එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ජයග්‍රහණය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ යෝධයකු බවට පත්කොට ඔහු ඉදිරියේ සිටින රටේ සියලු දේශපාලන නායකයන් අඟුටුමිට්ටන් බවට පත් කළේය. අවසාන විග්‍රහයේදී මෙම යෝධයාට එරෙහිව ජනාධිපති තරගයේදී හොඳ තරගයක් දියහැකි කිසිවකු දේශපාලන නායකයන් අතර නැති තත්ත්වයක් ඇතිකර තිබුණේය. මහින්ද රාජපක්ෂ පාලනයට ආවේණික කවර සීමිතකම් තිබුණද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලවත් තරගයකින් තොරව ජනාධිපති තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලැබිය හැකි තත්ත්වයක් ගොඩනැගී තිබුණි.
වීරයාට එරෙහිව වීරයකු යොදාගැනීම
අවසානයේ මේ හිඩැස පිරවූයේ සාම්ප්‍රදායික විරුද්ධ පක්ෂ නායකයා වෙනුවට යුද්ධය විසින් බිහිකළ තවත් යෝධයකු ජනාධිපතිවරයා සමග තරග කරන තත්ත්වයක් නිර්මාණයවීමෙනි. එල්ටීටීඊ විරෝධී ජයග්‍රාහී යුද්ධය දැවැන්ත වීරයන් තිදෙනකු නිර්මාණය කර තිබුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා යුද හමුදාපති සරත් ෆොන්සේකා යන තිදෙනාය. යුද්ධයේදී මේ තිදෙනාම රඟපෑ භූමිකාව ඉතාමත් සුවිශේෂ හා අසමාන විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන්නේය. යුද හමුදාපති සරත් ෆොන්සේකා එම යුද්ධයට අවශ්‍ය යුදමය නායකත්වය ලබාදුන්නේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ සාධක දෙක සම්බන්ධීකරණය කළේය. මේ යුද්ධය තුළ මෙම චරිත තුන රඟපෑ සුවිශේෂ භූමිකාව තුළ යුද්ධය අවසන් වන විට ඒ තිදෙනාම අසාමාන්‍ය ගණයේ වීරයන් තිදෙනකු ලෙස ඉතිහාසයට එකතු වූහ.
මෙම වීරයන් තිදෙනාම නිල විරුද්ධ පක්ෂයේ කඨෝර විවේචනයන්ට ලක්වූ චරිත තුනක් විය. නිල විරුද්ධ පක්ෂය යුද්ධය දැක්කේ මහින්ද රාජපක්ෂ රිජීමයේ පැවැත්ම ශක්තිමත් කරන සාධකයක් ලෙසය. ඒ නිසා යුද්ධය ජයග්‍රාහී යුද්ධයක් නොවී එය අවුල් ජාලයක් බවට පත්වනවා දකින්නට ඔවුන් කැමති විය. විරුද්ධ පක්ෂයේ විවේචන ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සීමා නොවීය. වෘත්තීය සොල්දාදුවකු ලෙස සැලකිය හැකි සරත් ෆොන්සේකා වෙතද කඨෝර විවේචනයක් එල්ල විය. විරුද්ධ පක්ෂ නායකයා විසින් ඔහු වෙත බිහිසුණු චෝදනා එල්ල කෙරුණු අවස්ථා ද තිබුණි. හමුදාපතිවරයා සමහර විවේචනයන්ට කෝපයෙන් පිළිතුරු දුන් අවස්ථාද තිබුණි. මේ සියල්ල එසේ තිබියදීත් ජනාධිපති තරගය සඳහා තමන්ගේ කෙනකු ඉදිරිපත් කළ නොහැකි තැනක සිටි විරුද්ධ පක්ෂය යුද්ධය විසින් බිහිකර තිබුණු ඉතිරි වීරයන් දෙදෙනාගෙන් කෙනකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරග බිමට ගැනීමට සමත්වීම විරුද්ධ පක්ෂය ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
ඉතාමත් වැදගත් හා පුදුමසහගත දේ ලෙස සැලකිය හැක්කේ එකට එකතු වී වැඩ කළ නොහැකි තැනක සිටි එජාපයට හා ජවිපෙට එකට එකතු වී වැඩ කළහැකි පසුබිමක් මෙම විශේෂ තේරීම විසින් ලබාදී තිබීමය.
