අචේ විසඳුම ම ශ්‍රී ලංකාවට ද ගැලපේ

February 17, 2008
Publication:
Prabhakaran can stop the war as surely as the president can, Ivan writes, and the main obstacle to a negotiated settlement is the Thimpu principles, framed to make negotiation impossible and since treated as its precondition. He sets out the Aceh settlement and what its equivalent would look like here: disarmament, the withdrawal of the additional forces, the high security zones gone, people back on their land and an interim administration until a provincial election.

යුද්ධය නැවතිය හැකි එකම ජගතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොවේ. එල්ටීටීඊ වේළුපිල්ලේ ප්‍රභාකරන් මහතාට ද අවශ්‍ය නම්, යුද්ධය නතර කළ හැකිය. මහජනයාගේ පොදු පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික හා සාධාරණ විසඳුමක් ඉදිරිපත් කිරීමට ප්‍රභාකරන් සමත් වේ නම් එය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ජනාධිපතිට නැත. සාධාරණ විසඳුමක් ඇති කරගැනීමට තිබෙන ප්‍රධාන බාධාවක් ලෙස මට පෙනෙන්නේ සාකච්ඡාමය විසඳුමක් මගහැරීම සඳහා නිර්මාණය කරගත් තිම්පු මූලධර්ම සාකච්ඡාමය විසඳුමක් සඳහා ද අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතු කොන්දේසියක් බවට පත් කරගෙන තිබීමය.

තිම්පු මූලධර්මය

දෙමළ අරගලයේ නායකත්වය සන්නද්ධ කණ්ඩායම් අතට පත්වීමෙන් පසු වෙනම රාජ්‍යයකින් මෙපිට අතරමැදි විසඳුමකට නොයා යුතුයි කියන තීරණයක් දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් ඇති කරගන්නා ලදි. එහෙත් වෙනම රාජ්‍යයක් වෙනුවට ඊට අඩු විසඳුමක් සඳහා එකඟවිය යුතු බවට ඉන්දියාවෙන් එල්ල වූ බලකිරීම් ඉදිරියේ ඉන්දියාව සතුටු කිරීම පිණිස තිම්පු සාකච්ඡාවලට සහභාගිවීමට එක්සත් පෙරමුණක් බවට පත්ව සිටි දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට සිදුවිය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන තැනකට ගිය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට පිළිගත හැකි අතරමැදි විසඳුමක් ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට එම දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට අවශ්‍ය විය. තිම්පු මූලධර්ම හතරට ඇතුළත් පළමු මූලධර්ම තුන (දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර පාරම්පරික භූමි ප්‍රදේශවලට ඇති අයිතිය පිළිගැනීම හා ස්වයං නිර්ණයට තිබෙන අයිතිය පිළිගැනීම) හඳුන්වා දෙන ලද්දේ එම උපාය මාර්ගික අරමුණු ජයගැනීම සඳහාය.

එල්ටීටීඊය අතින් මේ මෑතකදී ඝාතනයට ලක්වූ කේතීශ්වරන් ලෝගනාදන් ද තිම්පු මූලධර්ම සූත්‍රගත කිරීමේ කාර්යයට සහභාගි වූ න්‍යායවාදියෙකි. ඔහු ද ඊළාම් විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස තිම්පු සාකච්ඡාවලට සහභාගි විය. ඔහු 1996දී ීරස ඛ්බන්-ඛදිඑ ධචචදරඑමබසඑසැි යන මාතෘකාව යටතේ පොතක් ලියා පළ කරන ලද අතර, තිම්පු මූලධර්ම ප්‍රකාශ කිරීම් උපාය මාර්ගික අරමුණ ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡාමය විසඳුමක් ඇති කරගත නොහැකි තත්ත්වයක් ඇති කිරීම බව ඔහු පිළිගනී. ඔහුට අනුව ඔවුන් (ඊළාම් විමුක්ති පෙරමුණේ) ඒ මගින් අපේක්ෂා කළේ තමන් අවිමුක්ත තත්ත්වයකට ලක්වීමෙන් වැළකීම හා පිළිගත නොහැකි විසඳුමකට සිරවීමෙන් වැළකී සිටීම සඳහාය. ඔවුන් සියලු දෙනා සිටියේ සාකච්ඡාමය විසඳුමක් පිළිනොගන්නා තැනකය.

