13 වන දා උදෑසන ජනාධිපතිවරයා හා පත්තර කතුවරුන් ඇතුළු මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් අතර සුහද එහෙත් උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවිය. එහිදී ජනාධිපතිවරයා හැඟීම්බරව පළකරන ලද අදහසක් භේදයෙන් තොරව අප කොයිකාගේත් අවධානයට යොමුවිය යුතුව තිබේයැ”යි විශ්වාස කරමි.
ජනාධිපතිවරයා එහිදී කීවේ තමා හෝ තමාගේ ආණ්ඩුව විවේචනය කිරීම වරදක් නැතත්, වාර්ගික කණ්ඩායම් අතර වෛරය ඇති කරන දේවල් ලිවීමෙන් හෝ තුවාලය පාරන දේවල් කිරීමෙන් වළකින ලෙස තමා ජනමාධ්‍යවේදීන්ගෙන් මහත් ඕනෑකමින් ගෞරවයෙන් ඉල්ලා සිටින බවය. මෙය සාකච්ඡාවට ලක්කළ යුතු කාලීන වැදගත්කමක් ඇති මාතෘකාවක් වේයැ”යි සිතමි.
මේ මොහොතේ තුවාල ලැබූවන්ගේ තත්ත්වයට පත්ව සිටින්නේ දෙමළ ජනයාය. ප්‍රභාකරන් හා එල්ටීටීඊය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා නියෝජනය කරන එකම නායකයා හා සංවිධානය බවට පත්ව තිබුණේ බලහත්කාරී ස්වරූපයකින් වුවත් අන් සියලු දෙමළ දේශපාලන ව්‍යාපාර යටපත් කොටගෙන ප්‍රභාකරන් හා එල්ටීටීඊය දෙමළ ජනයාගේ ප්‍රබලතම නායකයා හා දෙමළ ජනයා නියෝජනය කරන ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය බවට පත්ව තිබුණේය. එම ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කැරෙන තැනකට නොගොස් සියලු දෙනාගේ ගෞරවයට හේතුවන සාමකාමී විසඳුමක් ඇති කර ගැනීමට හැකි වී නම් යුද්ධයෙන් ඔවුන් පරාජය කිරීමෙන් ලබන ප්‍රතිඵලයකට වඩා සාමකාමී එකඟතාවකින් ලබාගන්නා ප්‍රතිඵලය යහපත් වන්නට ඉඩ තිබුණි.
ප්‍රභාකරන් පරාජය කිරීම
එහෙත් ප්‍රභාකරන් හා එල්ටීටීඊය කටයුතු කළේ එවැනි ප්‍රතිඵලයක් ලබාගැනීමට කිසිදු ඉඩක් ලැබෙන ආකාරයට නොවේ. එහි දී ඔවුන් සිටියේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සිය මනෝරාජික අදහසේ දැඩිව එල්ලී ගෙන පමණක් නොව එම ප්‍රායෝගික නොවන අරමුණ වෙනුවෙන් තොග ගණනින් මිනිසුන් මරන හා රටේ දේපළ විශාල වශයෙන් විනාශ කරන තැනකය. සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගැනීමට දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වී තිබුණු අතර සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් බවට පත්කර තිබුණේය. යුදමය වශයෙන් මර්දනය කිරීම තෝරා ගැනීමට ඉතිරි වී තිබූ එකම ප්‍රායෝගික විකල්පය බවට පත්ව තිබුණේය.
එහෙත් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් වශයෙන් ඔවුහු සිටියෝ නොමේරූ ළදරු තත්ත්වයක නොව හොඳටම මෝරා වැඩුණු තත්ත්වයකය. ඔවුන් යුදමය වශයෙන් පරාජය කැරෙන ප්‍රයත්නයක් තුළ කිසියම් විශාල ප්‍රමාණයක ජීවිත විනාශයක් ඇතිවීම නොවැළැක්විය හැකි තත්ත්වයකය. එම තත්ත්වය පෙරළා දෙමළ ජනතාව කෙරෙහි කිසියම් විශාල ප්‍රමාණයක පීඩාවක් ඇති කිරීම ද නොවැළැක්විය හැකි දෙයක් බවට පත්ව තිබුණි. ඔවුන්ගෙන් එල්ලවී තිබූ අභියෝගය ජය ගැනීම රටේ පොදු යහපත පිණිස පමණක් නොව දෙමළ ජනතාවගේ යහපත පිණිස ද අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබුණේය.