ජේවීපීය
විධායක ජනාධිපති බලය පොදු පෙරමුණට තිබියදී එජාප අතට පාර්ලිමේන්තු බලය ලැබී තිබුණු අවස්ථාවක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුවේ මිනීවළ හාරන්නා ලෙස ක්‍රියා කළේ ජවි පෙරමුණය. ඒ ක්‍රියාව ජවිපෙ එදා දැක්කේ දේශද්‍රෝහී ආණ්ඩුවක් පලවා හැරීම වෙනුවෙන් කරන ලද උදාර මෙහෙවරක් ලෙසය. ඉන්පසු ජවිපෙ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කෙරෙන දේශපාලන ක්‍රියාවලියේ පෙකණිවැල කපන වින්නඹු අම්මාගේ භූමිකාව රඟපෑවේය. දැන් ජනතා විමුක්ති පෙරමුණට තමන් විසින් දේශප්‍රේමී ගැළවුම්කරුවකු ලෙස සලකා බලයට ගෙනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන මිනීවළ හාරාන්නාගේ භූමිකාවත්, තමන් දේශද්‍රෝහියකු ලෙස සලකා බලයෙන් පහකළ රනිල් වික්‍රමසිංහ අනියම් ලෙස බලයට පත් කරන දේශපාලන ක්‍රියාවලියක වින්නඹු අම්මාගේ භූමිකාවක් රඟපාන්නට සිදුවීම උත්ප්‍රාසයක් ලෙස සැලකිය හැකි වුවත් ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති අගාධ වෛරය ඒ නිසා හෝ අවසන්වන්නේ නම් එය රටේ දේශපාලන ප්‍රගතියට හේතුවන සාධකයක් ලෙස සැලකිය හැකිය.
රනිල් වික්‍රමසිංහ
එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදයේදී වර්ණවත්ම භූමිකාව රඟපාන්නා බවට පත්ව සිටින්නේය. ඔහු කලින් සිටියේ පහසුවෙන් ගොඩ ආ නොහැකි මඩවළක කරවටක් එරී සිටින තත්ත්වයකය. ඔහුට මෙම තරගයේ බලවත් තරගකරුවකු වීමේ හැකියාවක් නොතිබුණි. එල්ටීටීඊ විරෝධී ජයග්‍රාහී යුද්ධය විසින් මහින්ද රාජපක්ෂ යෝධයකු බවටත්, ඔහු අඟුටුමිට්ටකු බවටත් පත්කර තිබුණි. සාම්ප්‍රදායික අර්ථයෙන් මේ තරගයේ ඊළඟ තරගකරුවා බවට පත්විය යුතුව තිබුණේ ඔහුය. එහෙත් තරගයෙන් ලැබෙන පරාජය ඔහුගේ අනාගත දේශපාලන පැවැත්ම අවසන් කරන්නට ඉඩ තිබුණි. අනෙක් අතට තරග කිරීමේ අවස්ථාව පක්ෂයේ වෙනත් කෙනකුට ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ වුවද ඒ මගින්ද ඔහුට පක්ෂ නායකත්වය අහිමිවී දේශපාලන අනාගතයක් නැති තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. තම පක්ෂ නායකත්වය ආරක්ෂා කරගනිමින් මහින්ද රාජපක්ෂට එරෙහිව බලවත් තරගයක් දෙන ක්‍රමයක් මේ අවස්ථාවේ සොයාගැනීමට හැකිවීම ඔහු සිය දේශපාලන ජීවිතයේ ලබන ලද වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මෙම තරගයෙන් ජයගත්තේයැ”යි උපකල්පනය කොට ඉන්පසු හැමදෙයක්මත් රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන ආකාරයට සිදුවුවහොත් ජයග්‍රාහී ජෙනරාල් සරත් ෆොන්සේකා සංකේතාත්මක වැදගත්කමක් ඇති තනතුරකට සීමා කොට රට පාලනය කිරීමේ බලය හිමිකර ගැනීමේ හැකියාව ඔහුට හිමිවිය හැකිය. ජයග්‍රාහකයා සිය ජයග්‍රහණයෙන් පසු රනිල්ගේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීම ප්‍රතික්ෂේප කළ ද අඩුම වශයෙන් පක්ෂ නායකත්වය හෝ ආරක්ෂා කරගැනීමේ හැකියාව ඔහුට ලැබෙනු ඇත්තේය. ඒ අර්ථයෙන් මේ මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇත්තේය.