සර්ව පාක්ෂික සාකච්ඡා (1984)

තිම්පු සාකච්ඡාවලට පෙර පවත්වන ලද සර්ව පාක්ෂික සාකච්ඡාවලදී මතුවී තිබුණු ජනවාර්ගික අර්බුදයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අවංක උත්සාහයක් දැරුවේ යැයි කිව හැකිය. 83 ජූලි කලබල විසින් ලබාදී තිබුණු ප්‍රතිඵල හා උතුරු සන්නද්ධ කණ්ඩායම්වලට ඉන්දියාවෙන් ලැබුණු ආධාර හා ආරක්ෂාව ජේ.ආර්. ජයවර්ධන යථාර්ථවාදීව දේවල් බලන තැනකට තල්ලු කිරීමට හේතුවී යැයි කිව හැකිය. ශ්‍රී ලංකාවේ මතුවී තිබුණු මෙම ආරාවුල විසඳා ගැනීමට ඉන්දියානු සහාය අත්‍යවශ්‍ය වේ යැයි සිතන තැනකට ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් පැමිණ තිබුණු අතර, හවඩ් රිගින්ස් හා කේ.එම්. ද සිල්වා ලියා ඇති පරිදි ඉන්දියානු විරෝධී ස්ථාවරයක පිහිටා ලංකාවට ආධාර කළ චීනය හා පාකිස්තානය පවා දරන ලද්දේ එම මතයයි. ප්‍රධාන විරුද්ධ පක්ෂ බවට පත්ව සිටි ශ්‍රීලනිපය සර්ව පාක්ෂික සාකච්ඡා වර්ජනය කර තිබුණ ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සාකච්ඡාවලට උනන්දුවෙන් සහභාගි විය.

ශ්‍රීලනිපයේ අඩුව සපුරාලීම සඳහා ද සර්වපාක්ෂික සාකච්ඡාවට භික්ෂූන් වහන්සේලා ද සම්බන්ධ කරගෙන තිබුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සාකච්ඡාමය රාමුවක් ලබාදීම සඳහා තමන්ට ඉන්දියාවෙන් ලැබුණු “සී” ඇමුණුම සමග තමන් සකස් කළ ඇමුණුම් දෙකක් ද ඉදිරිපත් කළේය.

සාකච්ඡාමය විසඳුමක් ප්‍රතික්ෂේප කිරීම

බලය බෙදාහැරෙන ඒකකය දිස්ත්‍රික්කය විය යුතු ද, පළාත විය යුතු ද යන ප්‍රශ්නය පිළිබඳව මතභේද තිබුණ ද, රාජ්‍ය සැලැස්ම තුළ දෙවැනි මට්ටමේ ආණ්ඩුවක් තිබිය යුතුය යන අදහස භික්ෂූන් වහන්සේලා ද එහිදී පළමුවරට පිළිගත්තේය. එහිදී ඇති කරගත් තවත් වැදගත් එකඟතාවක් වූයේ දමිළ ජනයාට සිය භාෂාවෙන් ගනුදෙනු කිරීමට ඇති අයිතිය හා ඒ සඳහා අවශ්‍ය විධිවිධාන යෙදීමේ අවශ්‍යතාව පිළිබඳව ඇති කරගත් එකඟතාවය. රටක් නැති තත්ත්වයක සිටි දෙමළ වතු කම්කරුවන් 94,000ට පුරවැසිකම් ලබාදීමට ඇති කරගත් එකඟතාව ද එහිදී ඇති කරගත් වැදගත් එකඟතාවක් ලෙස සැලකිය හැකිය. ඒ සියලු දේ අතරින් එහි සිදුවූ වැදගත්ම දේ ලෙස සැලකිය හැක්කේ ඉතාමත්ම මතභේදයට හේතුවූ ප්‍රශ්නය බවට පත්ව තිබූ ඉඩම් ප්‍රශ්නය පිළිබඳව සවිස්තර අධ්‍යයනයක යෙදීමට ඒ නිසා හැකිවීමය. රජයේ ප්‍රධාන වාරිමාර්ග යටතේ රජය බෙදා දී තිබූ ඉඩම් පිළිබඳව සවිස්තර අධ්‍යයනයක යෙදුණු අතර, ඒ අනුව ජනවාර්ගික අනන්‍යතාව පිළිගනිමින් රජයේ ඉඩම් බෙදා දිය යුතු ආකාරය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ද සකස් කරන ලදි.

