ජවිපෙ ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ විරූ තරම් විශාල දේශපාලන අර්බුදයකට තල්ලු වී සිටින බව පෙනේ. පක්ෂයේ ප්රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ බලරහිත කිරීමට දරන ලද උත්සාහයට එරෙහිව ඔහු ආපසු හැරී ජවිපෙට පහර දෙන තැනකට තල්ලු වී සිටින්නේය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙකු ප්‍රසිද්ධියේ ඔහු ගත් මග අනුමත කළේය. සාමාන්‍යයෙන් ජවිපෙ දඬුවම් කරන පුද්ගලයෙකු වහාම ආපසු හැරී පහර දෙන තැනකට යන්නේ නැත. සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙන ලද දඬුවම බාර ගනිමින් බොහෝ කලක් නිශ්ශබ්දව සිට පසුව කෙඳිරි ගාන තැනකට තල්ලුවීම පමණය. එහෙත් විමල් වීරවංශ ඊට වෙනස්ව පෙරළා අභියෝග කරන තැනකට ගියේය. මෙම අර්බුදය ක්ෂණිකව ඇති වූවක් නොවීය. කිසියම් කාලයක් තිස්සේ විකාශය වී පුපුරා ගිය අර්බුදයකි. ජවිපෙ නිල නායකත්වය විමල් වීරවංශ ද්‍රෝහියකු ලෙස අභිෂේක කරන විට විමල් වීරවංශ ඇතුළු ඔහුගේ කණ්ඩායම පෙරළා ජවිපෙට පහර දෙන තැනකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය.
ඒ ආශ්රයෙන් මතුවන වාද කිරීම ද සාමාජිකත්වය වික්ෂිප්ත කිරීමට හේතුවනු ඇති අතර, මෙතෙක් සැඟවී තිබුණු රහස් එළිදකින තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය. ජවිපෙ පහළට යන ගමන ආරම්භ කර තිබුණේ මින් කලකට ඉහතදීය. එය අවවරප්රසාදිත ග්‍රාමීය සිංහල තරුණ පරපුරේ දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකි වුව ද, ඔවුන් නියෝජනයට සමාජ බලවේගයන්ට අවශ්‍ය ඉල්ලීම් ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් දේශපාලන දැනීමක් ඔවුන් සතු නොවීය. ඔවුන් ගිරවුන් මෙන් දේශප්‍රේමී සටන් පාඨ සමග මිශ්‍ර කරන ලද මාක්ස්වාදී සටන් පාඨ උච්චාරණය කිරීමට දැන සිටියා මිස, ශ්‍රී ලංකා සමාජය මුහුණ දී තිබෙන අර්බුදයේ හරය, එය ජයගත යුතුව තිබෙන ආකාරය තේරුම් ගෙන ක්‍රියාකිරීමට අවශ්‍ය පරිණතභාවයක් ඔවුන් සතු නොවීය. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් සන්ධානය හේතු කොටගෙන තමන්ට හිමි ඇත්ත නියෝජනයට වඩා වැඩි කෘතිම නියෝජනයක් හිමිකර ගැනීමට සමත් විය.
ඒ සමග 2002 සිට බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අනියම් ලෙස පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාව අන්තවාදී තැනක හිරකර තබා ගැනීමට සමත් විය. එහෙත් දැන් ඇතිවී තිබෙන පිපිරුම ජවිපෙ කැබලි කරනු නොවැළැක්විය හැකිය. ඉදිරි මැතිවරණයේදී ජවිපෙ නායකයන්ගෙන් කිසියම් පිරිසක් ශ්‍රීලනිපයට ද තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද එකතු වනු ඇති අතර, ඉතිරි පිරිස තවදුරටත් ජවිපෙ පැරණි ස්ථාවරයේ සිටම තවදුරටත් ඉදිරියට යාමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැකිය. දීර්ඝකාලීන අර්ථයෙන් ජවිපෙ ඇතිවී තිබෙන මෙම අර්බුදය ප්‍රධාන පක්ෂ දෙකේම යහපතට හේතුවනු ඇතත්, කෙටිකාලීන අර්ථයෙන් එම තත්ත්වය වඩා යහපත් ලෙස බලපානු ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවටය. විශ්වාසභංග යෝජනාවක් මගින් හෝ ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට එජාප නායකයා දකිමින් සිටි සිහිනය සැබෑවීමට දැනට ඉඩක් නැත.