දෙමළ දේශපාලන පක්ෂ
තොණ්ඩමන්, ඩග්ලස් හා කරුණා සිටින්නේ ආණ්ඩුව සමගය. මනෝ ගනේෂන් සිටින්නේ සරත් ෆොන්සේකා සමගය. දෙමළ සන්ධානය මෙම තරගයේදී උදව් කරන්නේ කාටද යන ප්‍රශ්නය ඉතා වැදගත්ය. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් රනිල් වික්‍රමසිංහ සමග පාර්ලිමේන්තුවේදී කරන ලද අදහස් හුවමාරුවකදී තම ව්‍යාපාරය විපක්ෂ සන්ධානයට එකතු නොවන බව දැනුම් දී තිබේ. දෙමළ සන්ධානයේ නායකයන් දේශපාලන දෘෂ්ටියේ ගැඹුරු වෙනසක් ඇති කරගෙන සිටියද මෙම තරගයේදී ඔවුන් අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි නැත. ඔවුන් වෙනම රාජ්‍යයක් හෝ ඒ වෙනුවට ඉල්ලා සිටි පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ අදහස අතහැර ඇතත්, තම වර්ගයා මුහුණදී තිබෙන ප්‍රශ්නවලට සාධාරණ හා කල්පවත්නා විසඳුමක් ඉල්ලා සිටිති. ඔවුන්ගේ විශ්වාසයට හේතුවන ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කිරීමට තවමත් ආණ්ඩුව සමත් වී නැත.
සරත් ෆොන්සේකා
සරත් ෆොන්සේකා යුදමය ක්ෂේත්‍රයේදී සුවිශාල දස්කම් පෑ ඒ මගින් වීරත්වයක් හිමි කරගත් හමුදා නිලධාරියෙකි. එල්ටීටීඊ විරෝධී ජයග්‍රාහී යුද්ධයේ ගෞරවය ඒ යුද්ධය බිහිකළ වීරයන් තිදෙනා අතර කෙසේ බෙදීයායුතුද යන්න ගැන විවිධ මතවාද ඇතත්, ඔහු එහිදී ඉටුකළ කාර්යභාරය ඉතාමත් සුවිශේෂය. රාජ්‍ය නායකයා වශයෙන් හා සේනාධිනායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටු කළ කාර්යභාරය නොවන්නට යුද හමුදාවට කොතරම් හොඳ නායකයකු සිටියද මෙම ජයග්‍රහණය අත්පත් කරගැනීමට නොහැකිවීමට ඉඩ තිබුණේද කියා කෙනකුට තර්ක කළ හැකිවුවත් එහිදී රාජ්‍ය නායකයා කොතරම් හොඳ භූමිකාවක් රඟපෑවද සරත් ෆොන්සේකා වැනි දක්ෂ හමුදා නායකයකු නොසිටියේ නම් මෙම ජයග්‍රහණය නොලැබෙන්නට ඉඩ තිබුණානේදැ”යි තවත් කෙනකුට තර්ක කළ හැකිය. යුද්ධයේ ජයග්‍රහණය සඳහා මේ තිදෙනාගේම දායකත්වය අත්‍යවශ්‍ය වූ අතර එහිදී අනෙකුන් දෙදෙනාට හිමි ගෞරවය සේ ම සරත් ෆොන්සේකාට හිමි ගෞරවය ද අහිමි කළ නොහැකිය.