රජයේ ප්‍රධාන වාරිමාර්ග යටතේ ඉඩම් බෙදාදීමේදී 74%ක පංගුවක් සිංහලයන්ට බෙදා දෙනවිට 26%ක පංගුවක් සුළු ජාතීන්ට වෙන් කිරීමට තීරණය විය. ග්‍රාමීය වාරිමාර්ග ක්‍රම යටතේ ඉඩම් බෙදා දෙන අවස්ථාවලදී ප්‍රදේශයේ වාර්ගික ජන සංයුතිය සැලකිල්ලට ගනිමින් ඊට සමාන පංගු ක්‍රමයක් යටතේ ඉඩම් බෙදාදීමට තීරණය විය. උත්තර මන්ත්‍රී මණ්ඩලයක් සඳහා ද පොදු එකඟතාවක් ඇති කරගන්නා ලදි. පළාත් සභා ක්‍රමයක් ලෙස එකට ඒකාබද්ධවීමට ඉඩක් ඇති දිස්ත්‍රික්ක සභා ක්‍රමයක් සඳහා ඉදිරිපත් කළ කෙටුම්පත දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 1984 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල පැවති සර්ව පාක්ෂික සාකච්ඡාවල අවසන් සැසි වාරයට ඉදිරිපත් කළ කෙටුම්පතක් මගින් පළාත් සභා ක්‍රමයක් සඳහා කෙටුම්පතක් ඉදිරිපත් විය. එය “සී” ඇමුණුමේ එන යෝජනාවන්ට ඉතා සමීප යෝජනාවලියක් ලෙස සලකා ද්‍රවිඩ එක්සත් පෙරමුණ එය නිල වශයෙන් පිළිගත්තේය.

එහිදී අනුමත වූ සියලු යෝජනා ඇතුළත් විසඳුම් පොදිය කැබිනට් අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට තිබූ අවස්ථාවක එම විසඳුම් පොදිය නිල වශයෙන් පිළිගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින්ම ඉන් දින පහකට පසුව එම යෝජනාවලිය විසඳුමක් ලෙස පිළිගත නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ වාර්තාව ඉවත් කරගැනීමට සිදුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන්ට තමන්ගේ ස්ථාවරය වහා වෙනස් කරන්නට එහිදී සිදුවූයේ සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වූ බලපෑම් නිසාය. සාකච්ඡාමය විසඳුමකට ඉඩ නොතැබීම සන්නද්ධ කණ්ඩායම්වල අරමුණ වූ අතර, ආයුධ බලයෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම ඔවුන්ගේ එකම අපේක්ෂාව විය. ඉන්පසුව පැවති තිම්පු සාකච්ඡාවලදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන්ට ලැබී තිබුණේ නාමික තත්ත්වයක් පමණය.