ආණ්ඩුව එය ජයගත යුතුව තිබුණු දුෂ්කර අභියෝගයක් ලෙස සලකා එය ජයගත්තේය.
යුදමය වශයෙන් ඔවුන්ගෙන් එල්ල වී තිබුණු අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියාත්මක වූ ප්‍රති යුද්ධ ව්‍යාපාරය තුළ මිනිසුන් මැරුණේය. මානව අයිතිවාසිකම්ද උල්ලංඝනය වූයේය. ඒ සියල්ල ඕනෑම එවැනි යුද ව්‍යාපාරයක් තුළ නොවැළැක්විය හැකි ලෙස සිදුවන දේවල්ය.
මෙය නූතන ශ්‍රී ලංකාවේ කැරැල්ලක් පරාජය කැරුණු පළමු අවස්ථාව නොව තුන්වැනි අවස්ථාවය. ජවිපෙ පළමු කැරැල්ල පරාජය කැරුණු ප්‍රයත්නය තුළ සේම ඔවුන්ගේ දෙවැනි කැරැල්ල පරාජය කැරුණු ප්‍රයත්නය තුළ ද මිනිස්සුන් මැරුණෝය. මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවිය. එහෙත් එම ප්‍රයත්න දෙකෙහිදීම කැරලි පරාජය කිරීමෙන් පසු ඉන් ඔබ්බට ගොස් මහා පරිමාණයෙන් කැරෙන පලිගැනීමක් සිදු නොවීය. තුන්වැනි දෙමළ තරුණ කැරැල්ල පරාජය කැරුණු ප්‍රයත්නයේදී ද කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ ජනතාවගෙන් පළිගැනීමක් සිදු නොවීය.
ජවිපෙ දෙවැනි කැරැල්ලේ දී යුදමය අර්ථයෙන් ජවිපෙ හිමිකරගෙන සිටි තත්ත්වය තුන්වැනි කැරැල්ලේ දී එල්ටීටීඊය හිමිකරගෙන සිටි තත්ත්වය තරම් බලවත් හෝ ශක්තිමත් නොවීය. ටී-56 තුවක්කු ඉක්මවා ගිය නවීන ආයුධ ඔවුන්ට නොතිබුණේය. එහෙත් එල්ටීටීඊය ඉතාමත් නවීන අවි ආයුධවලින් සන්නද්ධව සිටි ව්‍යාපාරයක් විය. ඔවුන්ට කාලතුවක්කුද තිබුණේය. නැව් හා ප්‍රහාරක මුහුදු යාත්‍රා තිබුණේය. සැහැල්ලු ගුවන් යානා තිබුණේය. කාටවත් නැති මරාගෙන මැරෙන හමුදාවක් ද සිටියේය. එසේ තිබියදීත් සාපේක්ෂ වශයෙන් බලන විට ජවිපෙ දෙවැනි කැරැල්ල මර්දනයේදී සිදුවූ ජීවිත හානිය එල්ටීටීඊ තුන්වැනි කැරැල්ල මර්දනයේදී සිදුවූ හානියට වඩා විශාල විය.