නිදහසින් පසු මෙතෙක් රාජ්‍ය නායකත්වය සඳහා හමුදා නිලධාරියකු තරග කොට නැත. මෙය ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුවන පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙම ඉදිරිපත්වීමට ආවේණික විශේෂත්වය වන්නේ ජයග්‍රාහී යුද්ධය විසින් ගොඩනගන ලද ලොකුම වීරයාට එරෙහිව යුද්ධය විසින් ගොඩනගන ලද ඊළඟ ලොකුම වීරයා තරග වැදීමය. ඒ අර්ථයෙන් මෙම තරගය ජාතික වීරයන් දෙදෙනකු අතර කෙරෙන ශුද්ධ වූ සංග්‍රාමයක් ලෙස සැලකිය හැකිය. සරත් ෆොන්සේකාගේ සම්ප්‍රාප්තිය තෙක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගමන් ගනිමින් තිබුණේ විරුද්ධ පක්ෂයෙන් එල්ලවන බලවත් අභියෝගයකින් තොරව ඒකපාක්ෂිකව යන ගමනකය. එහෙත් සරත් ෆොන්සේකාගේ සම්ප්‍රාප්තිය ඒ තත්ත්වයෙහි කිසියම් වෙනසක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර පුළුල් අර්ථයෙන් ගත්විට එය යහපත් තත්ත්වයක් ලෙස මිස අයහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. බලවත් ආණ්ඩුවක් ඉදිරියට යායුත්තේ බලවත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයකින් එල්ල වන අභියෝග හා විවේචන මැද්දේය.
එහෙත් ජෙනරාල් ෆොන්සේකාට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ තමන් දරන දෘෂ්ටියට සමීප බලවේග සමග නොව ඊට සහමුලින් වෙනස් මත දරන බලවේගයක් සමගය. ප්‍රධාන කොට තමන් ඉදිරියට ගෙනගිය යුද්ධයට පක්ෂපාතව ක්‍රියාකළ පිරිසක් සමග නොව බලවත් ලෙස විරුද්ධව ක්‍රියාකළ පිරිසත් සමගය. මෙම නොගැළපීම කැපී පෙනෙන තත්ත්වයක තිබෙන අතර එය මෙම එකතුවට ආවේණික දුර්වලම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. සරත් ෆොන්සේකා පළපුරුදු දේශපාලන නායකයකු නොව පළපුරුදු හමුදා නායකයෙකි. හමුදා නායකයකුට දේශපාලන නායකයකුට නැති විනයක් ඇතත්, දේශපාලනයේදී මෙන් නොව යුද්ධයකදී වැදගත්වන්නේ අණදීම හා අණපිළිපැදීමය. එහිදී ඒකාධිපති නායකයකු සේ අණදෙන්නා විසින් දෙනු ලබන අණ ප්‍රශ්න කිරීමකින් තොරව අණ පිළිපදින්නා විසින් පිළිපැදිය යුතුය. එහෙත් දේශපාලනයේදී දූෂිත දේශපාලනඥයකුට වුවද මහජන මතය කෙරෙහි සංවේදීවීමට සිදුවේ.
හමුදා නායකයකුට වෙනස්ව දේශපාලනඥයකුගේ බලයේ උල්පත ලෙස ක්‍රියාකරන්නේ මහජනයාය. හමුදා සේවයෙන් පසු දේශපාලනයට පිවිස රාජ්‍ය නායකයන් වී ප්‍රජාතන්ත්‍රවාදී මාවතේම ගමන් ගත් නායකයන් කලාතුරකින් හෝ සිටිනවා සේ ම ඊට වැඩි ප්‍රමාණයක් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්වී ඒකාධිපති ක්‍රමයකට මාරුවූ නායකයන්ය.
