විදුලි මිල ඉහළ දැමීමේ ප්රශ්නය සාමාන්‍ය ජනතාව කෙරෙහි පමණක් නොව, කර්මාන්තකරුවන් හා ව්‍යාපාරිකයන් කෙරෙහිද විනාශකාරී ලෙස බලපායි. ඒකක 90කට සීමාවී තිබූ මිල සහනය ඒකක 120 දක්වා පුළුල් කිරීමෙන් සාමාන්‍ය ජනයාට විශාල සහනයක් ලැබෙනු ඇතත් කර්මාන්තකරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නයට එය විසඳුමක් වන්නේ නැත. පිඟන් භාණ්ඩ වැනි විශේෂ කර්මාන්ත නිෂ්පාදනවලදී විදුලිය සඳහා යන වියදම නිෂ්පාදන වියදමෙන් 50%ක පමණ මට්ටමක පවතින අතර විදුලි මිල ඉහළ දැමීමේ තත්ත්වය සමහර කර්මාන්තවල තරගකාරී හැකියාව සීමා කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. මෙම මිල ඉහළ දැමීමට පෙරත් විදුලි මිලේදී ශ්‍රී ලංකාව සිටියේ කලාපයේ විදුලිය සඳහා වැඩිම මිලක් ඇති රටක තත්ත්වයකය.
බලශක්ති අර්බුදය කළමනාකරණය සඳහා වර්තමාන ආණ්ඩුව යොදාගෙන තිබෙන ප්‍රවේශය තුළ අගේ කළයුතු යහපත් අංග තිබෙනවා සේ ම, විවේචනයට ලක්විය යුතු දුර්වල අංගද පවතී. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය හා ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය පිළිබඳව පැරණි රාජ්‍ය නායකයන් අනුගමනය කළ තීන්දු ගැනීමෙන් තොරව සිටින පිළිවෙත තවදුරටත් පවත්වාගෙන ගියේ නම් බලශක්ති ප්රශ්නයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයේ පරිමාව මීට වඩා විශාල හා භයංකර වන්නට ඉඩ තිබුණි. ඒ සඳහා රාජ්‍ය නායකයා නොබියව තීන්දු ගැනීමේ පිළිවෙත ප්‍රශංසාවට ලක්විය යුතුය. මෙම විෂයට පත් කර තිබෙන අමාත්‍යවරයාද මෙම විෂයේදී වැදගත් හා යහපත් කාර්යභාරයක් ඉටු කරමින් තිබෙන බවද කිව යුතුය. ඒ සමග විවේචනයට ලක්විය යුතු කාරණා ද පවතී.
විදුලිබල මණ්ඩලයේ 2010 අලාභය රුපියල් බිලියන 40කි. දූෂණය හා නාස්තියද පෞද්ගලික අංශයේ තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා ඇති කරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම්ද මේ අලාභය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක ලෙස සැලකිය හැකිය. අන්ත දූෂිත තත්ත්වයක තිබෙන රාජ්‍ය ආයතන අතර විදුලිබල මණ්ඩලය සිටින්නේ කැපී පෙනෙන තත්ත්වයකය. පෞද්ගලික අංශයෙන් තාප බලයෙන් නිපදවන විදුලි මිලද ගැනීම සඳහා ඔවුන් සමග විදුලිබල මණ්ඩලය ඇති කරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිටුපස සිටින මොළකාරයන් ලෙස සැලකිය හැක්කේද විදුලිබල මණ්ඩලයේ දූෂිත නිලධාරීන්ය.
විදුලිබල මණ්ඩලයට විදුලි බලය සපයන පුද්ගලික ආයතන පවත්වාගෙන යන ව්‍යාපෘතිය ඇති කිරීම සඳහා ගිය වියදමෙන් 70%ක්ම දරා ඇත්තේ විදුලිබල මණ්ඩලයයි. එහෙත් පුදුමයට මෙන් ඒවාහි සියලු වත්කම් හිමිකාරත්වය ලැබී ඇත්තේ එම පෞද්ගලික ආයතනවලටය. විදුලිබල මණ්ඩලයට ඒවාහි කිසිදු අයිතියක් නැත. මෙම ආයතන ලබාගත් මූල්‍ය පහසුකම් සඳහා පොලී පිරිවැය ගෙවන්නේද විදුලිබල මණ්ඩලයයි. එහෙත් පුදුමයකට මෙන් ඔවුන් ලබාගෙන ඇති පහසුකම් සඳහා ගෙවනු ලබන්නේද සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතිකයට වැඩි ඉහළ පොලී අනුපාතිකයකි. මෙම ව්‍යාපෘති සඳහා රක්ෂණ වාරික ගෙවනු ලබන්නේද විදුලිබල මණ්ඩලය විසිනි. ඒ සඳහා ගෙවන මිල ගණන්ද වෙළෙඳපොළ රක්ෂණ වාරික මිල ගණන්වලට වඩා බෙහෙවින් ඉහළය. මෙම ආයතනවලට ආරක්ෂක ඉන්ධන තොග සපයන්නේද විදුලිබල මණ්ඩලයයි. එයින් ප්රතිලාභ මෙම සමාගම් ලබාගන්නාමුත් ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ආපසු ගෙවීමක් කරන්නේ නැත. මෙම සමාගම් සඳහා ගෙවන ඉන්ධන ප්‍රවාහන පිරිවැයද ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලික අංශයට ගෙවනු ලබන ඉන්ධන ප්‍රවාහන අනුපාතයට වඩා තුන් ගුණයක් වැඩිය. මෙම සමාගම් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට ඇතුළත් අවාසිදායක කොන්දේසිවලින් පමණක් විදුලිබල මණ්ඩලයට සිදුවන වාර්ෂික අලාභය බිලියන 6ක් බව 2007 වසරේදී මහ බැංකුව තක්සේරු කොට තිබුණි. අද ඒ ගණන බිලියන 10ක් පමණ විය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා 2016 සිට මෙම තාප බලාගාර සමාගම්වලින් කැරෙන මිලදී ගැනීම් අත්හිටුවීමට තීරණය කර තිබේ. එය යහපත් දෙයක් වුවත් ඇති කරගෙන තිබෙන මෙම ගිවිසුම් තුළ වංචාකාරී තත්ත්වයක් පවතී නම් උසාවි තීරණයක් ගෙන ඒ තත්ත්වය වහා නැති නොකරන්නේ ඇයිද යන ප්රශ්නය පැන නගින්නේය. විදුලිබල මණ්ඩලයේ දූෂිත නිලධාරීන් සමග එකතු වී සමාගම් නවයක් කරන දැවැන්ත වංචාවක් වෙනුවෙන් මහජනයා හා කර්මාන්තකරුවන් වන්දි ගෙවිය යුත්තේ ඇයි? විදුලිබල මණ්ඩලය වාර්ෂිකව උපයන රුපියල් බිලියන 120ක ආදායමෙන් රුපියල් බිලියන 90ක්ම වැය කරන්නේ මෙම සමාගම් නවයෙන් ලබාගන්නා විදුලිය සඳහා කරන ගෙවීම්වලටය. වරදක් හෝ වංචාවක් සිදුවී ඇත්නම් එම වරදට හෝ වංචාවට වගකිවයුත්තන් මිස මහජනයා දඬුවම් ලැබිය යුතු නැත.