තීරකයන් බවට පත්ව සිටියේ සන්නද්ධ කණ්ඩායම්වලින් සමන්විත දෙමළ ඊළාම් එක්සත් පෙරමුණේ නියෝජිතයන්ය. 83 ජූලි කලබලවලින් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ජීවත් වූයේ සිය ඡන්ද කොට්ඨාසවල නොව ඉන්දියාවේය. ඉන්දියාවට පලා නොගොස් සිය ඡන්ද කොට්ඨාසවල ජීවත්වීමට තරම් ධෛර්යයක් තිබූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් දෙදෙනා (වී. ධර්මලිංගම් හා ඒ. අලාලසුන්දරම්) තිම්පු සාකච්ඡාවලින් පසුව පැහැර ගෙන ගොස් මරා දමන ලදි. ඒ සමග දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවට දෙමළ සන්නද්ධ කණ්ඩායම් දෙමළ අරගලයේ නායකයන් බවට පත්විය. තවත් පසුකලකදී ගොඩනගා ගෙන තිබූ දෙමළ ඊළාම් එක්සත් පෙරමුණෙන් අන් සියලු නායකයන් ද විනාශ කොට කොටි සංවිධානය දෙමළ අරගලය මෙහෙයවන එකම දේශපාලන ව්‍යාපාරය බවට පත්විය. තිම්පු මූලධර්ම නිර්මාණය කරන ලද්දේ සාකච්ඡාමය විසඳුමක් ඇතිවීම වැළකීමට නම්, සාකච්ඡාමය විසඳුමක් සඳහා තිම්පු මූලධර්ම යොදාගැනීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද? දෙමළ ජනයාට බලවත් අසාධාරණයක් සිදුවී තිබෙන අතර, එහිදී සැලකිල්ලට ගත යුත්තේ සිදුවී තිබෙන අසාධාරණය මිස, ස්ථාපිත කොට ඇති මනෝරාජික විශ්වාසයක් නොවේ.

විසඳුමක් සොයා ගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වී ඇත්තේ ලෙඩාගේ ලෙඩේට බෙහෙත් දෙන ප්‍රතිපත්තියක් වෙනුවට ලෙඩාගේ මනෝරාජික විශ්වාසයන්ට බර තබා බෙහෙත් දෙන පිළිවෙතක් අනුගමනය කිරීම නිසාය. ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ මතුවී තිබූ ජනවාර්ගික අර්බුදය විසඳා ගැනීමට යොදාගත් ඍජු ප්‍රවේශයට සමාන ප්‍රවේශයක් යොදාගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ආරාවුල ද විසඳා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි.

අචේ ගැන

අචේවලින් ශ්‍රී ලාංකික අපට උගත හැකි වැදගත් පාඩම් ගණනාවක් තිබේ. අචේ ගරිල්ලන් ද ලංකාවේ දෙමළ ගරිල්ලන් මෙන් සටන් කළේ වෙනම රාජ්‍යයක් සඳහාය. ඔවුන්ගේ සන්නද්ධ අරගලයේ ඉතිහාසය ද දශක තුනක් තරම් පැරණිය. අචේ නිදහස් රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍ය 1819දී පිළිගෙන තිබුණි. අචේ ප්‍රාන්තය ලන්දේසීන් අතට පත්වීමෙන් පසු අචේ ජනතාව ලන්දේසි ආධිපත්‍යයට එරෙහිව සටන් කළේය. ඉන්දුනීසියාව නිදහස දිනාගත් පසු නිදහස් අරගලයට අචේවලින් ලැබී තිබුණු දායකත්වය සලකා එය විශේෂ ප්‍රාන්තයක් ලෙස සලකා ක්‍රියා කරන බවට සුහර්තෝ පොරොන්දු විය. හමුදා කුමන්ත්‍රණයක් මගින් සුහර්තෝගේ ආණ්ඩුව පෙරළා බලයට පැමිණි සුකර්නෝ අචේ ප්‍රාන්තය සිය මිලිටරි ආධිපත්‍යයට නතු කරගත් බල ප්‍රදේශයක් බවට පත් කර ගත්තේය. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 230ක් වන විට අචිනි ජනගහනය මිලියන 05ක් පමණක් විය.

