2008 වසර ආරම්භ වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන මන්ත්‍රීවරයෙකු ඝාතනයට ලක්වීමෙනි. මෙය මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ තුන්වෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වූයේ ද නත්තල් දින මෙහෙයකට සහභාගිවෙමින් සිටියදී ය. ඉන්පසු රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වූයේ කොළඹදී ය. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරුන් තිදෙනා ම වර්ගය අනුව අයත්වන්නේ දෙමළ ජාතියට ය. අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු මහේෂ්වරන් මන්ත්‍රීවරයාට ලබාදී තිබූ ආරක්ෂක භට සංඛ්‍යාව 18 සිට 2 දක්වා අඩු කරනු ලැබූ බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. යාපනයේ සිදුවන කප්පම් හා ඝාතනවලට වගකිවයුතු පුද්ගලයන් හෙළිදරව් කරන බවට කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශනයකින් පසුව මෙම ඝාතනය සිදුවී ඇති බව ද කියනු ලැබේ. වෙඩි වැදී ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙන ආකාරයට මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ මීට පෙර මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.
තමා ඔහු හඳුනාගෙන ඔහුට වෙඩි තබන්නට වු විට ඔහු තමාට වෙඩි තබන ලද බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම වෙඩි තැබීම කවුරුන් සිදු කරනු ලැබුවත් අවසානයේ එහි වගකීම යන්නේ ආණ්ඩුවටය. මහේෂ්වරන් මන්ත්‍රීවරයාට ලබාදී තිබූ ආරක්ෂාව ඔහු අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු ආරක්ෂක භටයන්ගේ සංඛ්‍යාව 18 සිට 2 දක්වා අඩු කළේ නම්, එය නොහොබිනා තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ආරක්ෂක ප්‍රශ්නවලදී දේශපාලන කෝණයකින් කරුණු සලකා බලන ක්‍රමයක් කිසිසේත්ම සාධාරණ විය නො හැකි ය. මහජන මන්ත්‍රීවරුන් සිටින්නේ මහජන ප්‍රශ්න පිළිබඳව හඬ නගා කතා කරන්නට මිස, බකං නිලාගෙන සිටින්නට නොවේ. ඔවුන් කතා කරන කෝණයේ හරි වරද කුමක් වුවත්, එම අයිතිය භුක්ති විඳීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුය. තමන් කරන හඬ නැගීම් මහජන මන්ත්‍රීවරුන් පවා ඝාතනයට ලක්වන පරිසරයක් රටේ පවතී නම් එය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට මානව හිමිකම් වෙනුවෙන් කරන ලද හඬ නැඟීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමි විය. ඔහුට එම සම්මානය හිමිවීමෙන් පසු ඔහුට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම නිසා ඔහු සිය ජීවිත ආරක්ෂාව සඳහාත්, සෙසු මහජන මන්ත්‍රීවරුන්ටත් ජීවිත ආරක්ෂාව සඳහා රටින් පලායන්නට සිදුවී ඇත්නම්, රටේ මානව හිමිකම් තත්ත්වය යහපත් විය හැක්කේ කෙසේ ද? මෙතෙක් ඝාතනයට ලක්වී ඇති අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඝාතනයට වගකිවයුත්තන් ඉදිරියට පමුණුවාලීමට නොහැකි වී තිබෙන බව ද අමතක කළ නො හැකි ය. ඝාතන සංස්කෘතිය තව තවත් වර්ධනය වන්නට ඉඩ නොදී යහපත් වෙනසකට මුල පිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා අසමත් වෙතොත්, රටේ ප්‍රතිරූපයට අතිරේකව ජනාධිපති ප්‍රතිරූපය ද හෙළවෙන්නේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව මතුවී තිබෙන මෙම අයහපත් තත්ත්වය බැ?රුම් ලෙස සාකච්ඡා කොට සුදුසු තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවේ ද වගකීමයි.