ජීඑස්පී ප්ලස් සහනය ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වේද නැද්ද යන ප්රශ්නය රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික ප්රඥාවන්තභාවයේ තරම පෙන්නුම් කරන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව ජගත් ලෝක සංවිධානයේ සාමාජිකයෙකි. එහි සාමාජික නීති රීති හා ආචාර ධර්ම අපටද අදාළය. සාමාජිකයන්ගේ සංවිධානයක් තුළ සාමාජිකයන් බහුතරයකගේ එකඟත්වයෙන් ඇතිකර ගන්නා ප්‍රතිපත්ති සියලු සාමාජිකයන් කෙරෙහි බලපායි. කිසියම් සාමාජිකයකු සංවිධානයේ ප්‍රතිපත්ති පිළිනොගන්නේ නම් සංවිධානයෙන් ඉවත් විය යුතුය. එජාගේ සංවිධානයට ආවේණික විවිධ සීමාසහිතකම් තිබිය හැකිය. ඒ සීමිතකම් ගැන වාද විවාද ඇතත්, අප රට පමණක් නොව, එම සංවිධානය තුළ සිටින පෙරළිකාර රටවල් ලෙස සැලකෙන රුසියාව, චීනය, වෙනිසියුලාව, බ්‍රසීලය, ඉරානය වැනි රටවල් ද එහි සාමාජිකයන් ලෙස ක්‍රියා කරති.
ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් අහිමිවන තත්ත්වයක් ඇතිවීම කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියට අදාළ ප්‍රශ්නයක්ය. එම ප්රඥප්තියට සාමාජික රටවල් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විෂයෙහි පවත්වාගෙන යායුතු මුක්ති තත්ත්වය පිළිබඳව සකස් කෙරෙන ප්‍රඥප්තියකි. එය සාමාජික රාජ්‍යයන්ගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතිකර ගන්නා ලද යහපත් ප්රඥප්තියක් වන අතර, එම ප්රඥප්තිය ඇති කරගැනීමට ශ්‍රී ලංකාව සහයෝගය දුන්නා පමණක් නොව, ප්රඥප්තියට අත්සන් කිරීමෙන් නොනැවතී තවත් කලකට පසුව ඊට සම්බන්ධ වෛකල්පික ප්‍රොටකෝලයට ද අත්සන් තබන ලදි. එම ප්‍රොටකෝලයට අත්සන් තබා නැති සාමාජික රටවල පුරවැසියන්ට මානව අයිතිවාසිකම් උල්ලංඝනයකදී රාජ්‍යයේ තිබෙන ඉහළම අධිකරණයෙන්ද සාධාරණ පිළියමක් ලබාගැනීමට අසමත් වන අවස්ථාවකදී එම දුක්ගැනවිල්ල එවැනි දුක්ගැනවිලි විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යටතේ පවත්වාගෙන යන මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය හිමිය.
කමිටුව ඉහළම සුදුසුකම් ඇති විමර්ශන නිලධාරීන් 14 දෙනකුගෙන් යුතුය. ඉන්දියාවේ විශ්‍රාමලත් මහත් ගෞරවයට හේතුවූ අගවිනිසුරුවරයකු වූ භගවතී මහතාද කමිටුවට ද ඇතුළත්ව සිටියේය. හිටපු අගවිනිසුරුගේ පාලන කාලය තුළ අධිකරණය තිබුණේ ඉතාමත් පක්ෂපාතව ක්‍රියාකරන තත්ත්වයකය. ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබෙන දේශපාලන පසුබිමක් ඇති අයිතිවාසිකම් පෙත්සම් හැමවිටම පාහේ තමන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා පිළිවෙතක් ක්‍රියාත්මක විය. අසාධාරණයට ලක්වූවන්ට යුක්තිය ඉටුකර ගැනීම සඳහා රටේ යන්නට වෙනත් තැනක් ඉතිරි වී නොතිබුණි. ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවෙන් පැමිණිලි පෝලිමක් ඉදිරිපත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කමිටුව ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලු පැමිණිලි විභාග කරන තැනකට ගියේ නැත. නිදර්ශනයක් වශයෙන් පලවා හරින ලද විනිසුවරුන් පැමිණිලි 05ක් ඉදිරිපත් කළ ද විභාගයට ගත්තේ ඉන් එක් පැමිණිල්ලක් පමණය.
හිටපු අගවිනිසුරුවරයා සිංහරාසාගේ පෙත්සම ආයුධයක් කරගනිමින් තමාගේ ආරක්ෂාව සඳහා මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇති කළේය. ජීඑස්පී බදු සහනය අර්බුදයට යන තත්ත්වයක් පළමුවෙන්ම ඇතිවූයේ ඒ නිසාය. ඉන්පසු වරායේ ඇතිවූ වැඩවර්ජනයකට එරෙහිව හිටපු අගවිනිසුරුවරයා දෙන ලද තීන්දුවකට එරෙහිව වරායේ වෘත්තීය සමිති අන්තර්ජාතික කම්කරු සංවිධානයට පැමිණිලි කළේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය දෙන ලද තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන් විට ශ්‍රේෂ්ඨාධිකරණය අන්තර්ජාතික කම්කරු සංවිධානය සමග ඇති කරගෙන තිබූ ප්රඥප්තියට අනුකූලව ඊට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ජීඑස්පී ප්ලස් බදු සහනය අර්බුදයට ලක් කළ දෙවැනි සිද්ධිය එය විය. දැනට මෙම බදු සහනය ආශ්රයෙන් කෙරෙන විවාදයන් ඕනෑවටත් වඩා හැඟීම්බර හා ඒකපාර්ශ්වික බව කිවයුතුය.
යුද්ධ කාලයේ සිදුවූ කිසිවක් මෙම අර්බුදයට අදාළ නැත. දැනටමත් ආණ්ඩුව අවතැන්වූවන්ගෙන් විශාල පිරිසක් නිදහස් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන අතර, යක්ෂිහරන්ගේ අධිචෝදනා පත්‍රය ඉවත් කරගැනීමට ද නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. තිස්සනායගම්ට ද ඉක්මන් සමාවක් ලබාදෙන ක්‍රියාමාර්ගයක් මගින් හා ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සියලු අන්තර්ජාතික ප්රඥප්තිය දේශීය වශයෙන් බලාත්මක වීම සහතික කරන සරල නීතියක් සම්මත කරගැනීමෙන් පමණක් ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීම වළක්වාගත හැකි අතර එවැනි පිළිවෙතක් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හේතුවී රටේ ආර්ථික ක්රියාකාරීත්වයද ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.