අඩු ජනගහනයකින් යුතු වුවත්, ඉන්දුනීසියාවේ පොහොසත්ම ප්‍රාන්තය වූයේ අචේය. රටේ තෙල් හා ගෑස් අපනයනයන්ගෙන් 30%ක් නිපදවූයේ අචේවලය. ලෝකයේ තිබෙන ලොකුම ස්වාභාවික ගෑස් පිරිපහදු කම්හල තිබෙන්නේ ද අචේවලය. ලෝකයේ තිබෙන විශාලතම නාවික ගමන් මාර්ගය වැටී ඇත්තේ ද අචේ අසලිනි. ස්වාභාවික සම්පත්වලින් ප්‍රාන්තය ආඩ්‍ය තත්ත්වයක තිබුණ ද උපයන ආදායමින් සාධාරණ කොටසක් ප්‍රාන්තයට නොලැබීම නිසා ප්‍රාන්තය පැවතියේ දුප්පත් තත්ත්වයකය. නිදර්ශනයක් වශයෙන් 1997/98 වසරවලදී ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ අචේ ප්‍රාන්තයෙන් උපයන ලද ආදායම ඉන්දුනීසියානු රුපියල් ට්‍රිලියන 32ක් විය. ආණ්ඩු අචේවලට දෙන ලද ආදායම ඉන්දුනීසියානු රුපියල් බිලියන 290කි. අචේවල තිබුණේ එක ගරිල්ලා ව්‍යාපාරයක් පමණය. ඔවුන් සටන් කළේ වෙනම රාජ්‍යයක් වෙනුවෙනි. ඔවුන් යුද පුහුණුව ලබාගත්තේ ලිබියාවෙනි. රට අතහැර පලාගිය නායකයන් සැඟවී සිටියේ ස්වීඩනයේය.

අචේ ගරිල්ලන් 2002 වසරේ දෙසැම්බර්වලදී ආණ්ඩුව සමග සටන් විරාම ගිවිසුමක් ඇති කරගන්නා ලදි. එහෙත් සටන් විරාම ගිවිසුම පැවතියේ මාස 05ක් පමණය. ගිවිසුම බිඳ වැටීමෙන් පසු ආණ්ඩුව අචේ ප්‍රාන්තය සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට ප්‍රාන්තයට අතිරේක හමුදා යවා අනුකම්පාවිරහිතව අචේ ගරිල්ලන් මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. එදා එහි පැවති තත්ත්වය අද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට බොහෝ දුරට සමානය. අචේවලට යවන ලද අතිරේක ආරක්ෂක හමුදා ගරිල්ලන්ගේ ආධිපත්‍යය යටතේ තිබූ ප්‍රදේශවලින් 70%ක භූමි භාගයක් නිදහස් කරගනිමින් ගරිල්ලන් ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට පත් කළේය. 2004 දෙසැම්බර් 26 වැනිදා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ඉන්දුනීසියාවේ වැඩිම හානියක් ඇතිවූ ප්‍රාන්තය වූයේ අචේය. ප්‍රාන්තයේ ජනගහනයෙන් 5%ක් (200,000ක්) මරණයට පත්වූ අතර, සමස්ත ජනගහනයෙන් 40%කගේ ජීවිත කෙරෙහි ව්‍යසනය බලපෑවේය.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම

