට පත්වූහ.