විපක්ෂයේ නව සන්ධානය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

November 8, 2009
Publication:
The new opposition alliance has published ten principles with the abolition of the executive presidency at the head of them. Ivan welcomes an opposition able to work together and argues that the accusations the two sides trade — lawlessness, corruption, waste, public property taken as spoils — are all products of the same system, so the question worth arguing is what should replace it.

විරුද්ධ පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පක්ෂ හා දේශපාලන කණ්ඩායම් ගණනාවක් එකට එකතු වී නව සන්ධානයක් ඇති කරගැනීමෙන් නොනැවතී තමන්ගේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාවට නගන්නට අපේක්ෂා කරන මූලික ප්‍රතිපත්තීන් 10ක්ද ප්‍රකාශයට පත් කොට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ශක්තිමත් හා ක්‍රියාකාරී විරුද්ධ පක්ෂයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර ඒ අර්ථයෙන් විරුද්ධ පක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන ප්‍රවණතා නොවෙතත්, කිසියම් ප්‍රමාණයක් හෝ එකඟත්වයකින් එකට වැඩ කරන තැනකට ඒම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එම සන්ධානය දසරාජ ධර්මය නමින් ප්‍රකාශ කර තිබෙන ප්‍රතිපත්තීන් අතර අංක එකට තිබෙන්නේ රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවයි. එක්සත් ජාතික පක්ෂය මුල්වී ගොඩනගන සන්ධානයක් මගින් පවතින විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සඳහා එවැනි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කිරීම වඩාත්ම වැදගත්වන්නේ පවතින විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘත්වය හිමිවන්නේද එම පක්ෂයටම නිසාය.

රටට සුදුසු දේශපාලන ක්‍රමය කුමක්ද යන ප්‍රශ්නය පිළිබඳව අද රටේ විවාදයක් පවතී. ඇති කරගතයුතු අලුත් දේශපාලන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සියලු දේශපාලන පක්ෂ අතර විවාදයක් තිබීමෙන්ම පෙනීයන්නේ අද රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය පළල් වශයෙන් නොපිළිගන්නා තත්ත්වයක් රටේ පවතින බවය. එහිදී විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගත යුතුයි කියන මත දරන කිසියම් පිරිසක් ද රටේ සිටිති. විවාදයට හේතුවී තිබෙන්නේ පොදුවේ විධායක ජනාධිපති ක්‍රමය නොව අපේ රටේ ක්‍රියාත්මක වන නීතියේ පාලනයට යටත් නැති විධායක ජනාධිපති ක්‍රමයයි. එය ඇති කර තිබෙන්නේද ක්‍රමවත් හා විධිමත් ආකාරයකට නොව අවිධිමත් හා අක්‍රමවත් ආකාරයකටය. තිබුණු පාර්ලිමේන්තු ක්‍රමය මත ඊට සහමුලින් වෙනස්ව යන ආණ්ඩු ක්‍රමයක් පූට්ටු කෙරෙන ආකාරයකටය. ඇති කර තිබෙන ක්‍රමයට ආවේණික නරකම ලක්ෂණය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට ඉහළින් සිටින ලෙස විධායක ජනාධිපති ස්ථාන ගතකර තිබීමය.

ඒ නිසා විධායක ජනාධිපතිට නීතිය නොසලකා ක්‍රියාකළ හැකි තත්ත්වයක් ගොඩනැගී තිබේ. හැමවිටමත් බලයට පත්වන පාලක පක්ෂයට පොදු දේපළ හිතුවක්කාරී ලෙස තමන් සතු කරගැනීමේ හැකියාව ලැබී ඇත්තේ ඒ නිසාය. බලය සඳහා කෙරෙන දේශපාලන තරගය පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය සඳහා කෙරෙන මාරාන්තික පොරයක් බවට පත්ව ඇත්තේද ඒ නිසාය. නීතියේ පාලනයක් නැතිකම, ඉහවහාගිය දූෂණය හා නාස්තිය කෙරෙහි ද, මහජන සේවාවන් ඵලදායී හා කාර්යක්ෂම ලෙසත් නවීන වුවමනාවන්ට ගැළපෙන ලෙසත් පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් ධනය නැතිකමේ ප්‍රශ්නයක් පවතින්නේද ඒ නිසාය. මෙම විපක්ෂ සන්ධානයට අත්සන් තබන රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය හා එය අහෝසි කිරීමට අවශ්‍ය වී තිබෙන හේතු අළලා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන විග්‍රහය සාවද්‍ය බව කනගාටුවෙන් වුවත් කිවයුතුය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා බලය ආරක්ෂා කිරීම සඳහා එජාප විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කළ බවය.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සම්ප්‍රදායට පටහැනිව යමින් ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන බලය විනාශ කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය යොදාගෙන තිබෙන බැවින් හා නීතියේ ආධිපත්‍යය වෙනුවට දැන් ඇත්තේ රාජපක්ෂ ආධිපත්‍යයක් නිසා රාජපක්ෂ ආධිපත්‍යය අහෝසි කොට නීතියේ ආධිපත්‍යය ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අවශ්‍ය වී තිබෙන බවය. මෙම දේශපාලන ක්‍රමය ඇති කිරීමෙන් පසු විටින් විට බලයට පැමිණි පාලකයන් රට පාලනය කළ ශෛලියේ වෙනස්කම් තිබිය හැකි වුවත් ඒ සියලුදෙනාගේ හැසිරීම බොහෝදුරට එක සමානය. ඔවුන් හැම කෙනකුම අඩු වැඩි වශයෙන් හැසිරී තිබෙන්නේ අර්ධ ඒකාධිපති පාලකයන් ලෙසය. පක්ෂ භේදයකින් තොරව ඒ හැම පාලනයන් තුළම පොදු දේපළ කොල්ලකෑමක් ද සිදුවිය. හැම පාලනයක් තුළ ආණ්ඩු පාක්ෂිකයාට විශේෂ සැලකිලි දැක්වීමක් ද විරුද්ධ පාක්ෂිකයා පීඩාවට ලක්කිරීමක් ද සිදුවිය.

මේ සියල්ල දේශපාලන ක්‍රමයේ ඇති දෝෂවල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එකිනෙකාට චෝදනා කරගන්නා තැනට යනවාට වඩා මේ රටේ පවතින චෞර දේශපාලන ක්‍රමය අහෝසි කොට රටේ ජනයාගේ විශ්වාසයට, ගෞරවයට හා උන්නතියට හේතුවන නීතියේ ආධිපත්‍යය රජයන ශිෂ්ටසම්පන්න නව දේශපාලන ක්‍රමයක් ඇතිකර ගන්නේ කෙසේද යන්න සොයා බලන තැනකට යමින් පොදු එකඟතාවකින් යුතුව සුදුසු නව දේශපාලන ක්‍රමයක් ඇති කරගන්නේ කෙසේද යන්න රට ඉදිරියේ තිබෙන ලොකුම දේශපාලන අභියෝගය ලෙස සැලකිය හැකිය.