සහල් අර්බුදය

April 27, 2008
Publication:
Rice disappeared from the market as soon as a controlled price was set. Ivan explains why — no paddy left in the marketing board, buying entirely through private traders, and no reason for a miller to sell below what he paid — adds the floods and the export restrictions in the rice-growing countries, and argues the moment is an opening for agriculture rather than only a shortage.

සහල් සඳහා මිල පාලනයක් ඇති කිරීමෙන් පසු වෙළඳපොළේ විකිණීමට තිබූ සහල් අතුරුදහන් වී සහල් හිඟයක් නිර්මාණය වී තිබේ. වෙනදා වී අලෙවි මණ්ඩලයට වී තිබුණි. එහෙත් දැන් වී අලෙවි මණ්ඩලයට වී නැත. වී මිලදී ගැනීම මුළුමණින් සිදුවන්නේ පෞද්ගලික වෙළෙඳුන් මාර්ගයෙනි. අලාභයක් සිදුවුවත් තමන් ළඟ තිබෙන තොග විකුණන බව හාල් වෙළෙන්දන් ද මෝල් හිමියන් ද පාලන මිලක් ඇති කිරීමෙන් පසු ප්‍රකාශ කළා වුව ද, ඒ ලස්සන ප්‍රකාශ මැද සහල් සැඟවීමක් ද සිදුවිය. තමන් වැඩි මිලකට මිලදී ගෙන අඩු මිලකට විකුණන්නේ ඇයි දැයි වෙළෙඳුන් කල්පනා කළා විය යුතු ය. වැඩි ලාභ ලබාගත හැකි තත්ත්වයක් නො සලකා ක්‍රියාකරන්නේ ඇයිදැයි මෝල් හිමියන් කල්පනා කළා විය යුතු ය. මතුවී තිබෙන අවිනිශ්චිත තත්ත්වය තුළ වී ළඟ තිබෙන ගොවීන් වී අලෙවි කිරීම සීමා කරන තැනකට පැමිණ තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

මේ සියලු තත්ත්වයන් වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති කිරීමට හේතු වී තිබේ. අප සහල්වලින් බොහෝ දුරට ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟා කර සිටියෙමු. මෙවර සහල් හිඟයක් ඇතිවීම කෙරෙහි ගංවතුර වැනි දේශගුණික හේතු බලපෑවේ ය. සහල් නිපදවන හැම රටක් ම පාහේ සහල් ආනයනය සීමා කර තිබෙන නිසා අවශ්‍ය අතිරේක සහල් බැහැරින් ලබාගැනීම ද දුෂ්කර දෙයක් බවට පත්ව තිබේ. අපේක්ෂා කරන ආකාරයට බුරුමයෙන් හා ඉන්දියාවෙන් සහල් ලබාගැනීමට හැකි වුවහොත් යම් සහනයක් ලැබෙනු ඇතත්, තත්ත්වය සාමාන්‍ය අතට පත්වීමට කලක් ගතවනු නො වැළැක්විය හැකි ය. මුළු ලෝකය පුරා මතුවෙමින් තිබෙන කෘෂිකාර්මික අර්බුදය සැලකිල්ලට ගනිමින් විපත සැපතක් බවට හරවා ගන්නා තැනකට රට යොමුවිය යුතු ය. කරිජ්ජ නිසා හෝ වගුරු තත්ත්වයක් නිසා හෝ වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් අක්කර දහස් ගණනක් රටේ ඇත්තේ ය. එවැනි ඉඩම් විකල්ප වගාවක් සඳහා යොදාගත හැකි ය.

මීට අතිරේකව වගා කිරීමට හැකියාවක් ඇති වගා නො කළ ඉඩම් ද විශාල ප්‍රමාණයක් රටේ තිබේ. ඒවා වගා කරන තැනකට යා යුතු ය. ගෙවතු වගාව ද ධෛර්යමත් කළ යුතු ය. දැන් එළඹ තිබෙන්නේ කෘෂිකාර්මිකයන්ට ධනවත්වීමට අවස්ථාව ලැබෙන යුගයකි. මීට පෙර ආර්ථිකයේ වෙනත් අංශවලට සාපේක්ෂව අඩුම ප්‍රතිලාභ ලැබෙන අංශය වූයේ කෘෂිකාර්මික අංශය යි. එහෙත් දැන් එළඹ ඇත්තේ කෘෂිකර්මයට වැඩිම ප්‍රතිලාභ ලබන යුගයකට ය. ලෝකයේ ඇතිවෙමින් තිබෙන මෙම නව වෙනස්කමෙන් ශ්‍රී ලංකාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතු ය. ඒ සඳහා රටට දර්ශනයක් සේ ම යථාර්ථවාදී මාර්ග සැලැස්මක් ද තිබිය යුතු ය. වගා කරන ඉඩම් වඩා ඵලදායී ලෙස වගා කරන තැනකට යන අතර, වගා නොකළ ඉඩම් වගා කරන තැනකට යා යුතු ය. මේ සඳහා ජනතාවට නිසි නායකත්වයක් හා මගපෙන්වීමක් ලබාදීම රජයේ වගකීමකි.