යුද අපරාධ චෝදනා
එල්ටීටීඊයට එරෙහිව කැරෙන අවසාන යුද්ධය පැවැති කාලයේදී විවිධ විචාරකයන් ඊට දෙන විවිධ අර්ථකථන තිබුණි. සමහරු එය හැඳින්වූයේ වර්ගනාශක යුද්ධයක් ලෙසය. මා ඒ කාලයේදී දෙමළ සන්ධානයේ නායකයන් තිදෙනකු සමග (සම්බන්ධන්, සේනාධිරාජා හා ප්‍රේමචන්ද්‍රන්) එම යුද්ධය වර්ගනාශක යුද්ධයක් වේද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් විමසුවෙමි. දෙමළ සන්ධානයේ නායකයා ඊට දෙන ලද පිළිතුර වූයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැතත් එය වර්ග නාශක යුද්ධයක් ලෙස සැලකිය නොහැකි බවය. යුද්ධය ජයග්‍රහණයෙන් පසු එම ආරක්ෂක හමුදා දෙමළ ජනතාවගෙන් පළිගන්නා තැනකට ගියේ නැත. යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය වීමෙන් පසුත් කඳවුරුවල සිටි දෙමළ ජනයාගේ අනාගතය පිළිබඳවද විවිධ අර්ථකථන ඉදිරිපත් විය. එම කඳවුරු හිට්ලර්ගේ වදක කඳවුරුවලට සමාන කැරුණු අවස්ථාද තිබුණි. කඳවුරුවල සිටින ජනයා දීර්ඝකාලීනව එම කඳවුරුවල තබා ගැනීමේ සැලැස්මක් ඇති බව කියැවුණි. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවල හමුදා ජනපද ඇති කරන වැඩ පිළිවෙළක් ඇති බව කියැවුණි. එවැනි අදහස්වලින් යුතු ලිපි කියවන දෙමළ ජනතාව තුළ වෛර සහගත හැඟීමක් ඇතිවනු නොවැළැක්විය හැකිය. විශේෂයෙන් එවැනි ලිපි සිංහල විචාරකයන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන විට ඒවා කියවන දෙමළ ජනතාව තුළ කෝපයක් හෝ වෛරයක් ඇති වීම නොවැළැක්විය හැකිය. බැලූ බැල්මට මෙවැනි විචාරකයන් පෙනෙන්නේ සුළු ජාතියකගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව කථාකරන විප්ලවකාරී විචාරක පිරිසක් ලෙසය. එහෙත් දැන හෝ නොදැන ඔවුන් අතින් සිදුවූයේ තුවාලය පැරීමය. දෙමළ හදවත් තුළ වෛරය ඇති කිරීමය. මෙම වර්ග දෙක අතර තිබෙන පරතරය වර්ධනය කිරීමය.
ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් පසුව ද ජීවිත අහිමිවූවන් ගැන හඬා වැළපෙන, ඔවුන් ගැන හඬනගන සමාජ තීරුවක් රටේ සිටියේය. මියගියවුන් අතර කිසියම් පිරිසක් අහිංසකයන්ද සිටියා විය හැකි වුවත් මරණයට පත්වූවන්ගෙන් අතිවිශාල බහුතරයක් කැරැල්ලට දායකවූවෝ වූහ. ඔවුන්ට කැරැල්ලට තිබූ සම්බන්ධයේ සොබාවය කුමක් වුවත් ඔවුන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඔවුන් සලකන ලද්දේ අහිංසකයන් ලෙසය. එල්ටීටීඊ කැරැල්ලෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයද බොහෝ දුරට ඊට සමානය. ප්‍රචණ්ඩ කැරැල්ලක් පරාජය කිරීමෙන් පසු එවැනි වටාපිටාවක් ඇතිවීම නොවැළැක්විය හැකිය. කාලයක් යන තෙක් එම සමාජ තීරුව තුළ දුකක් හා තරහක් පැවතීමද ස්වාභාවිකය.