අපේ රටේ මෙන් නොව, ඉන්දුනීසියානු ආණ්ඩුව සේ ම අචේ ගරිල්ලන් ද සුනාමියෙන් සිදුවී තිබුණු විනාශය පොදු එකඟතාවක් ඇති කරගැනීමට අවස්ථාවක් කර ගත්තේය. මැදිහත්කරුවා ලෙස ක්‍රියා කළේ පින්ලන්තයේ හිටපු ජනාධිපති අල්කසාරි මහතාය. වෙනම රාජ්‍යයක් සඳහා කරන සටන අත්හරින්නට එකඟ වේ නම් දෙපක්ෂයටම පිළිගත හැකි විසඳුමක් ලබාදීමට තමන්ට හැකි බව ඔහු ගරිල්ලා නායකයන්ට ප්‍රකාශ කළේය. ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට පත්ව සිටි ගරිල්ලන් ද ඒකීය රාජ්‍යයක් තුළ අචේ ප්‍රාන්තය සඳහා කිසියම් ප්‍රමාණයක ස්වාධිපත්‍යය ලබාදෙන වැඩපිළිවෙළකට එකඟවීමට සහතික විය. එහිදී හිටපු ජනාධිපති අල්කසාරි යොදාගනු ලැබූ ප්‍රවේශය වූයේ සියලු දේට එකඟ වන තෙක් කිසිවකට එකඟ නොවන ප්‍රතිපත්තියකි. විසඳුමක් ඇති කරගැනීමේ ඇත්ත වුවමනාවක් ගරිල්ලන්ට තිබුණා සේ ම, එවැනි අවංක වුවමනාවක් ඉන්දුනීසියානු ආණ්ඩුවට ද තිබුණේය.

දෙපාර්ශ්වය සති හතක කතාබහෙන් පසු 2005 ජූලි 17 වැනිදා ඇති කරගත් අවබෝධතා ගිවිසුමට ඇතුළත් වැදගත් කරුණු සමහරක් මෙසේය. ඉන්දුනීසියාවේ ඒකීය රාජ්‍යය රාමුවට හානියක් නොවන ලෙස අචේ ප්‍රාන්තයට කිසියම් විශාල ප්‍රමාණයක ස්වෛරීය බලයක් ලබාදෙන නීති සම්පාදනය කෙරෙනු ඇත. ගරිල්ලන් ප්‍රධාන ප්‍රවාහයට එකතු විය යුතුය. ඔවුන්ට ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක් ගොඩනගා ගැනීමට ඉඩ ලැබෙන ලෙස (ඉන්දුනීසියාවේ පැවති නීතිය අනුව ජාතික දේශපාලන පක්ෂවලට හැර ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට මැතිවරණවලට තරග කිරීමේ අයිතියක් නොතිබුණි.) නීති සම්පාදනය කෙරේ. ඔවුන් 2006 දෙසැම්බර් 4 වැනිදා පැවැත්වෙන මැතිවරණවලට තරග කළ යුතුය. එම මැතිවරණයෙන් ජයගැනීමට ප්‍රධාන ප්‍රවාහයට එකතු වන ගරිල්ලන් සමත් වෙතොත්, ප්‍රාන්ත ආණ්ඩුවේ පාලන බලය හිමිවන්නේ ඔවුන්ටය. මෙම කාරණා සම්පූර්ණ කිරීම සඳහා ගිවිසුම ආරම්භයේදීම ක්‍රියාත්මක වන නිරායුධකරන වැඩපිළිවෙළක් තිබුණි.

ඒ අනුව ගරිල්ලන් සිය ආයුධ බාරදිය යුතු අතර, ඒ සමග ගැටුමට පසුව ප්‍රාන්තයට යවා තිබෙන අතිරේක ආරක්ෂක හමුදා ආණ්ඩුව ඉවත් කරගත යුතුය. ගරිල්ලන් ආයුධ බාරදීම සිදුකරන ලද්දේ කොටස් වශයෙන් හතර වතාවකටය. ප්‍රාන්තයේ සිටින අතිරේක ආරක්ෂක හමුදා ඉවත් කරගැනීම සිදුවූයේ ද ඊට අනුරූපීව හතර වතාවටය. ආයුධ බාරදීම සේ ම අතිරේක හමුදා ඉවත් කරගැනීම ද අවබෝධතා ගිවිසුමට අනුකූලව හොඳින් සිදුවිය. අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස 17කට පසුව 2006 දෙසැම්බර් 11 වැනිදා පැවති මැතිවරණයෙන් ප්‍රාන්තයේ පාලන බලය දිනාගැනීමට ප්‍රධාන ප්‍රවාහයට එකතු වූ ගරිල්ලා ව්‍යාපාරය සමත් විය. දැන් අචේ ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ගැටුම් නැත. ප්‍රාන්තයේ ඉපයීම්වලින් 70%ක් ප්‍රාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීමේ අයිතිය අචේ ප්‍රාන්තයට ලැබී ඇත්තේය. කෙළවරක් නැති බොරු න්‍යාය ධර්ම කර තබාගෙන අඳුරේ අතපත ගානවා වෙනුවට මෙවැනි ප්‍රායෝගික ප්‍රවේශයක් මගින් මෙම අර්බුදය ජයගන්නා තැනකට අපි නොයන්නේ ඇයි? එල්ටීටීඊය ඉල්ලා සිටින වෙනම රාජ්‍යය හෝ කොන්ෆෙඩරේෂණයක් රාජ්‍යයට එකඟවීමේ හැකියාවක් ශ්‍රී ලංකාව ආණ්ඩුවට නැතිවා සේ ම එවැනි දෙයක් දිනාගැනීමේ හැකියාව ද එල්ටීටීඊයට නැත.