නැපෝලියන් හා ඩිගොල්
ප්‍රංශ විප්ලවය සැලකෙන්නේ මිනිස් නිදහසේ නවීන වටිනාකම් ප්‍රකාශ කෙරුණු විප්ලවය වශයෙනි. ප්‍රංශ විප්ලවය එතෙක් පැවති රාජාණ්ඩු පාලනය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් ඇති කිරීමට සමත් වුවත් එය ඇති කළ පළමු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව අර්බුදයට ගිය අවස්ථාවේදී සමූහාණ්ඩුව ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම නැපෝලියන් වෙත පවරන ලද මුත් නැපෝලියෙන් එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි කොට තමන් ප්‍රංශයේ අධිරාජයා ලෙස කිරුළු පළඳවා ගනිමින් නැවත ඒකාධිපති රාජාණ්ඩු පාලනයක් ඇති කළේය. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ පස්වන සමූහාණ්ඩුව ඇති කළ චාල්ස් ඩිගොල් නැපෝලියන් මෙන් ඒකාධිපති රාජ්‍යයක් ඇති නොකළේය. ප්‍රංශය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක තත්ත්වයක තබාගැනීමට ඩිගොල් සමත් වුවත් ඩිගොල් ඇති කළ ව්‍යවස්ථාව සේ ම ඩිගොල්ගේ පාලන ශෛලිය තුළ ද එක්තරා ප්‍රමාණයක ඒකාධිපතිවාදයක අඳුරු සෙවණැලි තිබුණේයැ”යි කිව හැකිය.
සරත් ෆොන්සේකා බලයට පත්වුවහොත් ආදර්ශයට ගනු ඇත්තේ නැපෝලියන්ගේ මාවතද? නැතිනම් ඩිගොල්ගේ මාවතද? ඒත් නැතිනම් වෙනත් තුන්වැනි මාවතක්ද යන්න නොපැහැදිලිය.
පොදු අපේක්ෂකයාගේ නිශ්ශබ්දතාව
ජවිපෙ හා එජාප විටෙක ඍජු ලෙස ද තවත් විටෙක අනියම් ලෙසද කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන්ගේ පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා බවය. ඔහු බලයට පත්වී දින 180ක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට තමන්ගේ “දසරාජ” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු බවද එජාප කියයි. එහෙත් තවමත් මෙම ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් වී නැත. ඔහු රටේ හමුදා සේවයේ නිල මට්ටමෙන් සිටින ඉහළම නිලධාරියාය. හමුදා සේවයේ සිටිමින් දේශපාලනයක යෙදීම යහපත් නොවන අතර හමුදා සේවයේ සිටියදී එවැනි නිලධාරියකු සමග දේශපාලන පක්ෂ දේශපාලන ගනුදෙනුවක යෙදීමද යුක්තිසහගත නැත. තවමත් සරත් ෆොන්සේකා මහතා තමන් අළලා රටේ කෙරෙන ප්‍රසිද්ධ දේශපාලන කථාබහ ගැන තමන් දරන අදහස් ප්‍රකාශ කිරීමක් කර නැත. ඒ මහතා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන්නට අදහස් කරයි නම් හමුදා සේවයෙන් ඉවත් වී දේශපාලනය කරන තැනකට ආ යුතුය.
මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් ඇති කර තිබෙන නව නීති අනුව ජනාධිපතිගේ අනුමැතිය නොමැතිව ඔහු හොබවන තනතුර අත්හැරයෑමට ඉඩක් නැති නිසා සරත් ෆොන්සේකා මහතාට පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට නෛතික බාධාවක් ඇතැ”යි කියන මතයක්ද රටේ පවතී. මේවා කිසිම හරයක් නැති බහුබූත අදහස්ය. මාණ්ඩලික ප්‍රධානියා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට අවශ්‍ය නම් බාධාවකින් තොරව ඒ ඉඩ හා අයිතිය ඔහුට ලබාදිය යුතුය. ඔහු තරග කරන්නේ ජනාධිපතිවරයාට එරෙහිවය. තමාට එරෙහිව තරග කිරීමට තරග බිමට එක පුද්ගලයකු වැළකීමට ජනාධිපතිවරයා මොනයම් හෝ නීතියක් ආයුධයක් කරගන්නේ නම් මහජනයා ජනාධිපතිවරයා දකිනු ඇත්තේ ජයග්‍රහණය සඳහා ශක්තිමත් විභවයක් ඇති ජනාධිපතිවරයකු ලෙස නොව පරාජිත ජනාධිපතිවරයකු ලෙසය. දැනට ඒ ගැන ඇත්තේ කටකථා පමණය. සරත් ෆොන්සේකා මහතාට විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා ඊට ඒ ආකාරයේ බාධා ඇති කරනු ඇතැ”යි සිතිය නොහැකිය.