ප්‍රචණ්ඩ කැරැල්ලක් හා එය මර්දනය කිරීම සඳහා වන ප්‍රයත්නයන් ඇතිවිට සටන් කරන දෙපාර්ශ්වය තුළ එකිනෙකා කෙරෙහි කෝපයක් හා බියක් ඇතිවීමද ස්වාභාවිකය. එවැනි මානසික වටාපිටාවක් තුළ යුද්ධයක් පවතින විට සමාන්තරව ක්‍රියාකරන අවස්ථාද ඇති විය හැකිය. මොනම යුද්ධයක්වත් පොතේ හැටියට සිදුවන්නේ නැත. යුද්ධයක් යනු ආයුධ අතට ගත් දෙපිරිසක් අතර කැරෙන වියරු මිනීමරාගැනීමක් ලෙස සැලකිය හැකිය. ආරක්ෂක හමුදා ජවිපෙ දෙමළ කැරැල්ලේ ද ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද කැරැල්ල පරාජය කිරීමෙන් පසුව ඔවුන් පළිගැනීමේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙන ගියේ නැත. කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔවුන්ට එරෙහිව කැරෙන යුද්ධය ද එතැනින්ම අවසන් විය. එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු සිදුවූයේ ද එයමය. යුද්ධයෙන් පසු පළිගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක නොවීය. පුළුල් වශයෙන් යුද අපරාධ ලෙස සැලකෙනුයේ යුද්ධයකදී හෝ යුද්ධය අවසන් කිරීමෙන් පසු පළිගැනීමේ අරමුණින් කැරෙන මනුෂ්‍ය ඝාතනයන්ය.
එල්ටීටීඊයට එරෙහිව කැරෙන යුද්ධයේ අවසාන අදියරයේදී ආරක්ෂක හමුදාවන්ට සටන් කරන්නට සිදුවී තිබුණේ මරාගෙන මැරෙන හමුදාවන්ද සහිත ලෝකයේ තිබුණු අංක එකේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග පමණක් නොව ඔවුන්ගේ පාලන ප්‍රදේශවල ජීවත් වූ තුන්ලක්ෂයකට ආසන්න ජනතාවක් ඔවුන් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි සංකීර්ණ තත්ත්වයක් ඉදිරියේය.
එතරම් විශාල පිරිසක් ප්‍රාණ ඇපයට තබාගත් අවස්ථාවක් මීට පෙර ලෝකයේ කොහේවත් සිදු වී නැත. ඔවුන් අවසාන වශයෙන් පරාජය කිරීම සඳහා ඔවුන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි එම විශාල ජනතාවද නිදහස් කරගත යුතු විය. එය ද මීට පෙර ලෝකයේ මොනම හමුදාවකටවත් මුහුණ දෙන්නට සිදුවී නැති ඉතාමත් සංකීර්ණ අභියෝගයක් විය. එක් අතකින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා වන උත්සාහයක් ක්‍රියාත්මක වන විට ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ඔවුන් බලහත්කාරී ලෙස තවදුරටත් ප්‍රාණ ඇපකාර තත්ත්වයක තබාගැනීම සඳහා වන බලවත් උත්සාහයක් ද ක්‍රියාත්මක විය. එම ප්‍රතිවිරුද්ධ උත්සාහයන් දෙක ප්‍රාණ ඇපකරුවන් කෙරෙහි පීඩාකාරී ලෙස බලපෑවේය. එල්ටීටීඊ ග්‍රහණයෙන් අත්මිදී ආණ්ඩුවේ ආරක්ෂක හමුදා වෙත පලා එන්නන් බියගැන්වීම සඳහා පලා එන්නන් අතර සැඟව සිට පලා එන්නන්ට හානි ඇතිවන ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයන් කිහිපයක් ද සිදුවිය. එහෙත් ඒ තියුණු සංකීර්ණ තත්ත්වය ජයගනිමින්, ප්‍රාණ ඇපකරුවන්ට සිදුවන හානිය අවම වන ලෙස ඔවුන් සියලු දෙනා මුදාගැනීමට ආරක්ෂක හමුදා සමත් විය.