අනෙක් අතට ඒකීය රාමුවක් තුළ බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමේ හැකියාවක් නැතැයි කියන කතාව ද විකාරයකි. ඉන්දියාවේ පෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඒකීය රාමුව තුළය. ඉන්දුනීසියාව අචේ ප්‍රාන්තයට සීමිත ස්වාධිපත්‍යයක් සහිත ප්‍රාන්ත ආණ්ඩු තත්ත්වයක් ලබාදී ඇත්තේ ද ඒකීය රාමුවක් තුළය. ස්පාඤ්ඤවේ පවතින පෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ද ඒකීය රාමුවක් තුළය. අප ඒකීය රාමුව අත්හැරීමට කැමති නැතිනම් ඒකීය රාමුව තබා ගෙනම බලය බෙදාහැරෙන ක්‍රමයකට යා හැකිය. මෙවැනි වැඩපිළිවෙළක් රටේ යහපතට හේතුවනවා සේ ම, දෙමළ ජනතාවගේ යහපතට ද හේතු වන්නේය. අචේවල යොදාගත් ප්‍රවේශයම අපට ද යොදා ගත හැකිය. එල්ටීටීඊය සියලු ආයුධ බාරදිය යුතුය. ඒ වෙනුවෙන් ආණ්ඩුව උතුරට යවා තිබෙන අතිරේක ආරක්ෂක හමුදා ආපසු ගෙන්වා ගත යුතුය. දෙපාර්ශ්වයම ගැටුමට පෙර සිටි තැනට ගැනීම එහි අරමුණ විය යුතුය.

ආයුධ අත්හැරීම වෙනුවෙන් එල්ටීටීඊයට අතිරේක ආරක්ෂක හමුදා නැති උතුරක් එල්ටීටීඊයට ලැබෙන්නේය. නිරායුධ වූ එල්ටීටීඊයත් සහිත උතුරක් රටට ලැබෙන්නේය. අතිරේක ආරක්ෂක හමුදා උතුරු පළාතෙන් ඉවත් කරගන්නේ නම්, අධිආරක්ෂක කලාප ක්‍රමය නැතිවී, ඒ නිසා උන් හිටිතැන් අහිමි වූ විශාල ජනතාවකට නැවත තමන්ගේ ඉඩම්වල පදිංචියට යාමේ අයිතිය ලැබෙන්නේය. එවැනි වැඩපිළිවෙළකදී උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක් පවත්වන තෙක් ඇති කරන අන්තර් වාර පාලනයක වැඩි කොටස්කරුවකු වීමේ අයිතිය එල්ටීටීඊය ලබාදිය හැකිය. මෙවැනි වැඩපිළිවෙළක් මගින් ප්‍රචණ්ඩ අරගලවලින් හිරි වැටී ඇති උතුරු නැගෙනහිර සාමකාමී කලාපයක් බවට පත් කළ හැකිවන්නේය. එවැනි එකඟතාවක් ඇති කරගත හැකි නම්, රට නැවත සාමකාමී තැනකට ගෙන ඒමට හැකිවන්නේය.