එහෙත් සරත් ෆොන්සේකා මහතාගේද වගකීම වනුයේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන්නේ නම් තවදුරටත් තනතුරේ රැඳී නොසිට ඉන් ඉවත් වී තමන් තරග කරන බව මහජනයාට දැනුම්දීමය.
මහින්ද රාජපක්ෂ
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දැන් තිබෙන්නේ කිසිසේත් මගහැරිය නොහැකි දේශපාලන අභියෝගයකි. ජයග්‍රාහී යුද්ධය ඒ යුද්ධයේ සේනාධිනායකයා ලෙස ක්‍රියා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ යෝධයකු බවට පත්කොට දේශපාලන තලයේ අන් සියලු නායකයන් දේශපාලන අඟුටුමිට්ටන් බවට පත් කළේය. මහින්දට එරෙහිව ආත්ම විශ්වාසයකින් යුතුව තරග කරන තැනකට ආ හැකි ශක්තිමත් අපේක්ෂකයකු එජාපයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නොසිටියේය. ඔවුන් මුහුණ දී සිටි එම දුෂ්කර තත්ත්වය අවසානයේ ඔවුන් ජයගැනීමට උත්සාහ කළේ ජයග්‍රාහී යුද්ධය නිර්මාණය කළ වීරයාට එරෙහිව එම යුද්ධය විසින්ම නිර්මාණය කර තිබුණු ඉතිරි වීරයන් දෙදෙනාගෙන් කෙනකු තරග බිමට ගැනීමය. ඓතිහාසික වැදගත්කමක් ඇති අරගලයකට නායකත්වය දුන් නායක දෙපළක් එකිනෙකාට එරෙහිව සටන් කරන තත්ත්වයක් ඇතිවීම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත්, මේ වීරයන් දෙදෙනා අතර කෙරෙන තරගය සමහරවිට රටේ යහපතට හේතුවිය හැකිය.
දැන් තරගය ඇත්තේ එම ජයග්‍රාහී යුද්ධයේ සේනාධිනායකයා හා සේනානායකයා අතරය. මෙම අභියෝගයට නිර්භීතව මුහුණ දෙනවා හැර එක අඩියක්වත් ආපස්සට ගැනීමේ හැකියාව ජනාධිපති මහින්ද රාජපක්ෂට නැත. මෙම අභියෝගය ඉදිරියේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ හැකියාවක් ද නැත. පළමුව ජනාධිපතිවරණයකටම යායුතුය. එසේ නොවෙතොත් සරත් ෆොන්සේකාට මුහුණදීමට ඇති බිය නිසා ජනාධිපතිවරණයකට නොගොස් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවායැ”යි මහජනයා විශ්වාස කරනු ඇත. එය ජනාධිපතිවරයාගේ ගෞරවයට හේතුවන්නේ නැත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට මුහුණ දී ඇතිවී තිබෙන ව්‍යාකූලභාවය නැති කළ යුතුය. අවශ්‍ය නම් මේ මැතිවරණ දෙකම ළඟ පැවැත්වෙන මැතිවරණ දෙකක් බවට පත්කරමින් දේශපාලන පක්ෂවලට මැතිවරණ දෙකක් සඳහා යන වියදම බොහෝ දුරට අඩු කළ හැකිය. මැතිවරණ දෙක උපරිම මට්ටමේ නිදහස් හා සාධාරණ තත්ත්වයක තැබීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම මගින් දේශපාලන ශීලාචාරභාවයේ වර්ධනයක් පෙන්නුම් කළ හැකිය.