සමහර බටහිර රටවල් හා සංවිධාන ආණ්ඩුව සමග තිබෙන අමනාපකම් නිසා හෝ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම පිණිස ආණ්ඩුවට හා ආරක්ෂක හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනාවල් එල්ල කරන තත්ත්වයක් තිබුණ ද එවැනි චෝදනා එල්ලකළ හැකි ශක්තිමත් පදනමක් ඇති බවක් පෙනෙන්නට නැත. මීට පෙර යුද්ධ අපරාධ චෝදනා එල්ල වී තිබෙන රටවල සිදුවී තිබෙන්නේ එක්කෝ බලයේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමෙන් පසු බලයට පත්වන හමුදා බල අධිකාරිය පැරණි නීත්‍යනුකුල ආණ්ඩුවේ ආධාරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීමය. නැත්නම් එක් ගෝත්‍රයක් ලබන ආණ්ඩු ජයග්‍රහණයකින් පසුව ප්‍රතිවිරුද්ධ ගෝත්‍රිකයන් දහස් ගණනින් ඝාතනය කිරීමය. එසේ නැත්නම් ඒ දේ වාර්ගික හෝ ආගමික අර්ථයෙන් සිදුකිරීමය. එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ සිදුවී නැත.
රායප්පු ජෝසෂ් බිෂොප්තුමා උගත් පාඩම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් යුද්ධයේ අවසන් අදියරයේදී ආරක්ෂක හමුදා විසින් පුද්ගලයන් එක්ලක්ෂ හතළිස් දහසක් අතුරුදන් කර ඇති බව කියා සිටියේය. එය කිසිම පදනමක් ඇති චෝදනාවක් ලෙස සැලකිය නොහැකිය. එය යුද්ධ අපරාධ චෝදනාවට අලුත් වටිනාකමක් ලබා දීමේ සාහසික උත්සාහයක් ලෙස සැලකිය හැකිය. එතුමා හැමදාමත් පෙනී සිටියේ විශේෂයෙන්ම ප්‍රභාකරන් හා එල්ටීටීඊය කෙරෙහි අවිවේචනාත්මක පක්ෂපාතිත්වයකින් ක්‍රියාකරන ආගමික නායකයකු ලෙසය. එතුමා ප්‍රභාකරන් සමග සේම එල්ටීටීඊය සමග ද සමීප සම්බන්ධයක් තිබුණු බවද ප්‍රකට කරුණකි. ප්‍රභාකරන් හෝ එල්ටීටීඊය අතින් සිදුවී ඇති සාහසිකකම් කවදාවත් එතුමා අතින් විවේචනයට ලක් වී නැත. එතුමා තමන් ඇදහූ ආගමට මුල් තැනක් දී ක්‍රියාකළ ආගමික නායකයකුට වඩා එල්ටීටීඊයේ බෙදුම්වාදී අදහස් ආගම කරගත් නායකයකු ලෙසද සැලකිය හැකිය.
ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවන යුද අපරාධ පිළිබඳ චෝදනාවලදී ආණ්්ඩුව ඊට මුහුණ දෙමින් තිබෙන ආකාරය නිවැරදි නැත. එවැනි අවස්ථාවකදී අවශ්‍ය වන්නේ කෝපයෙන් විරෝධය පෑම නොව සන්සුන්ව හා තර්කානුකූලව කරුණු පෙන්වා දීමය.
බේද කිරීමේ ප්‍රතිපත්තියෙන් අත් මිදීම
මෙම විවාදයේදී විරුද්ධ පක්ෂය විසින් කරමින් තිබෙන ලොකු හා භයානක වරදක් වනුයේ ජාත්‍යන්තර අධිකරණයක විභාගයට ගත යුතු තරම් බරපතළ වැරදි සිදු නොවී තිබියදී එසේ චෝදනා කරන්නට ඍජු ලෙස හා අනියම් ලෙස ආධාර හා අනුබල දෙන තත්ත්වයකින් ක්‍රියාකිරීමය. විරුද්ධ පක්ෂයක් වශයෙන් මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට ඔවුන්ගේ පාලනයක් ඇති කර ගැනීම සඳහා වන ඔවුන්ගේ දේශපාලන අපේක්ෂා ඔවුන් අත්හළ යුතු නැත. එහෙත් ඔවුන් සිය අරමුණ ජයගැනීම සඳහා රටේ පැවැත්ම පරදුවට තබන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතු නොවනවා සේම ඔවුන්ගේ ගෞරවයටද හේතු වන්නේ නැත.
මහින්ද රාජපක්ෂ පාලනය අතින් එල්ටීටීඊය පරාජය වීම ගැන මුළු රටේ ජනතාව පමණක් නොව විරුද්ධ පක්ෂයද සතුටු විය යුතුය. එල්ටීටීඊයේ ආයුධ සන්නද්ධ පැවැත්ම රටේ පැවැත්ම අභියෝගයට ලක් කොට තිබුණි. එම තත්ත්වය රටක් වශයෙන් අප ජයගත යුතුව තිබුණේය. එම අභියෝගය අවසානයේ ජයගත්තේ දෙමළ ජනයාට සිදුවන හානියද අවම තත්ත්වයක තබාගෙනය.
ජනවාර්ගික ප්‍රශ්නයට තාමත් දේශපාලන විසඳුමක් ලබාදී නැතත් යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහාත්, රජය සමග කරන ගනුදෙනුවලදී ඔවුන්ට සාමාන්‍යයෙන් මුහුණ දෙන්නට සිදු වූ ගැටලු විසඳා දීම සඳහාත්, කැපී පෙනෙන වැඩ කොටසක් මෙම ආණ්ඩුව විසින් සිදු කර තිබෙන බව පිළිගත යුතුය. යුද්ධයෙන් පසු ඔවුන්ගෙන් පළිගන්නා පිළිවෙතක් ක්‍රියාත්මක වූයේ නැත. කඳවුරුවල සිටි ජනයා නැවත ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරමින් තිබේ. අත්අඩංගුවේ සිටි අයද පුනරුත්ථාපනය කොට ඉන් විශාල පිරිසක් නිදහස් කොට තිබේ. අධි ආරක්ෂක කලාප සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් ද ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරන ප්‍රතිපත්තියක් හෙමින් හෝ ක්‍රියාත්මක වෙමින් පවතී. උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත නඟා සිටුවීම සඳහා ද විශාල වියදමක් දරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. රාජ්‍ය සේවය තුළ සිංහල රාජ්‍ය සේවකයන්ගේ දෙමළ දැනුමද වර්ධනය කිරීම සඳහා ක්‍රියා කැරෙමින් පවතී. ඒ සියල්ල යහපත් හා ඉදිරිගාමී දේවල් ලෙස සැලකිය හැකි අතර ඒ ක්‍රියාමාර්ග තුළ වැරදි අඩුපාඩුකම්ද තිබිය හැකිය. එහෙත් මේ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව දෙමළ ජනතාව අතර වාර්ගික අර්ථයෙන් වෛරයක් ඇති කරන ප්‍රතිපත්තියක් සේම සිංහල ජනතාව අතර ද වර්ගවාදී හැඟීම් අවුස්සන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. එහිදී ආණ්ඩුවද දෙමළ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් තුළ හිත්වේදනා හෝ සැක ඇතිකරන දේවල් කිරීමෙන් මුළුමනින් වැළකී සිටිය යුතුය. ජාතික ගීය සිංහලෙන් ගැයීම වැනි අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.
කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන මහා ආරාවුලක් බවට පත් වූ සිංහල දෙමළ ආරාවුල අවස්ථාවාදී සිංහල දෙමළ ජාතික නායකයන්ගේම නිර්මාණයකි. තම වර්ගයා අතර ඔවුන්ට තිබෙන පිළිගැනීම ශක්තිමත් කරගැනීම සඳහා අනුගමනය කළ එම අවස්ථාවාදී ප්‍රතිපත්තිය වෙනුවෙන් භේදයකින් තොරව රටේ සියලු ජනතාවට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. දේශපාලකයන් නැවත ඒ වරද නොකළ යුතු අතර ජනමාධ්‍යවේදීන්ද ඒ භේදය වර්ධනය කිරීමෙන් වැළකිය යුතුය.