ජනාධිපති තරගය
මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය බලය කේන්ද්‍රගතවී තිබෙන්නේ විධායක ජනාධිපති වටාය. ඒ නිසා බලය සඳහා කෙරෙන තරගයේදී වඩා ප්‍රමුඛ වන්නේ ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට අඩු වැඩි වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ද ජයගැනීමට හැකියාව ලැබෙන්නේය. මේ මොහොතේ රටේ තිබෙන දේශපාලන තත්ත්වය අනුව ආණ්ඩුව පිළිබඳව මහජන විවේචනයක් තිබියදීත් ජනාධිපතිගේ ජන බල පදනම ශක්තිමත්ය. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජනබල පදනම එතරම්ම පැහැදිලි නැත. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයාට එක්සත් ජාතික පක්ෂයට ජවි පෙරමුණට හා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයට ඡන්දය දෙන සියලුදෙනා ඡන්දය දුන්නද ඒ මුළු එකතුව හා ජනාධිපතිගේ ජන බල පදනම අතර විශාල පරතරයක් පවතී. විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට බලවත් තරගයක් දියහැකි වනු ඇත්තේ තමන්ට ආධාර කරන මෙම පක්ෂ තුනෙන් ලැබෙන ඡන්දය හැරුණු විට ඒ තරම්ම විශාල ඡන්ද ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ගොඩෙන් අත්පත් කරගත හැකිනම් පමණය.
එජාපයේ ධන බලය හා ජවිපෙ සංවිධානාත්මක ශක්තිය එකට එකතු වූ විට ඉතාමත් සටන්කාමී හා ආකර්ෂණීය ඡන්ද ව්‍යාපාරයක් කරළියට ගැනීමට විරුද්ධ පක්ෂය සමත්වනු ඇතත්, ජනාධිපතිවරයාට තිබෙන මහජන බල පදනමේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට ඒ මගින් හැකිවේද යන්න සැකසහිතය.
ශක්තීන් හා සීමාසහිතකම්
එජාප හා ජවිපෙ ඔවුන් අතර මෙතෙක් පැවති වෛරසහගත ආකල්පයෙන් ඉවත් වී මෙම දෙපක්ෂය දේශපාලන වශයෙන් එකට ගනුදෙනු කරන තැනකට පැමිණ තිබීම යහපත් හා ඉදිරිගාමී ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් විරුද්ධ පක්ෂ එකතුවට ආවේණික ලොකුම සීමිතකම ලෙස පෙනෙන්නේ ඔවුන් සියලුදෙනා එක සාධකයක් මත පමණක් එනම් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණින් පමණක් එකට එකතු වී සිටින බලවේගයක් වීමය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු එකඟතාවක් තිබීම යහපත් වුවත් එහිදී එජාප අපේක්ෂා කරන වෙනස්කම් ප්‍රකාශ කර ඇතත් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ජවිපෙ අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ක්‍රමයක්ද යන්න පැහැදිලි නැත. මේ තරගයේදී එජාපයට තමන්ගේ ප්‍රකාශිත දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතත් ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය සේ ම පොදු අපේක්ෂකයා ලෙස තරග කරන සරත් ෆොන්සේකාගේ න්‍යාය පත්‍රය ද අප්‍රකාශිතය.
අපැහැදිලිය. තමන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයගතහොත් තමන් අගමැති කොට විරුද්ධ පක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයන් ද ඇතුළත් වන ලෙස කැබිනට් මණ්ඩලයක් ඇති කළයුතු බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. එවැනි වැඩසටහනකට ජවිපෙ එකඟද? තමන් අගමැති ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදී එය ජයගැනීම රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වී තිබෙන බව පෙනේ. ඒ ගැන ජවිපෙ හිතන්නේ කෙසේද, පොදු අපේක්ෂක හිතන්නේ කෙසේද යන්න අපැහැදිලිය. පොදු අපේක්ෂක ලබන ජයග්‍රහණයෙන් පසු මුළුමනින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා දකින්නට ජවිපෙ කැමති වනු ඇතැ”යි සිතිය නොහැකි සේ ම ජයග්‍රාහී පොදු අපේක්ෂකයා තනිකර ජවිපෙ වැඩසටහනක් ඉදිරියට ගන්නවාට රනිල් වික්‍රමසිංහ එකඟ වනු ඇතැ”යි ද සිතිය නොහැකිය. අනෙක් අතට පොදු අපේක්ෂකයා ජයග්‍රාහී යූඑන්පියට හෝ ජවිපෙට යට නොවී තමන්ගේම වැඩසටහනක් ඉදිරියට ගතහොත් එය වැළකීමට එජාපයට හෝ ජවිපෙට තිබෙන හැකියාව කුමක්ද යන්න පැහැදිලි නැත.